කොටි උසාවියේ නඩු ඇසූ කයිලාසා කතා කරයි

Spread the News

කොටි උසාවියේ නඩු ඇසූ කයිලාසා කතා කරයි
source:
කෙනකුගේ පැමිණිල්ලක්‌ විභාග කිරීමට නම් අධිකරණයේ සිටිය යුත්තේ පිරිසිදු අය විය යුතුය. ඒ නිසාම අධිකරණ විනිසුරුවරුන් දූෂකයන්, වංචාකාරයන්, ත්‍රස්‌තවාදීන් විය නොහැකිය. එහෙත් ප්‍රභාකරන්ගේ සිහින විජිතයේ අගනුවර වූ කිලිනොච්චි ඊනියා උසාවියේ ක්‍රියාත්මක වූයේ ලොව දරුණුතම ත්‍රස්‌තවාදී නායකයාගේ නියෝග ය. එසේ නම් යුක්‌තිය පතාගෙන කිලිනොච්චි උසාවියට පැමිණි අහිංසක මිනිසුන්ට යුක්‌තිය ඉටු වූයේද? අපි විමසා බලමු. කිලිනොච්චි උසාවියේ හිටපු නීතිඥවරයකු මෙන්ම අතිරේක මහෙස්‌ත්‍රාත්වරයකු දැන් අප ඉදිරියේය. එහෙත් අද ඔහු මහෙස්‌ත්‍රාත්වරයකු හෝ නීතිඥවරයකු නම් නොව, හේ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පුනරුත්ථාපනය ලබන එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. ඔහු කයිලාස පිල්ලෙයි ලන්ගීෂ්වරන්ය. මෙතැන් සිට පෙළ ගැසෙන්නේ කිලිනොච්චි උසාවියේ නීතිඥ කයිලාසාගේ කතාවය.

ලන්ගීෂ්වරන්ලා පදිංචිව සිටියේ වව්නියාවේය. ඔහුගේ පියා වැල්ලවත්ත රජයේ බැංකුවක කළමනාකාරවරයකු ලෙස රැකියාව කළේය. ඔහුගේ මව රැකියාවක්‌ කළේ නැත. ලන්ගීෂ්වරන්ට වැඩිමහල් සහෝදරයෝ දෙදෙනෙක්‌ සිටියහ. මොවුන් තිදෙනාම පාසල් ගියේ වව්නියාවේ ප්‍රධාන පාසලකටය. ලන්ගීෂ්වරම් මෙන්ම සහෝදරයන් දෙදෙනා ද උසස්‌ පෙළ කඩඉම පසු කළද විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් අහිමි විය. ලන්ගීෂ්වරන්ගේ සහෝදරයෝ දෙදෙනාම වව්නියාවෙන් පිටව වෙනත් පළාත්වල රැකියාවන්වලට යොමු වූහ.

මේ කාලවකවානුවේදී එල්.ටී.ටී.ඊ සංවිධානය ද මෝරා වැඩෙමින් තිබිණි. ඒ දිනවල හමුදාව හා එල්.ටී.ටී.ඊ.ය අතර නිරන්තරයෙන් ගැටුම් ඇති විය. ලන්ගීෂ්වරන්ගේ මව්පියෝ තම පුතුන් තිදෙනා ගැන මහත් බියකින් පසු වූහ. තම වැඩිමහල් දරුවන් දෙදෙනා නිවසෙන් පිටව සිටීම ඔවුන්ට යම් අස්‌වැසිල්ලක්‌ වුවද ලන්ගීෂ්වරන් ගමේ සිටීම නිසා ඔවුන් පසු වූයේ භීතියෙනි. යුද ගිනි දැල් මැද කාලය ගෙවී ගියේය.

පුංචි කාලේ සිටම ලන්ගීෂ්වරන් දුටු එකම සිහිනය නීතිඥවරයකු වීමය. එහෙත් ඔහුට නීති විද්‍යාව හැදෑරීමට විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට වරම් නොලැබිණි. ලන්ගීෂ්වරන් අධෛර්යවත් නොවීය. ඔහු නීති විද්‍යා පාඨමාලාවක්‌ හැදෑරීමට තීරණය කළේය. හේ තම පියාටද ඒ බව දැන්නුවේය. තම පියාද එක සිතින්ම තම පුත්‍රයාගේ තීරණයට කැමැති විය. ලන්ගීෂ්වරන්ගේ පියා ඔහුව කොළඹට ගෙනැවිත් නීති විද්‍යා පාඨමාලාවකට යොමු කිරීමට අදහස්‌ කරගෙන සිටියේය. එමෙන්ම ලන්ගීෂ්වරන් ද නීති විද්‍යා පන්ති පවත්වන ස්‌ථානයක්‌ සොයමින් සිටියේය.

පුවත්පත් බැලීම පුරුද්දක්‌ කරගෙන සිටි ලන්ගීෂ්වරන් දිනක්‌ උදෑසනක “ඊළනාදන්” පුවත්පත බලමින් සිටියදී ඔහුගේ දෙනෙත් එක්‌ දැන්වීමක්‌ අතර නතර විණි. “නීති පාඨමාලාවන් හැදෑරීමට කැමැති අයට නොමිලේ පාඨමාලා පවත්වනු ලැබේ. පහත ලිපිනයට පැමිණෙන්න”

කාලය ගත නොකරම ලන්ගීෂ්වරන් නීති විද්‍යා පාසල සොයාගෙන කිලිනොච්චියට ගියේය. පාඨමාලාවට අවැසි සුදුසුකම්වලටත් වඩා සුදුසුකම් ලන්ගීෂ්වරන්ට තිබූ බැවින් ඔහුට නීති පාසලට ඇතුළත් වීමට කිසිදු බාධාවක්‌ නොවීය. ලන්ගීෂ්වරන්ගේ නීතිඥ සිහිනය යථාර්ථයක්‌ කරගැනීමට දොරගුලු විවර විය. ඔහු මෙන්ම තම මව්පියෝ ද මහත් සේ සතුටු වූහ. එහෙත් ඒ සතුට තාවකාලික විය. නීති පාසල පවත්වාගෙන යන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් බව ලන්ගීෂ්වරන් දැන ගත්තේය. “මේ මොන උගුලකට ද හසු වුණේ. දැන් මම මොකද කරන්නේ” කියා ඔහු රෑ දහවල් නොමැතිව සිතන්නට විය. එහෙත් එල්.ටී.ටී.ඊ උගුලෙන් බේරී යැමට ඔහුට කිසිවක්‌ මනසට නොනැඟිණි. ඔහු අසරණ විය. ලන්ගීෂ්වරන් තම මව්පියන්ට ද ඒ බව දැන්නුවේය. “මේක එල්.ටී.ටී.ඊයට ළමයි බඳව ගන්න අටවපු උගුලක්‌. එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වෙලා වැඩ කරනකොට ජීවිතය ගැන ෂුවර් එකක්‌ තියන්න බැහැ. අපිට ඔයාව ඕනා. ඔය පන්ති ඕනෙ නැහැ. ඔන්න ඕකට යන එක නවත්වන්න පුතේ… මම ඔයාව කොළඹ එක්‌ක යන්නම්. එහෙ තියෙනවා නීති පාඨමාලාවන් කරන හොඳ තැන්” ලන්ගීෂ්වරන්ගේ පියා එල්.ටී.ටී.ඊ සංවිධානයේ භයානක තත්ත්වය ගැන තම පුත්‍රයාට එසේ පැහැදිලි කර දුන්නේය.

ලන්ගීෂ්වරන් පාඨමාලාව අතරමඟ නතර කිරීමට අකැමැති විය. එමෙන්ම නීති පාඨමාලාව හැදෑරූ ළමයින්ට එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳෙන්නයි කියා එල්.ටී.ටී.ඊ.ය තර්ජන කළේ ද නැත. එහෙත් ඉඳහිට පැමිණෙන එල්.ටී.ටී.ඊ. නායකයන් පැවැත්වූ දේශන නිසා ලන්ගීෂ්වරන්ගේ සිත ඔහුටත් හොරාම එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි බැඳෙන්නට පටන් ගෙන තිබිණි. ලන්ගීෂ්වරන්ගේ මව්පියන්ට ද එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි තිබූ අවිශ්වාසය කෙමෙන් පහ වෙමින් තිබිණි. දින, සති, මාස, අවුරුදු ගෙවී ගියේය. පාඨමාලාව සාර්ථකව නිම කිරීමට ලන්ගීෂ්වරන්ට අවස්‌ථාව උදා විණි. ඔහුගේ දක්‍ෂතා නිසාම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට නීතිය ඉගැන්වීමට නීති ගුරුවරයකු ලෙස ලන්ගීෂ්වරම් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ කරගැනීමට ප්‍රභාකරන් තීරණය කර තිබිණි.

සෑම එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුටම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නීතිය ඉගැන්නුවේය. ඒ සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය ඔවුන්ගේ සාමාජිකයන්ව කණ්‌ඩායම් වශයෙන් නීති පාඨමාලාවන්වලට ද යොමු කළහ. ඒ පාඨමාලාවන්වල දේශන පැවැත්වීමට පැමිණියේ කිලිනොච්චි අධිකරණයේ නීතිඥවරුන්ය. ලන්ගීෂ්වරන් ද ඒ පාඨමාලාවන්වල නීති විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කළේය.

දිනක්‌ ලන්ගීෂ්වරන් එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් පිරිසකට නීතිය උගන්වමින් සිටියදී ඔහුගේ දෙනෙත් කාන්තියෙන් බැබළෙමින් තිබූ තවත් දෙනෙත් දෙකක්‌ සමග ගැටිණි. ඒ කාන්තිමත් දෙනෙත් ඇති රුවැත්තිය එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකි. ඇය මාලතී බළකායේ සටන් මෙහෙයවන්නියකි. ලන්ගීෂ්වරන් ඇයට නීතිය උගන්වන ගුරුවරයාය. ඒ කිසිවක්‌ ආදරයට බාධාවක්‌ නොවිණි.

දින, සති ගෙවී ගියේය. ලන්ගීෂ්වරන් එම කණ්‌ඩායමට දේශන පැවැත්වීමට කිහිපවරක්‌ම පැමිණියේය. ඒ සෑම දිනකම ඔවුහු පාඨමාලාව අතරතුර දෙනෙත්වලින් කතා කළහ. එමෙන්ම ඉඩකඩක්‌ ලැබුණු සැණින් ඔවුහු කතාබහ කර දැනහඳුන ගත්හ. එහෙත් ඇයට ආදරෙයි යෑයි කෙළින්ම පැවසීමට ලන්ගීෂ්වරන් දෙවරක්‌ සිතුවේය. දිනක්‌ ඔහු පන්තියේ සිටි තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක හරහා ඔහුගේ අදහස ඇය වෙත දැන්නුවේය. ලන්ගීෂ්වරන් කඩවසම් තරුණයෙකි. එමෙන්ම ඔහු නීතිය උගන්වන ගුරුවරයෙකි. ඔහුගේ යෝජනාවට එල්.ටී.ටී.ඊ. සාමාජිකාව එක සිතින්ම කැමැති වූවාය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ආදරය කිරීමට තහංචි නොමැති වුවද විවාහ වීමට බාධක තිබිණි. එල්.ටී.ටී.ඊ සාමාජිකාවකට විවාහ ජීවිතයට ඇතුළත් විය හැක්‌කේ වයස අවුරුදු විසිපහ සම්පූර්ණ වීමෙන් පසුය. සාමාජිකයකුට නම් වයස අවුරුදු තිහ සම්පූර්ණ විය යුතුව තිබිණි. ඔවුන් දෙදෙනාම එම වයස්‌ සීමා පසු කර නොසිටියහ. එහෙත් ඔවුන්ගේ ආදරයට බාධා නොතිබිණි. දින දින ආදරය දලුලා වැඩෙමින් තිබිණි. විවාහ ජීවිතයට ඇතුළත්වීමට ඇති වයස්‌ සීමාව ද සම්පූර්ණ විය. ඔවුන්ගේ ආදරය ජය ගත්හ. දෙපාර්ශ්වයේම ආශීර්වාද මැද ජයටම මංගල උත්සවයක්‌ ද ගෙන ඔවුහු විවාහ වූහ. ඔවුන්ගේ මංගල උත්සවයට එල්.ටී.ටී.ඊ පළමු පෙළ නායකයන් වන පුලිදේවන්, තමිල් චෙල්වම්, නඩේසන් වැනි නායකයන් මෙන්ම මාලතී බළකාය භාරව සිටි විදූෂා ද ඔවුන්ට සුබපැතීමට මංගල උත්සවයට සහභාගි වී සිටියාය.

ප්‍රභාකරන් ඔවුන්ගේ මංගල උත්සවයට සහභාගි නොවුණද ඔවුන්ට ජීවිතයට අමතක නොවන මංගල තෑග්ගක්‌ ලබාදීමට අමතක නොකළේය. ඒ ලන්ගීෂ්වරන්ට වැඩිදුරටත් නීති විද්‍යාව හැදෑරීම සඳහා මැලේසියාවේ නීති විද්‍යාලයකට ඇතුළුවීමට ශිෂ්‍යත්වයකි. මංගල උත්සවයෙන් දින කිහිපයකට පසු ඔවුහු මැලේසියාවට පිටත්ව ගියහ. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහාය. ලන්ගීෂ්වරන් මැලේසියාවේ නීති විද්‍යාලයක වසර පහක නීති විද්‍යාව හදාරමින් උපාධියක්‌ ද ලබාගත්තේය. ඔහුගේ නීතිඥ සිහිනය සැබෑ විය. ඔහුගේ සිහිනය යථාර්ථයක්‌ කරගැනීමට ඔහුට මග විවර කර දුන්නේ ප්‍රභාකරන්ය. එහෙයින් ඒ සුබ ආරංචිය ප්‍රභාකරන්ට මෙන්ම තම මව්පියන්ට දැනුම් දෙන තුරු ලන්ගීෂ්වරම්ට විසුම නොවීය. ලන්ගීෂ්වරන් සහ ඔහුගේ බිරිඳ නැවත කටුනායක ගුවන් තොටුපළ හරහා ලංකාවට පැමිණ ඊළාම් දේශය කරා කිසිදු බාධාවකින් තොරව ගමන් කළ බව ඔහු තරමක්‌ ආඩම්බරයෙන් පැවසීය.

මැලේසියාවේ නීති විද්‍යාලයකින් උපාධියක්‌ ලබාගෙන පැමිණි ලන්ගීෂ්වරම්ව මහත් හරසරින් එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිගත්තේය. එමෙන්ම ඔහු ඊළාම් රාජ්‍යයේ නීතිඥයකු ලෙස ද ප්‍රභාකරන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. ලන්ගීෂ්වරන්ගේ සිහිනය සැබෑ වන මොහොත දැක බලාගැනීමට ඔහුගේ මව්පියන්, සහෝදරයන් මෙන්ම හිත මිත්‍ර ආදීහු බොහෝ පිරිසක්‌ද එම අවස්‌ථාවට සහභාගි වී සිටියහ. එදා ලන්ගීෂ්වරන් රටක්‌ රාජ්‍යයක්‌ ලැබුණා සේ සතුටු විය. ඔහු මෙන්ම තම බිරිඳ, මව්පියෝ, සහෝදරයෝ ද සතුට ඉහවහා ගිය සිතින් ඔහුට සුබ පැතූහ. එදා සිට ලන්ගීෂ්වරන් කිලිනොච්චි අධිකරණයේ නීතිඥයකු ලෙස සේවයට බැඳුණේය.

කාලය ගෙවී ගියේය. ලන්ගීෂ්වරන් ඊළාම් රාජ්‍යයේ දක්‍ෂ නීතිඥයකු ලෙස ජනතාව අතර ප්‍රසිද්ධව සිටියේය. ඔහුගේ දක්‍ෂතා හෙයින්ම ඇතැම් අවස්‌ථාවලදී කිලිනොච්චි උසාවියේ අතිරේක මහෙස්‌ත්‍රාත් ලෙසද ඔහු කටයුතු කළේය. කාලය ගෙවී ගියේය. ලන්ගීෂ්වරම්ගේ කැදැල්ල පුංචි පුතුන් දෙදෙනකුගෙන්ද හැඩ විණි. ඔවුන්ගේ ජීවිත ඉතාම සතුටින් ගලා ගියේය.

කිලිනොච්චි අධිකරණය සිවිල් අධිකරණයක්‌ වුවද, මෙරට පවතින පොදු නීති රෙගුලාසිවලින් ඔබ්බට ගිය ප්‍රභාකරන්ගේ නීති රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක වූ අධිකරණයකි. එහෙත් පොඩි ලොකු භේදයකින් තොරව සෑම කෙනකුටම නීතිය එක සේ ක්‍රියාත්මක විය. ස්‌ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට, ඊළාම් දේශයට ෙද්‍රdaහීවන්නන්ට කිලිනොච්චි උසාවියේදී කිසිදු සමාවක්‌ නොලැබිණි. එවැනි වැරැදිකරුවන්ව ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීමට ද කිලිනොච්චි උසාවිය නියෝග නිකුත් කරනු ලැබිණි. එවැනි චෝදනා සම්බන්ධයෙන් වැරැදිකරුවන් වූවන්ට කිලිනොච්චි අධිකරණයේදී අවසාන තීන්දුව ලබාදී ඇත්තේ දහහත් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක්‌ විසිනි. වැරැදිකරුවන් සම්බන්ධයෙන් අධිකරණය ගත් තීන්දුව අවසානයේ ප්‍රභාකරන් විසින් අනුමත කළ විට ඒ චූදිතයන්ට ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීම ක්‍රමවේදය විය. ලන්ගීෂ්වරන්ගේ වසර අටක නීතිඥ ජීවිතය පුරාවට කිලිනොච්චි අධිකරණය විසින් වැරැදිකරුවන් හතර දෙනකුට එසේ මරණ දඬුවම ලබාදී ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා ඇත.

කිලිනොච්චි අධිකරණයේදී ඉඩම් සම්බන්ධව ගොනු වන නඩු සම්බන්ධයෙන් ද දැඩි නීති ක්‍රියාත්මක විය. එමෙන්ම නඩු කල්ගත නොකර හැකි ඉක්‌මනින් නඩු විභාග කර යුක්‌තිය ඉටු කරන්නැයි කිලිනොච්චි අධිකරණයේ මහෙස්‌ත්‍රාත්වරුන්ට ප්‍රභාකරන් උපදෙස්‌ දී තිබිණි. එමෙන්ම මෙරට ආණ්‌ඩුවේ මන්නාරමේ රිෂාඩ් බදියුදීන්ලා මෙන් දේශපාලන හයිය පෙන්නා අධිකරණයේ තීන්දු-තීරණ වෙනස්‌ කිරීමට කිලිනොච්චි අධිකරණයේදී එල්.ටී.ටී.ඊ. නායකයන්ට ප්‍රභාකරන් ඉඩ ලබාදී නැත. වරද දුටු තැන දඬුවම් ලබාදීමට පන්ති භේද, නිල, තානාන්තර කිලිනොච්චි උසාවියට ගැටලුවක්‌ නොවිණි.

ඊළාම් රාජ්‍යයේ අධිකරණ, දේශපාලන කටයුතු භාරව සිට ඇත්තේ තමිල් චෙල්වම්ය. ඔහුගේ මරණයෙන් පසු ඒ සම්බන්ධව කටයුතු කර ඇත්තේ නඩේසන්ය. “චෙල්වම් එක්‌ක වැඩ කරන්න ලේසියි. එයා ඕනෑම දෙයක්‌ ගැන බුද්ධිමත්ව හිතලයි තීරණ ගත්තේ. අධිකරණ නීති සම්බන්ධයෙන් ඔහුගේ කාලේ කිසිම ප්‍රශ්නයක්‌ ඇති වුණේ නැහැ. නීති කටයුතු සම්බන්ධයෙන් වගේම අපගේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ වුණත් චෙල්වම් එක්‌ක කතා කරලා පහසුවෙන් විසඳගන්න පුළුවන් වුණා. ඒ වගේම චෙල්වම් අධිකරණයට බොහෝම ගරු කළා. ඔහුගේ මරණය එල්.ටී.ටී.ඊ. සංවිධානයට ගොඩක්‌ බලපෑවා. චෙල්වම්ගෙන් පස්‌සෙ අධිකරණ කටයුතු ගැන සොයා බැලුවේ නඩේසන්. එයා මුල ඉඳලම සියල්ල අච්චාරුවක්‌ කර ගත්තා” ලන්ගීෂ්වරන් කරුණු – කාරණා ඉතාම පැහැදිලිව එසේ විස්‌තර කරමින් සිටියේය. අපි ඔහුගේ කතාවට බාධා කළෙමු.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පාවා දුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ටත් දඬුවම් ලබාදුන්නේ කිලිනොච්චි අධිකරණයේදීද?

“නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් වූ සියලුම නඩු විභාග කෙරුණේ එල්.ටී.ටී.ඊ. මිලිටරි අධිකරණය මගින්. ඒ අධිකරණයේ නඩු විභාග කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පත් කරපු අය. එල්.ටී.ටී.ඊ සංවිධානය පාවා දෙන වැඩ කරලා අත්අඩංගුවට පත් වුණු අයට නම් කිසිම සමාවක්‌ නැහැ. ඒ අයට උරුම මරණයම තමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙක්‌ම තමයි එහෙම අයට වෙඩි තියලා මරලා දැම්මේ. එල්.ටී.ටී.ඊ.ය පාවා දෙන්න ගිහින් අත්අත්අඩංගුවට ගත්ත සමහර අයට ප්‍රභාකරන්ම වෙඩි තියලා මරලා තියෙනවා”

ප්‍රභාකරන් අධිකරණ නීති සම්බන්ධයෙන් ක්‍රියා කළේ කොහොමද?

“ප්‍රභාකරන් අධිකරණ සම්බන්ධයෙන් හැම දේකටම අත ගැහුවේ නැහැ. එයා බොහෝම සාධාරණ විදිහට අධිකරණය සම්බන්ධයෙන් තීන්දු-තීරණ ගත්තා”

උගත් නීතිඥයකු ලෙස ඔබ කියන්නෙ වෙනත් තැන්වලදී ප්‍රභාකරන් ගත්තු තීන්දු-තීරණ වැරදි කියලද?

“ඔව්.. එයා ගත්තු තීන්දු-තීරණ වැරදි නැත්නම් ප්‍රභාකරන් අදත් ජීවතුන් අතරනේ”

ඔබ කියන්නේ ප්‍රභාකරන්ගේ වළ කපා ගත්තේ ප්‍රභාකරන්ම කියලද?

“එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනා එල්.ටී.ටී.ඊ. නායකයෝ. ඒ අය පෞද්ගලික වාසි තකා පමණක්‌ වැඩ කරන්න පටන් ගත්තා. එහෙම අයත් එක්‌ක රටක්‌ අල්ලන්න බැහැනේ. තමන් ගැන හිතලා යුද්ධ කරන්න බැහැ. යුද්ධ කරන්න ජීවිත පරදුවට තියලා සටන් පෙරමුණට යන්න ඕනා. ඒත් එල්.ටී.ටී.ඊ. නායකයෝ කළේ ඒ අය පස්‌සට ගිහින් සෙසු සාමාජිකයන්ව ඉස්‌සරහට දාපු එකයි. දිගින් දිගටම ඒකම කළා. අන්තිමේ එල්.ටී.ටී.ඊ. යේ සෙසු සාමාජිකයනුත් ඔවුන්ගේ ජීවිත ගැන හිතන්න පටන් ගත්තා”

එල්.ටී.ටී.ඊ නායකයන්ගේ අදූර්දර්ශී ක්‍රියා හේතුවෙන් අවසන එල්.ටී.ටී.ඊ.ය දෙකඩ විය. ඇතැම් නායකයන් සංවිධානයේ සිටියත් ක්‍රියාකාරීන් නොවීය. සියල්ල පෙළගැසුණේa එල්.ටී.ටී.ඊ යේ විනාශයටය. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ පැවැති ගැටුම්කාරී තත්ත්වය හොඳින්ම අවබෝධ කරගත් සිංහල හමුදාවෝ දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ.

“හමුදාව දිගට හරහට ප්‍රහාර දෙනකොට එල්.ටී.ටී.ඊ. නායකයෝ ඔවුන්ගේ පවුල, දේපළ ආරක්‍ෂා කරගන්න එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටිය දක්‍ෂ සටන්කරුවන්ව යෙදව්වා. අන්තිමේ යුද පෙරමුණට ගියේ හරි හැටි පුහුණුවක්‌ නැති ආධුනික සාමාජිකයන්. එහෙම කරපු යුද්ධයක්‌ පරාද වෙන එක අහන්න දෙයක්‌ නෙමෙයි. අවසාන යුද්ධයේදී අපේ ජීවිත ගැන අපිටත් ෂුවර් එකක්‌ නැති වුණා. හැම වේලාවෙම අපි කල්පනා කළෙත් අපේ ජීවිත බේරගන්නෙ කොහොමද කියලයි”

“යුද්දෙ අවසාන කාලේ දිනෙන් දින අපි කොටු වුණා. එල්.ටී.ටී.ඊ.ය අපිට එළියට එන්න දුන්නෙත් නැහැ. ඉරණපලේදී දරුවොත් එක්‌ක ඉන්නකොට ටිකක්‌ ඈතට වැටුණු බෝම්බයකින් අපිටත් පොඩි තුවාල වුණා. එදා නම් මම හිතුවා අපි ඉවරයි කියලා. පස්‌සේ බිරිඳවයි, දරුවෝ දෙන්නවයි ගුලි කරගෙන වළකට බැහැලයි හිටියේ. එදා තමයි අපි තීරණය කළේ මැරෙන්න හරි හමුදා පාලන ප්‍රදේශවලට ගිහින් හමුදාවට භාර වෙමු කියලා” ඔහු දිගු සුසුමකින් හද සැහැල්ලු කර ගත්තේය.

ඔවුන් ටිකෙන් ටික මුලතිව් ප්‍රදේශයට කොටු විය. දිනය 2009-05-16 වැනිදාය. හැත්තෑපස්‌ දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ලෙසින් ඔහු හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ හමුදාවට භාර විය. දින ගණනාවක්‌ කුස ගින්දරේ සිටි ඔවුන්ට හමුදාව පළමුව ආහාර ලබා දුන්නේය. අනතුරුව ඔවුන්ව හමුදාව විසින් ආරක්‍ෂක ස්‌ථාන කරා යොමු කරන ලදී. ඔවුහු නැවත හුස්‌ම ගන්නට පටන් ගත්හ. මරණ බිය ක්‍රමයෙක්‌ ඔවුන්ගේ සිත්වලින් පහ වී ගියේය. දරුවන් දෙදෙනාව ඔවුන්ගේ මව්පියන් වෙතට භාරදී ලන්ගීෂ්වරන්ව හා ඔහුගේ බිරිඳව පුනරුත්ථාපන කඳවුරුවලට යොමු කිරීමට ආරක්‍ෂ අංශ කටයුතු කළහ. දැන් ඔහුගේ බිරිඳ පුනරුත්ථාපනය වී ඇයගේ මව්පියන් ළඟට ගොස්‌ තම පුංචි පුතා සමගින් ජීවත් වේ. ඔවුන්ගේ වැඩිමහල් දරුවා ලන්ගීෂ්වරන්ගේ මව්පියන් සමග කොළඹට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියෑළෙමින් සිටියි.

ලන්ගීෂ්වරම්ලා මහන්සියෙන් ගොඩනගා ගත් සියල්ල දැන් ඔවුන්ට අහිමි වී ගොස්‌ය. නැවත ඔවුන්ට ජීවිතය අලුතින්ම පටන් ගැනීමට සිදුව ඇත. බිඳී ගිය කැදැල්ල එක්‌කාසු කර ජීවිතය නැවත අලුතින් පටන් ගැනීමට වව්නියාවට යැමට ලන්ගීෂ්වරම් ද දින ගනිමින් සිටියි. එමෙන්ම ඔහු මෙරට පිළිගත් නීති විද්‍යාලයකින් නැවත නීති විද්‍යාව හදාරා උපාධියක්‌ ලබාගෙන නීතිඥයකු ලෙස රටට සේවය කිරීමට සිහින දකිමින් ද සිටියි. ඔහුගේ සිහින නැවත වරක්‌ ත්‍රස්‌තවාදයේ අළු දූවිලිවලින් වැසී නොයන්නැයි පතමින් අපි ඔහුට සමු දුන්නෙමු.

තරංග රත්නවීර
ලසිත දුමින්ද