Spread the News

yapanaya

 කීර්ති වර්ණකුලසූරිය සහ දිනසේන රතුගමගේ – Divaina

 යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත ඊයේ  (09දා* රාත‍්‍රී නිදහස් කර ඇත. යාපනය නගර සභාව විසින් ‘පොලිස් බළකායක්’ පිහිටුවා එයට බඳවා ගත් අයට එල්.ටී.ටී.ඊයට අතීතයේ තිබූ ‘කොටි පොලිසිය’ට සමාන අන්දමේ ඇඳුම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

 නගරාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනය නාගරික පොලිස් බළකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැළි කසළ දමන්නන් අධීක්ෂණය කිරීම, දඩ මුදල් එකතු කිරීම, වාහන හැසිරවීම, කොරෝනා නීතිරීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම යන කටයුතු බවයි. මේ කටයුතු පහසු කර ගැනීම සඳහා එවැනි බළකායක් පිහිටු වූ බව ද ඔහු එහිදී පැවසීය.

 නමුත් මේ සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ අනුමැතියක් ලබා නොගැනීම, සෙසු පක්ෂ දැනුවත් නොකිරීම යන කාරණා මත 8 වැනිදා පැවැති යාපනය මහ නගර සභාවේ සභා වාරයට ඊ.පී.ඞී.පී. සංවිධාන නියෝජිතයෝ සහභාගී වීමෙන් වැළකී සිටියහ.

 යාපනය පොලිසිය විසින් මීට පෙර නගරාධිපතිවරයාගෙන් මූලික වශයෙන් ප‍්‍රශ්න කළ අතර ඉන් පසුව පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය ඔහුගෙන් පැය හයක කාලයක් ප‍්‍රශ්න කර තිබේ.

 එම ප‍්‍රශ්න කිරීම්වලින් පසුව පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් යාපනය නගරාධිපතිවරයා වවුනියාවේ පිහිටි පොලිස් ත‍්‍රස්ත මර්දන කාර්යාලය වෙත රැුගෙන විත් ඇත. එහි නිලධාරීහු එම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.