කොටි මහවිරු පවුලක 20 හැවිරිදි යුවතියගේ ජීවිතය හමුදාව බේරා ගනී

Spread the News

කොටි මහවිරු පවුලක 20 හැවිරිදි යුවතියගේ ජීවිතය හමුදාව බේරා ගනී

දරුණු හෘද රෝගයකින් ජීවත්වීමට දින 15ක් ඉතිරිව සිටි source:

විජයානි එදිරිසිංහ

හෘදය වස්තුවේ දරුණු රෝගී තත්ත්වයක් නිසා ජීවිතයේ අවසාන වීමට දින 15 ක් පමණක් ඉතිරි වි තිබූ යාපනයේ 20 හැවිරිදි යුවතියකගේ ජීවිතය යුද හමුදාවේ මැදිහත්වීමෙන් බේරාගැනීමට හැකි වී තිබේ. මෙරට හමුදාව අමානුෂික යැයි අවලාද නැගීමට ජාත්‍යන්තරයේ සහ මෙරට ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු එක්රැස් කරද්දී අපේ හමුදාවේ මානුෂිකත්වය පෙන්වන උත්තරීතර සද්කාර්යයකි මේ.

යාපනයේ අච්චේලි හි පදිංචිව සිටින විසි හැවිරිදි කජින්දනී දරුණු හෘද රෝගයකට ගොදුරු වී සිටියාය. ඇයගේ රෝගයට වරින් වර ප්‍රතිකාර ලබාගෙන තිබුණද ඉන් පලක් වී නොමැත. කජින්දනීගේ පියා කොටි සංවිධානයට බැඳී ප්‍රහාරයකින් මියගොස් තිබේ. මව කුලී වැඩක් කර කජින්දනී සහ සෙසු දරුවන් රැකබලා ගත්තාය.

පවුලේ වැඩිමලා වූ කජින්දනී ද රෝගියකු වීම පවුලට තවත් දරුණු ප්‍රශ්නයක් වී තිබුණි. පසුගිය මාර්තු 15 වැනිදා යාපනයේ ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් මත යාපනයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය ජංගම සේවයක් පැවැත්විණි. කොළඹ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරු රැසක් ඊට සහභාගි වූහ.

හෘද රෝගයෙන් පෙළෙමින් සිටි කජින්දනී තම මව සමඟ මේ අවස්ථාවට සහභාගි වූවාය. ඇයව පරීක්‍ෂා කළේ කොළඹ ආසිරි රෝහලේ හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඉන්දියානු ජාතික විවේක් ගුප්තා මහතාය. කජින්දනී පරීක්‍ෂා කළ වෛද්‍ය ගුප්තා ඇයගේ දරුණු තත්ත්වය දැක කලබලයට පත්විය. ඇයට තවත් ජීවත්වීමට හැකිව තිබෙන්නේ දින 15 ක් වැනි කෙටි කාලයක් බව අනාවරණය කර ගැනීමෙන් පසු ඔහු වහාම ඒ ගැන 511 බලසේනාවේ කර්නල් විජේන්ද්‍ර ගුණතිලකට දන්වා සිටියේය.

ඇයගේ ජීවිතය එම කෙටි කාලය තුළ බේරාගැනීමට නම් ඉතා ඉක්මනින් ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවත්, ඒ සඳහා රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් වියදම් වන බවත් කියා සිටියේය. තම දියණියට අත්වෙන්නට යන අවාසනාවන්ත ඉරණම දරාගත නොහැකි වූ කජින්දනීගේ මව දියණියගේ ජීවිතය බේරා දෙන්නැයි කර්නල් විජේන්ද්‍ර සහ වෛද්‍යවරු ඉදිරියේ වැටී හඬා වැළපුනාය. කොහොම හරි ඇයව බේරගන්නම් එම හමුදා නිලධාරියා ස්ථිරවම පවසා ඒ අවස්ථාවේ සිටම ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීමට යොමු විය.

හමුදාවේ ළඟම හිතවතකු වූ යාපනේ ඉංජිනේරුවරයකු වූ තිරුබානන්දන් මහතා රුපියල් ලක්‍ෂ හතරක් ලබා දීමට කැමති විය. ඒ ශල්‍යකර්මයට අවශ්‍ය වෑල් දෙක සඳහා යන මුදලයි. අනතුරුව ආසිරි රෝහලට මේ දැරියගේ තත්ත්වය කියා දීමෙන් පසු ආසිරි රෝහලේ වෛද්‍ය අනිල් පෙරේරා, වෛද්‍ය මංජුල කරුණාරත්න සහ වෛද්‍ය විවේක් ගුප්තා කජින්දනීගේ ශල්‍යකර්මය නොමිලේ කර දීමට ඉදිරිපත් වූහ.

මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා කජින්දනී සහ ඇගේ මව නොමිලේ ගුවන් මගින් කොළඹට ගෙන්වා දුන්නේය. දින 15 ක් තුළ මෙලොවින් සමුගැනීමට සිටි කජින්දනීගේ ජීවිතය බේරාගැනීමේ ශල්‍යකර්මය පසුගියදා (30) සර්ථකව සිදු කෙරිණි.  ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ශල්‍යකර්මයෙන් පසු කොළඹ නැවතී ප්‍රතිකාර ලබාගැනීම සඳහා නවාතැන් පහසුකම්, ආහාරපාන ඇතුළු සෙසු අවශ්‍ය දෑ හමුදාව මගින්ම ලබා දී තිබේ.

එපමණක් නොවේ පියා අහිමි කජින්දනීගේ පවුලේ දරුවන්ගේ මව යළි යාපනයට යන තෙක් ඔවුන්ගේ ආරක්‍ෂාව සහ සෙසු අවශ්‍යතා ලබාදීමේ වගකීම යාපනයේ 3 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව මගින් සලසා දී තිබේ. කජින්දනීගේ ජීවිතය බේරාගැනීමේ මහා සද්කාර්ය වෙනුවෙන් යාපනයේ ද්‍රවිඩ ජනතාව යුද හමුදාවට විශේෂ ස්තූතිය පුද කර තිබේ. ”මගේ දරුවාගේ ජීවිතය බේරුණේ යුද හමුදාවේ මානුෂිකත්වය නිසයි. ඔවුන් නිසා අද අප සැනසීමෙන් ජීවත් වෙනවා.  අප හමුදාවට ණයගැතියි. කජින්දනීගේ මව ප්‍රකාශ කළාය.