Spread the News

කෝටිපතියකු වූ කොටියා?

source:

* ද්‍රවිඩයන් ඕස්‌ටේ්‍රලියාවට යෑවූ ටී.එන්.ඒ. අපේක්‍ෂක සුරේශ් කුමාර් අසුවීමෙන් නැගෙනහිර දේශපාලකයෙක්‌ සහ බිරිය කලබලයට පත්වේ

* සෙබළුන් 13 ක්‌ ඝාතනය වූ විසිනව වසරක අතීතය

* ලන්ඩන් කොටි පෙළපාලියේ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජෙයනන්දමුර්ත

* ඕස්‌ටේ්‍රලියා බලධාරීහු ද්‍රවිඩයන්ගේ තොරතුරු වසන් කෙරේ

* කොටි සංවිධානයට ඩොලර් ලක්‍ෂය බැගින් අවි මිලයට ගැනීමට ලබාදුන් ස්‌විස්‌ කොටි ගැන විමර්ශනය කිරීමට 15 කගෙන් යුත් විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණේ

* ස්‌විස්‌ කොටි ජාලය ත්‍රස්‌තවාදීන්ගේ නීතිඥ මාර්සල් බොස්‌නට්‌ගේ සහාය පතයි


ඕස්‌ටේ්‍රලියාවට ද්‍රවිඩයන් යෑවීමේ ජාවාරමට සම්බන්ධ ද්‍රවිඩ සන්ධාන අපේක්‍ෂක වෙල්ලතම්බි සුරේශ් කුමාර්

නෝර්වේ කොටි යළිත් සාවද්‍ය තොරතුරු බෙදාහරිමින්

කොටි ත්‍රස්‌තයන් වූ නිමල රූබන්ගේ අවමඟුලේදී හමුදා භටයන්ව ඡායාරූපගත කරන කණ්‌ඩායම


ශ්‍රී ලංකා ඔලිම්පික්‌ පිළ යවන්නැයි ඉල්ලමින් ලන්ඩන්හි පැවැති
කොටි පෙළපාලියේ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජෙයනන්ද මුර්ති

1983 ජුලි 23 වැනිදා මැදියම් රැයේ යුද හමුදාවේ පෝපෝ බ්‍රාවෝ නමැති නිරීක්‍ෂණ කණ්‌ඩායම යාපනයේ පලාලි මාර්ගයේ තිරුනවෙලි තැපැල්හල සමීපයේ එමින් සිටියේය. මේ අවස්‌ථාවේ සැඟවී සිටි කොටි ත්‍රස්‌තවාදීහු කණ්‌ඩායමක්‌ එල්ල කළ ප්‍රහාරයෙන් එක්‌ නිලධාරියකු ඇතුළු සෙබළුන් දහතුන් දෙනකු බරපතළ තුවාල ලැබූහ. තුවාල ලබා සිටි සෙබළුන් වෙත පැමිණි ප්‍රභාකරන් සහ ඔහුගේ සමීපතම ඥතියකු වන සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්‌ටු විසින් වේදනාවෙන් සිටි එකී සෙබළුන් පිරිස වෙඩි තබා මරා දමනු ලැබීය.

මෙහිදී ලුතිනන් වාස්‌ ගුණවර්ධන, මාණ්‌ඩලික සැරයන් එස්‌. තිලකරත්න, සැරයන් ප්‍රේමසිරි පෙරේරා, කෝප්‍රල් ජී. ඩී. පෙරේරා සහ ලාන්ස්‌ කෝප්‍රල්වරුන් වූ එස්‌. අමරසිංහ, කේ. සී. කරුණාරත්න, ඒ. විජේසිරි, ගාමිණි රත්නතිලක, එම්. බී. සුනිල්, ජෝශප් ප්‍රනාන්දු, අතුල දිසානායක, බී. ඩී. රොබට්‌ සහ සරත් මනතුංග ඝාතනය විය.

මෙම ඝාතනයට හේතු වූයේ ප්‍රභාකරන්ගේ දකුණු අත යෑයි හඳුන්වන චාල්ස්‌ ලුකස්‌ ඇත්තනි හෙවත් කර්නල් සීලන් නමැති ත්‍රස්‌තයා යාපනයේ පේසාලෙයි හිදී හමුදා ප්‍රහාරයකින් මියයැමයි.

පේසාලෙයි පොල් වත්තක සීලන් සැඟවී සිටින බව හමුදා බුද්ධි අංශවලට ලත් තොරතුරු මත එම ප්‍රදේශය වට කිරීමේදී සීලන්, ආනන්ද සහ අරුණා යන ත්‍රස්‌තයන් තිදෙනා පොල්වත්තේ නිවසේ සිටි බව සනාථ විය. එහිදී හමුදාව සමග වූ වෙඩි තබාගැනීමේදී සීලන් මරුමුවට පත්වූ අතර අරුනා පැන ගියේය.

හමුදා සෙබළුන් දහතුන් දෙනකු ඝාතනයවීමේ සිද්ධිය එකල සිටි ජේ. ආර්. ජයවර්ධන පාලනය මුහුණපෑ බරපතළම සිද්ධියයි. එම පුවත වාරණයට ලක්‌ කිරීමෙන් පසු සුළු වශයෙන් පළ කිරීමට රජය විසින් මාධ්‍යවලට නියෝග කෙරිණි.

ඝාතනයට ලක්‌වු සෙබළුන්ගේ සිරුරු ගම්වලට ගෙන යැමට ඉඩ දුන්නොත් ගිනි ඇවිලීමට ඉඩ ඇතැයි සැකකළ ජයවර්ධන පාලනය එම සිරුරු ඥතීන්ට බාර නොදී ජුලි 25 වැනිදා බොරැල්ලේ කනත්තේ දී ආදාහනය කිරීමට තීරණය කරනු ලැබීය.

මේ නිසා මියගිය සෙබළුන්ගේ ඥතීහු දැඩි ලෙස කෝපයට පත්වූහ. එසේම සෙබළුන් වෙනුවෙන් පාංශකූලය පවා නොදී විගස අවසන් කටයුතු කිරීම රජයේ අරමුණ විය.

ජයවර්ධන පාලනයේ මේ අදූරදර්ශී ක්‍රියාමාර්ගය ඇවිලෙමින් තිබූ ගින්නට පිදුරු දැමීමක්‌ විය. එසේම කොළඹ කනත්ත වෙත ජනතාව ඒකරාශීවීම වැළැක්‌වීම සඳහා පොලිසිය ද යොදවනු ලැබීය.

එහි ප්‍රතිඵලය වූයේ මියගිය සෙබළුන්ගේ ඥතීහු ඇතුළු සිවිල් ජනතාව කෝපයට පත්වීමයි. බොරැල්ල කනත්ත අසල රැස්‌වූ පිරිස මෙල්ල කිරීම සඳහා එවකට සිටි පොලිස්‌ නිලධාරීහු ඒ. සී. ගපූර් නමැති සද්දන්ත පොලිස්‌ නිලධාරියාව යොදවනු ලැබීය. එහෙත් ගපූර්ට කෝපයට පත්වී සිටි ජනතාව මර්දනය කිරීමට නොහැකි විය. ඔහුගේ හිසට ද ගල් පහරක්‌ වැදින. මේ තත්ත්වය මැද මියගිය සෙබළුන්ගේ අවසන් කටයුතු කඩිමුඩියේ සිදුවිය.

එකී අවසන් කටයුතු සිදුවීමෙන් පසු කලහකාරී පිරිස්‌ දේශප්‍රේමයට මුවා වී විනාශකාරී ක්‍රියා දියත් කළහ. මෙලෙස විනාශකාරී ක්‍රියා සිදුවෙද්දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා ඔහුගේ රජය බලා සිටියේය. මේ කලහකාරී පාර්ශ්වයන් අතර එවකට රජයේ ඇමැතිවරයකු යටතේ පැවැති ලංකා දුම්කොළ සංස්‌ථාවේ පිරිස්‌ ද විය. මෙම රාජ්‍ය ආයතනය එකල ත්‍රිරෝද රථ ගෙන්වා තිබිණි. එම ත්‍රිරෝද රථවල නැගුන පාදඩ පිරිස්‌ සෙබළුන්ගේ මරණ තම වාසියට ගනිමින් තවදුරටත් ගිනිතැබීම් ඇති කරමින් සිදු කළ විනාශය අපට දෑසින් දැකගත හැකි විය. එහෙත් දින හයක්‌ තිස්‌සේම රජය නිහඬ විය. 1983 ජුලි 30 වැනිදා ජයවර්ධන රජය විසින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ, ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂය යන පක්‍ෂ තහනම් කර එකී නායකයන්ව අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය. එවකට රාජ්‍ය ඇමැති වූයේ ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතායි. කැබිනට්‌ තීන්දු මාධ්‍යවලට දැනුම්දීම භාරව සිටි ආනන්ද තිස්‌ස ද අල්විස්‌ අරාබි නිසොල්ලාසයේ එන කතාවලටත් වඩා අපූරු කතාවක්‌ කීවේය. මේ පක්‍ෂ තුන ජාතිවාදී ආගමික කලබල ඇතිකර රාජ්‍ය බලය පැහැර ගැනීමට සැලසුම් කළ බව ඔහු කියා සිටියේය.

එහෙත් ඊට අදාළ කිසිම සාක්‍ෂියක්‌ ජයවර්ධන රජයට සොයා ගැනීමට හැකි වූයේ නැත. මාස කීපයකට පසු ජ.වි.පෙ. හැර අනිත් පක්‍ෂ දෙකේ තහනම ඉවත් විය. සෙබළුන් දහතුනක්‌ මරා එය විනාශකාරී ක්‍රියාදාමයකට යොමු කළ කොටි නායක ප්‍රභාකරන් ඉන් වාසියක්‌ ගත්තේය.

එනම් ශ්‍රී ලංකාවේ රජය හා ජනතාව ද්‍රවිඩයන් ඝාතනය කරන බවයි. ප්‍රභාකරන්ගේ මේ උපක්‍රමය සඳහා ඉන්දීය ඇනීටා ප්‍රතාප් නමැති මාධ්‍යවේදිනිය සහාය වූවාය. ඇය කොටි ත්‍රස්‌තවාදය විමුක්‌ති අරගලයක්‌ ලෙස හඳුන්වමින් එය ජාත්‍යන්තරයට ලක්‌ කළාය.

මෙයට විසිනව වසරකට පෙර සෙබළුන් ඝාතනයවීම හා ඉන්පසු විනාශකාරී ක්‍රියා ඇතිවූ සමයේ පරිගණක ජාලය හා වෙබ් අඩවි, ටුවිටර්, පේස්‌බුක්‌ වැනි අඩවි නොතිබූ නිසා රාජ්‍ය නොවන සංවිධාන කීපයකට සිදුවූයේ තැන් තැන්වලට ගොස්‌ ඡායාරූප ලබාගැනීමයි.

එදා දැන් මෙන් වෙබ් ජාලයක්‌ නොතිබූ නිසා ජයවර්ධන පාලනයට යුද අපරාධ චෝදනා ගැන හෝ මානව හිමිකම් ගැන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් එල්ලවූයේ නැත. ඊට මූලික හේතුව ජේ. ආර්. ජයවර්ධන ඇමරිකානු හිතවාදියකු ලෙස හැඳින්වීමයි.

මේ අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ප්‍රකාශයක්‌ කරමින් ත්‍රස්‌තවාදයට නිසි ප්‍රතිචාර දක්‌වන බව කීවේය. මේ ප්‍රකාශයෙන් පසු ජයවර්ධන ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙක්‌ බෞද්ධ ධර්මය අදහන ඔබ ත්‍රස්‌තවාදයට නිසි ප්‍රතිචාර දක්‌වන බව පැවසීමෙන් සිවිල් වැසියන් ද මරුමුවට පත්වන නිසා එය බුදුදහමට පටහැනි නේද යෑයි විමසුවේය. ජයවර්ධන මහතා ඊට ප්‍රතිචාර දැක්‌වූයේ මහත්මා ගාන්ධි කළ ප්‍රකාශයකිනි. දිනක්‌ මහත්මා ගාන්ධිතුමා වේදනාවෙන් පෙළෙන වසු පැටියකු දුටුවා. මේ වසු පැටියාව මරා දමන්නැයි එතුමා නියෝග කළා. මහත්මා ගාන්ධිතුමා ළඟ එම වසුපැටියා මරන ෙච්තනාවක්‌ තිබුණේ නැහැ. එම වසුපැටියා සම්බන්ධව මහත්මා ගාන්ධිතුමා අනුගමනය කළ ක්‍රමවේදයම මා අනුගමනය කරනවා යෑයි ජේ.ආර්. ප්‍රතිචාර දැක්‌වීය.

1983 අගෝස්‌තු මසදී ජයවර්ධන රජය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හය වැනි සංශෝධනය සම්මත කරමින් දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් රට බෙදීමට එරෙහිව ප්‍රතිඥ දිය යුතු බව කියා සිටියේය.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක අමිතර්ලිංගම් සහ එම පක්‍ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැළකුණි.

අමිතර්ලිංගම් ඉන් පසු යාපනයේදී ද්‍රවිඩ ජනතාව අමතමින් රජයට එරෙහිව දැඩි ප්‍රකාශයක්‌ කිරීමෙන් ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය බලාපොරොත්තු වු බෙදුම්වාදයට රුකුලක්‌ ලැබිණි.

මෙලෙස වසර 29 කට පෙර වූ අතීතය අනාවරණය වන අවස්‌ථාවේ නෝර්වේ ද්‍රවිඩ සංසදය නමැති කොටි හිතවාදී සංවිධාන පසුගිය සඳුදා ප්‍රකාශයක්‌ කරමින් ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යෑවීමට උත්සාහ කළේය. “ද්‍රවිඩයන්ට කිසිවිටෙක සිංහලයන් සමග එක්‌වී වාසය කළ නොහැකියි. සිංහල ජාතිවාදීහු ද්‍රවිඩයන්ගේ ලේ බොනවා. 1946 දී ද්‍රවිඩයන් දස දහසකට අඩු පිරිසක්‌ නැගෙනහිර වාසය කළා. අද සිංහලයන් මිලියන 10 ක්‌ නැගෙනහිර සිටිනවා. ද්‍රවිඩයන් 600 ක්‌ නුවරඑළියට ගෙන ගිය නාවික හමුදාව ඔවුන්ව ඝාතනය කළා. කොළඹ 11 පිටකොටුවේ හෙට්‌ටිවීදියේ දී සිසුන්ව පෝලිම් ගස්‌සා වෙඩි තැබුවා. 2012 වසරේදී ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ලක්‍ෂ 20 ක්‌ මැරුවා. නිදහස උදෙසා සටන් කළ 35000 කට අධික සංඛ්‍යාවක්‌ දිවි පිදුවා. අපේ එකම අරමුණ ඊළමයි යෑයි නෝර්වේ කොටි හිතවාදී සංවිධානය සාවද්‍ය ප්‍රකාශ රැසක්‌ දක්‌වමින් පළ කළේය. නෝර්වේ කොටි මෙලෙස ගල් පැලෙන බොරු කියද්දී නෝර්වේ සිට ශ්‍රී ලංකාවට කණ්‌ඩායමක්‌ පැමිණි බව හෙළි විය. මේ කණ්‌ඩායම සමග පැමිණි ගුවන් ටිකට්‌පත් අලෙවි කරන්නකු පැවසුවේ තමන් ශ්‍රී ලංකාවට යන්නන් සඳහා ප්‍රවේශ පත්‍ර 4500 ක්‌ අලෙවි කළ බවයි.

මේ පිරිස කවුරුන්ද? එසේම මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ දැන් සනාථ වී ඇත. එහෙත් මන්නාරමේ රදගුරු රාසප්පු ජෝශප් සමග නෝර්වේ වෙත ගිය සිංහල නීතිවේදියාගේ අබිරහස්‌ සංචාරයේ තොරතුරු හෙළි විය. කොටි කාන්තා බළකායේ නායිකාව වූ තමිලිනිගේ සොහොයුරිය සිටින්නේ නෝර්වේ රාජ්‍යයේයි. තමිලිනි වෙනුවෙන් මෙරටදී පෙනී සිටියේද එම නීතිවේදියා යෑයි හෙළි විය.

මෙලෙස නෝර්වේ ගිය ශ්‍රී ලංකා විරෝධී ප්‍රකාශ කරන රායප්පු ජෝශප් රදගුරු හා ඔහුගේ සහායකයා ඔස්‌ලෝ ගුවන්තොටුපළට එන විට අපේ තානාපති කාර්යාලයේ නිල රථයක්‌ ඔවුන් සඳහා සපයා තිබිණි.

රායප්පු ජෝශප්ට නිල රථයක්‌ යවන්නැයි රජය නෝර්වේහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස්‌ දී නොතිබූ බවද වාර්තා විය. මෙම පසුබිම යටතේ ලන්ඩන් නගරයේදී පසුගිය 22 වැනි ඉරිදා ශ්‍රී ලංකාවට එරෙහිව කොටි විරෝධතාවයක්‌ පැවැත්විණි. හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජෙයනාදමුර්ති සමග එක්‌වූ කුර්දි බෙදුම්වාදියකු වන අකිප් වාන් නමැත්තා ඔලිම්පික්‌ උළෙලට පැමිණි ශ්‍රී ලංකා පිළ වහාම පිටුවහල් කරන්නැයි ඉල්ලමින් ඝෝෂාවක්‌ කළේය. ජෙයනදමුර්ති එහිදී මෙලෙස කියා සිටියේය. “අපේ අරගලය (ඊළම) අත්හරින්නේ නැති බව ලෝක ප්‍රජාවට අපි කියනවා. ලෝකයේ විවිධ ආයතන අපේ අරගලය නතර කිරීමේ අරමුණින් විවිධ බොරු පොරොන්දු දීමට උත්සාහ කරයි. එහෙත් ද්‍රවිඩයන්ව මෝඩයට අන්දවන්න බැහැ. මුල්ලිවයික්‌කාල්වලින් පසු ඩයස්‌පෝරාව අවිහිංසා ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මේ අවිහිංසා ක්‍රමවේදය ප්‍රතික්‍ෂේප කළහොත් ක්‍රමවේදය වෙනස්‌ වෙයි.

කොටි ධජ පසුබිමේ ගමන් කළ ජෙයනාදමුර්ති නමැති කොටි හිතවාදියා මින් කියා සිටින්නේ නැවත වරක්‌ ආයුධ අතට ගන්නා බව නොවේද?

එහෙත් ප්ලොට්‌ සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසන්නේ කිසිවිටෙක ආයුධ සන්නද්ධ අරගලයකක්‌ ආරම්භ කළ නොහැකි බවයි. ආපසු තිස්‌ වසරක්‌ යුද්ධ කරන්න ද්‍රවිඩ ජනතාව කැමැති නැහැ. 2009 මැයි මස කොටි සංවිධානය පරාජය වුණාම ද්‍රවිඩ ඩයස්‌පෝරාව එකවරම නිහඬ වුණා. එහෙත් උතුරේ මැතිවරණයෙන් ද්‍රවිඩ සන්ධානය ජය ලැබීමත් සමග ඩයස්‌පෝරාව ආපසු නැගිට්‌ටා යෑයි හෙතෙම පළ කළේය. මේ අතර ද්‍රවිඩයන් ඕස්‌ටේ්‍රලියාවට පලා යැමේ සිද්ධීන් රැසක්‌ අනාවරණය විය. මේ වන විට නාවික හමුදාව බෝට්‌ටු 11 ක්‌ හා ද්‍රවිඩයන්, සිංහල හා මුස්‌ලිම් ජාතිකයන් 590 ක්‌ අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් පැනගිය සංඛ්‍යාව 1400 කට අධික යෑයි හෙළි විය. මෙලෙස පැනගිය ද්‍රවිඩයන් පිළිබඳව සහ බෝට්‌ටුවල අනන්‍යතාව ශ්‍රී ලංකාවට ලබාදිය යුතු නමුත් ඕස්‌ටේ්‍රලියානු රජය එකී සියලු තොරතුරු ලබාදීම වසන් කර ඇත. ඕස්‌ටේ්‍රලියානු මහකොමසාරිස්‌ කාර්යාලයේ ඕස්‌ටේ්‍රලියානු පෙඩරල් පොලිසියේ නිලධාරියකු ද සිටිනවා. එහෙත් මෙතෙක්‌ නාවික හමුදාවට කිසිම තොරතුරක්‌ ලබාදී නැහැ යෑයි නාවික හමුදා ආරංචි මාර්ග කියා සිටියේය.

නාවික හමුදා බලධාරීහු මෙරට ඕස්‌ටේ්‍රලියානු තානාපතිනි රොබින් මූඩි සමග පැවැත්වූ සාකච්ඡාවේදී පවා ඇය ඕස්‌ටේ්‍රලියාවට පැනගිය පිරිස කවුදැයි හෙළි කළේ නැත.

මෙයට වසර කීපයකට පෙර තමිල් සෙල්වන් නමැති කොටි ත්‍රස්‌තයා ගුවන් ප්‍රහාරයකින් මියගිය බව අසා වැලපුනේ ද ඕස්‌ටේ්‍රලියානු තානාපති කාර්යාල නිලධාරියෙකි.

මේ පසුබිම යටතේ හියුමන් රයිට්‌ස්‌ ලෝ සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්‍ෂ පිහිල් ලින්ච් පැවසුවේ කෲර වධහිංසාවලට ලක්‌වන අයව ඕස්‌ටේ්‍රලියාවට පැන ඒමට නීතියෙන් ඉඩකඩ ඇති බවයි.

එහෙත් ඕස්‌ටේ්‍රලියාවට පැමිණි ද්‍රවියන් කිසිවෙක්‌ වධහිංසාවලට ලක්‌වූවන් යෑයි අනාවරණ වී ඇති බවයි. මේ පසුබිම යටතේ ද්‍රවිඩයන් විදේශගත කිරීමේ ජාවාරමට සම්බන්ධ බවට සැකපිට ද්‍රවිඩ සන්ධානයෙන් නැගෙනහිර පළාතට තරග වදින වෙල්ලතම්බි සුරේශ් කුමාර්, වෙල්ලතම්බි සුදර්ශන් සහ කරිකාලන් කන්දන්සාමි නමැති නීතිවේදියකු ද රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

මොහු අත්අඩංගුවට ගැනීමත් සමගම නැගෙනහිර පළාතේ දේශපාලනඥයකු හා ඔහුගේ බිරිය දැඩි ලෙස කලබයට පත්වී ඇත. මොහුගේ බිරිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් ද ඇමතූ බව හෙළි විය. හිටපු කොටි සාමාජිකයකු වූ සුරේශ් කුමාර් නමැත්තා නැගෙනහිර ප්‍රදෙශයේ රජයේ කොන්ත්‍රාත් පවා ලබාගෙන කෝටිපතියකු බවට පත්වී තිබේ. ඔහු ඉහත කී දේශපාලනඥයාගේ සමීපතම සගයෙක්‌ යෑයි ද අනාවරණය වී ඇත.

ත්‍රිකුණාමල ආරංචි මාර්ග දක්‌වන අන්දමට සුරේශ් කුමාර්ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකත්වය ලබාදීමට ද එම දේශපාලනඥයා ගත් උත්සාහය ව්‍යාර්ථ වී ඇත. මොහුව බේරා ගැනීමට ඇතැම් පාර්ශ්වයන් දැඩි උත්සාහයක යෙදී සිටින බව හෙළිවී තිබේ.

ද්විත්ව රංගනයක යෙදුනු සුරේශ් කුමාර් රජයේ දේශපාලකයකු සමග සබඳකම් පවත්වමින් අනිත් පැත්තෙන් ද්‍රවිඩ සන්ධානයට එකතු වී තිබේ.

මෙලෙස සුරේශ් කුමාර් අසුවන අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධානය ජිනීවාහි මානව හිමිකම් සමුළුව වෙත ද්‍රවිඩ ජාතිකයන් වධහිංසානවලට ලක්‌වන බවට දක්‌වමින් තොරතුරු සැපයීමට සැලසුම් කර තිබිණි.

ද්‍රවිඩයන් ඕස්‌ටේ්‍රලියාවට පැමිණෙන අවස්‌ථාවේ ඔවුන්ට සහායවීමට කොටි හිතවාදී ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොංග්‍රසයේ බාලා විග්නේෂ්වරන් නමැත්තා ද ඉදිරිපත් වී සිටින බව තවදුරටත් හෙළි විය.

මේ අතර පසුගිය බදාදා බ්‍රිතාන්‍යයේ සිට ද්‍රවිඩ යුවළක්‌ මෙරටට පැමිණි බව අනාවරණය විය.

ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බව කියමින් බ්‍රිතාන්‍යයේ පැවැති විරෝධතාවයකට ද මොවුන් සහභාගි වී ඇත.

මේ අතර ස්‌විස්‌ බැංකු දෙකකට හොර ලියකියවිලි ඉදිරිපත් කර ඩොලර් ලක්‍ෂය බැගින් ලබාගත් ස්‌විස්‌ කොටි ක්‍රියාකාරීහු විසිහය දෙනකුගේ ශ්‍රී ලංකා ඒජන්තවරුන් ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පහළොවකගෙන් යුත් ස්‌විස්‌ පොලිස්‌ විමර්ශක කණ්‌ඩායමක්‌ සැප්තැම්බර් 3 වැනිදා මෙරටට පැමිණෙනු ඇත. මෙම පිරිස මෙරට සිටින කොටි මූල්‍ය අංශයේ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත. මෙම ස්‌විස්‌ කොටි ත්‍රස්‌තයන් එකී මුදල් යුද අවි ලබාගැනීම සඳහා කොටි සංවිධානයට ලබාදී ඇතැයි හෙළිවිය.

මෙලෙස ස්‌විස්‌ කොටින්ගේ තොරතුරු හෙළිවීම වළක්‌වනු සඳහා ස්‌විස්‌ කොටි ජාලය විසින් ත්‍රස්‌තවාදීන්ගේ නීතිඥයා යෑයි හඳුන්වන මාසල් බොස්‌නට්‌ නමැත්තාගේ සහාය පතා ඇත.

ඔහු මෙම ස්‌විස්‌ විමර්ශන කණ්‌ඩායම ශ්‍රී ලංකාවට යැමට සැලසුම් කිරීම ගැන දැඩි විරෝධය දක්‌වා තිබේ. එසේම මෙම ස්‌විස්‌ කොටින්ට එරෙහිව තොරතුරු සැපයුවේ කව්දැයි හෙළි කරන්නැයි ද ඔහු ස්‌විස්‌ පොලිසියෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය