Spread the News

ග්‍රීස්‌ යක්‌කු පසුපසත් කොටි සෙවනැලි!

source:
කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා ගෝලීය ද්‍රවිඩ සංසදය සහ කැනඩා කොටි ජාලය එක්‌ව දියත් කර තිබූ කුමන්ත්‍රණයක සුලමුල හෙළිවී ඇත. හමුදා කඳවුරුවල සිටින සෙබළුන් ග්‍රීස්‌ යකුන් මෙන් සැරසී සංචාරකයන් සිටින හෝටල්වලට කඩාවැදී අතවර සිදු කර භාණ්‌ඩ කොල්ලකන බවට මෙම කොටි ක්‍රියාකාරීහු පසුගිය සති තුන මුළුල්ලේම සාවද්‍ය ප්‍රචාර මෙහෙයවා තිබේ.

සංචාරකයන්ගේ පැමිණීම සියයට 36 කින් වැඩිවී මේ වන විට 465324 ක්‌ මෙරටට පැමිණ ඇති නිසා කොටි ජාලය මෙකී ක්‍රමවේදය දියත් කර ඇත.

මෙයට සමගාමීව කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට කොටි ක්‍රියාකාරීන් සංචාරකයන් වේශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ උතුර හා නැගෙනහිර ප්‍රදේශවලට ගොස්‌ මෙම සාවද්‍ය ග්‍රීස්‌ යකුන් පිළිබඳ ප්‍රචාර මෙහෙයවා ඇත.

ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ මේ රහසිගත ක්‍රියාදාමය සම්බන්ධව නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ද රජයේ ඉහළ පෙළේ බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

මෑතකදී ආරක්‍ෂක බලධාරීන් විසින් බ්‍රිතාන්‍යයේ සිට පැමිණි මවක්‌ හා දියණියක්‌ ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර ඔවුන් ද පවසා ඇත්තේ සංචාරකයන් බවයි.