Spread the News

ගාන්ධි උපන් ගමේ උපත ලබා අපේ රටට විත්
වතු කම්කරු සටන් දිනවූ අබ්දුල් අසීස්‌

මෙරට වතු කම්කරුවන්ගේ විමුක්‌තිය උදාකරදීම සඳහා එදා තම ජීවිතයම කැපකළ දේශපාලනඥයකු වූ දිවංගත වතු කම්කරු වෘත්තීය සමිති නායක අබ්දුල් අසීස්‌ මහතාගේ 26 වැනි ගුණ සමරුව ලබන 29 දාට යෙදී තිබේ.

ඉන්දියාවේ අවිහිංසාවාදයේ පියා වූ මහත්මා ගාන්ධිතුමා උපත ලද පොර්බන්දර් ප්‍රදේශයේ දී අසීස්‌ මහතා 1912 ඔක්‌තෝබර් 06 වැනිදා ජන්ම ලාභය ලැබීය. ඉන්දීය වතු කම්කරු කොංග්‍රසය ලෙස අරඹා පසුව අසීස්‌ මහතා ඇරැඹූ දැවැන්ත වෘත්තීය සමිති ව්‍යාපාරය ලංකා වතු කම්කරු සංගමය හා ප්‍රජාතන්ත්‍රවාදී වතු කම්කරු සංගමය වශයෙන් වෙනස්‌ විය. ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය තුළින් වතු කම්කරු ජනතාව එදා සුදු අධිරාජ්‍යවාදී පාලනය තුළ සුදු පාලකයන්ගේ තර්ජනයට හා වෛරයට ලක්‌ව තිබියදී ඊට එරෙහිව ඔවුන් වෙනුවෙන් අභීත හඬක්‌ නැගුවේ අසීස්‌ මහතා ය. 1943 වර්ෂයේ දිනෙක ඔහු අලුත්කඩේ උසාවියේ නඩුවක විත්තිකරුවකු කෙරිණි. බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරැලි ගැසීමට තුඩුදුන් කතාවක්‌ පැවතීම ඔහුට එරෙහිව වූ චෝදනාව විය. ජූරි සභාව ඔහු නිවැරැදිකරු බවට තීරණය කළද එදා අධිකරණයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික විනිසුරුවරයා තම තීන්දුව පළ කළේ ඉතා අකමැත්තෙනි.


මෙරට තේ, රබර් වගා කටයුතුවල යෙදී සිටින ඉන්දීය හා සෙසු වතු කම්කරුවන්ගේ දේශපාලන ප්‍රජා අයිතිවාසිකම් වෘත්තීය සමිති හිමිකම් ආරක්‌ෂා කරදීමට හෙතෙම මහත් සේ කැප විය. එදා ලංකා ඉන්දියානු ඒකාබද්ධ කොංග්‍රසයේ පුරෝගාමී නායකයකු වුණේද අසීස්‌ මහතාය. 1942 දී එහි සභාපති ධුරයටද ඔහු පත් කෙරිණි. වතු කම්කරුවන්ට විශේෂ දීමනාවක්‌ ලබාදීමට එදා ඔහු පැවැත්වූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට 33000 ක්‌ පමණ සහභාගි වූ අතර මෙරට කම්කරු ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය එය විය. 1950 පැවැත්වූ ලෝක කම්කරු සංවිධානයේ රැස්‌වීමේ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේද ඔහුය. 1950 වතු කම්කරු අයිතීන් රැකදෙනු උදෙසා වූ අරගලයකදී බලන්ගොඩ පිටියාගල වත්තට ඇතුළුවීම පිළිබඳව චෝදනාව යටතේ ඔහු සිරගත කෙරිණි. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට එම සිරගත කිරීමේ නියෝගයට එරෙහිව ඇපෑලක්‌ ඉදිරිපත් කළද එය නිෂ්ප්‍රභ වීම නිසා ලන්ඩන් ප්‍රිවි කවුන්සලයට ඇපෑලක්‌ යොමුකර එම සිර දඬුවම අවලංගු කර ගත්තේ තම ජවසම්පන්න පරිණත නායකත්වය පසක්‌ කරමිනි. 1955 බැංඩුං සම්මේලනයේ ප්‍රතිඵලයක්‌ ලෙස බිහිවූ ආසියා – අප්‍රිකා සහයෝගිතා සංගමය උඩකැන්දවල සරණංකර නාහිමියන්ගේ නායකත්වයෙන් බිහිවූ අතර එහි අඛණ්‌ඩ සාමාජිකයකු හා 1981 එහි උප සභාපතිවරයාද වෙමින් ආසියා අප්‍රිකා රටවල ජනතාවගේ විමුක්‌තිය උදෙසා අප රට නියෝජනය කරමින් ඔහු ඉමහත් මෙහෙවරක්‌ කළේය. මෙරට ජනවාර්ගික ප්‍රශ්නය විස¹ලීමට සර්වපාක්‌ෂික සමුළුවේදී ඔහු කළ යෝජනා එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඉමහත් ප්‍රසාදයට හේතුවිය. මෙරට ජාතික දේශපාලනයේ නායකයන් රාශියක්‌ මෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි, අලිභූතෝ, වී. වී. ගිරි ඇතුළු ලෝක නායකයන් රැසක්‌ම ඔහු ඇසුරු කළේය. මෙරට දුක්‌විඳින හා අවම පහසුකම් යටතේ ජීවිත ගතකළ වතු කම්කරු ජනතාවගේ ජීවිතත් උසස්‌ කරලීම ඔහුගේ එකම අභිප්‍රාය විය.

අබ්දුල් අසීස්‌ හැමවිටම අප රටේ ස්‌වෛරීත්වය ප්‍රාර්ථනා කළ අධිරාජ්‍යවාදී බැම්මෙන් අප දේශය මුදා ගැනීමට ප්‍රමුඛතාව දුන් දේශපාලන නායකයෙකි. ජී. ජී. පොන්නම්බලම් වැනි නායකයන් 50 ට 50 වැනි ඉල්ලීම් ඉදිරිපත් කළ වකවානුවක අසීස්‌ මහතාගේ භූමිකාව මෙරට දේශපාලන විචාරකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ බව නොරහසකි. සෝල්බරි කොමිසම හමුවේ ඉංග්‍රීසි ආණ්‌ඩුව පළමුව සුළු ජාතික ප්‍රශ්නය විස¹ දෙවනුව ඊළඟ පියවරට ප්‍රවිශ්ඨවීම සුදුසු බවට යෝජනා කළ අවස්‌ථාවේ අසීස්‌ මහතා පැවසුවේ කුමක්‌ද? අපි සිංහල ජනතාව කෙරෙහි විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා. අපේ ප්‍රශ්න අනාගතයේ එම විශ්වාසය අනුව විස¹ ගැනීමට අපි උත්සාහ කරනවා. ඒ නිසා පළමුව අප රටට නිදහස අවශ්‍යයි. ආණ්‌ඩු ක්‍රමයක්‌ ඇති කිරීම පළමුව කළ යුතුයි යනුවෙන් කළ යෝජනා කිරීම අපි මාතෘ භූමියට ආදරය කළ දූරදර්ශී වූත්, ඔහුගේ විශිෂ්ට වූත් දේශපාලන දැක්‌මේ නිවැරැදි භාවය මැනවින් කියාපෑමක්‌ විය. ඔහුට දරුවන් සිවුදෙනකු විය. වෛද්‍ය ලයලා හස්‌වානි, වෛද්‍ය සෙබුන් පටෙල්, දියණියන් දෙදෙනාය. අසීස්‌ මහතා එදා ඇරැඹූ දේශපාලන පක්‍ෂය ඉදිරියට ගෙන යන අසීස්‌ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයේ නායක අශ්රොµa අසීස්‌ සහ අන්වර් අසීස්‌ පුතුන් දෙපළයි. ප්‍රථම පාර්ලිමේන්තුවේ මස්‌කෙළිය මන්ත්‍රීවරයා ලෙසද 1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය තම රජයේ පත්කළ මන්ත්‍රීවරයකු ලෙසද ඔහු පත්කළ අතර 1977 දක්‌වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මේ රටේ ස්‌වෛරීත්වය පළමුව පතමින් තම ජනතාවගේ විමුක්‌තිය උදෙසා ජීවිතය කැපකළ අබ්දුල් අසීස්‌ මහතා 1990 අප්‍රේල් 29 වැනිදා අභාවප්‍රාප්ත විය.

අසීස්‌ මහතා ජීවිතයෙන් සමුගත් අවස්‌ථාවේ එවක ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ඒ මහතා දැයට ඉටු කළ දැවැන්ත මෙහෙවර ගැන මෙලෙස සඳහන් කර සිටියේය. “සමාජ සාධාරණය ඇති කිරීම සඳහා වූ අරගලයෙහි අසීස්‌ මහතා වසර 50 කට අධික කාලයක්‌ යෙදී සිටියේය. විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ දුක්‌ කම්කටොලු තුනී කිරීමට එතුමා මුළු ජීවිත කාලය තුළ සටන් කළේය. ජාත්‍යන්තර සමුළු ගණනාවකට ද එතුමා අප රට නියෝජනය කරමින් හා වතු කම්කරු ජනතාව වෙනුවෙන් විය. එතුමා එමෙන්ම ශ්‍රේaෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදියකු ද විය. එදිරිවාදිකමින් නොව සාකච්ඡාව හා ගිවිසීම මගින් ප්‍රශ්න නිරාකරණය කිරීම ගැන එතුමා විශ්වාස තැබීය. පටු දේශපාලන වාසිය ඉක්‌මවා රටට ඇල්ම කළ දුර්¨ලභ ශ්‍රී ලාංකික නායකයන් අතරට අයත් වන එතුමා සැබෑ දේශප්‍රේමියෙකි.

එස්‌. කේ. ඡේ. කුරේරා