Spread the News

ගිනිඅවි අතැතිව මිරිහානේ සැරිසැරූ
තිදෙනා ගැන සත්‍ය තොරතුරු රටට කියන්න
– ගෝඨාභය පොලිස්‌පතිගෙන් ඉල්ලයි

අනුර බාලසූරිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනට වාසය කරන මිරිහාන ප්‍රදේශයට පෙරේදා (20 වැනිදා) ගිනි අවි රැගෙන පැමිණි තිදෙනා පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වා සත්‍ය රටට හෙළි කරන ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලිස්‌පතිවරයාගෙන් කළ ඉල්ලීම පිළිබඳ කියා සිටියේ උදය ගම්මන්පිල මහතාගේ බත්තරමුල්ල මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.

ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම වෑන් රථය එල්ටීටීඊ සංවිධානය භාවිතා කළ එකක්‌ යෑයි හෙළිවී ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

සිවිල් ඇඳුමින් සැරසී සිටි මෙම සිව්දෙනා ගිනි අවිද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්‍ෂණයක්‌ පවත්වා සත්‍ය හෙළි කරන ලෙස තමන් පොලිස්‌පතිගෙන් ඉල්ලා සිටි බවද රාජපක්‍ෂ මහතා පැවැසීය.

සුදු වෑන් සංස්‌කෘතියක්‌ පිළිබඳ අපට චෝදනා කළ සෝභිත හිමියන් මේ පිළිබඳ කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයක්‌ යෑයිද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේය.

එල්ටීටීඊ සාමාජිකයන් සිව් දෙනකු පෙරේදා 20 වැනිදා තමිල්නාඩුවේදී සයනයිඩ් හා අවි ආයුධ සමග පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා එහිදී තවදුරටත් පැවැසීය.