ගිනි තබා ගැනීමට තැත් කළ හිමිනම අත්අඩංගුවට

Spread the News

ගිනි තබා ගැනීමට තැත් කළ හිමිනම අත්අඩංගුවට

* භික්‍ෂූහු තිදෙනෙක්‌ මාරාන්තික උපවාසයක්‌ අරඹති
* භික්‌ෂුවකට පහරදීමකින් කොටුව උණුසුම් වෙයි…
source:
සිරිමන්ත රත්නසේකර, කමල් බෝගොඩ
ඡායාරූපය කමල් බෝගොඩ


ගව ඝාතනය තහනම් කිරීම සහ අහිමිකර ඇති බෞද්ධ අයිතීන් සුරක්‌ෂිත කරදෙන ලෙස ඉල්ලා සිංහල රාවය ජාතික සංවිධානයේ භික්‍ෂූන්වහන්සේලා තිදෙනෙක්‌ ඊයේ (18 වැනිදා) කොටුව දුම්රියපළ ඉදිරිපිට මාරාන්තික උපවාසයක්‌ ඇරඹූහ.

එම සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්Æලෝක, රත්නපුර දිස්‌ත්‍රික්‌ සභාපති වේරගල සෝභිතවංශ සහ පොළොන්නරුවේ සීලවංශ යන හිමිවරුන් විසින් මෙසේ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන ලදී.

ගව ඝාතනය නතර කර බෞද්ධ අයිතීන් සුරකින බවට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් ලිත විසqමක්‌ ලැබෙන තෙක්‌ තම සංවිධානයේ භික්‍ෂූන්වහන්සේලා මාරාන්තික උපවාසයක නියෑළෙන බව සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියෝ ඊයේ (18 වැනිදා) “දිවයින”ට ප්‍රකාශ කළහ.

එම අරමුණ ඉටුවන තෙක්‌ හිමිවරුන් දානය වැළඳීමෙන් වැළකී සිටින බවත් තම සංවිධානය මෙම ඉල්ලීම් කරනුයේ පෞද්ගලික යමක්‌ හෝ වෙනත් අරමුණු වෙනුවෙන් නොවන බවත් කී දයාරතන හිමියෝ මෙරට ජනතාවගෙන් සියයට අනූතුනක්‌ම ගව ඝාතනයට විරුද්ධ බවත් කීය.

ගව ඝාතනය සම්බන්ධයෙන් සිංහල රාවය. ජාතික සංවිධානය කර ඇති ඉල්ලීම්වලට නිසි පිළිතුරු ඉල්ලා එම සංවිධානයේ භික්‍ෂූන්වහන්සේලා පිරිසක්‌ පසුගිය 16 වැනිදා සිට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට අඛණ්‌ඩව සත්‍යග්‍රහ ව්‍යාපාරයකට අවතීර්ණ වී තිබේ.

ඊයේ 18 වැනිදා දිනය තුළ ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධව ප්‍රතිචාර නොලැබුණොත් හිමිනමක්‌ ගිනි තබා ගන්නා බවට කර තිබූ ප්‍රකාශය හේතුවෙන් මෙම සත්‍යග්‍රහය පිළිබඳව දැඩි අවධානයක්‌ යොමුව තිබිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකු විසින් ඊයේ 18 වැනිදා සවස 4.30 ට පමණ ජනාධිපති ලේකම්වරයකුගේ ලිපියක්‌ සිංහල රාවය ජාතික සංවිධානයේ භික්‍ෂූන්වහන්සේලා වෙත යොමු කළ අතර එම ලිපියෙහි ගව ඝාතනය නතර කිරීම සම්බන්ධයෙන් කිසිදු සටහනක්‌ නොමැති බව පවසමින් විරෝධතාවයන්හි තවදුරටත් නියෑලුණහ.

මේ අතර ආරක්‌ෂක අංශ නිලධාරියකු යෑයි පැවසෙන පුද්ගලයකු සිංහල රාවය ජාතික සංවිධානයේ භික්‍ෂූන්වහන්සේ නමකට පහර දුන්නේ යෑයි කියන සිද්ධියත් සමගින් දැඩි උණුසුම්කාරි තත්ත්වයක්‌ එහි හටගත් අතර අදාළ පුද්ගලයාට පිරිසක්‌ විසින් පහරදී තිබිණි.

අනතුරුව එම සංවිධානයේ භික්‌ෂුන් වහන්සේලා ඇතුළු ක්‍රියාකාරීන් සවස 5.30 ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ එක්‌ මං තීරුවක්‌ අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. එම උද්ඝෝෂණය පැය භාගයක්‌ පමණ පැවැත්විණි.

මේ අතර සිය සිරුරට පෙට්‍රල් වත් කර ගනිමින් ගිනි තබා ගැනීමට උත්සාහ කළේ යෑයි කියන දන්දෙනියේ ධම්මානන්ද හිමියන් පොලිස්‌ අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා “දිවයින”ට පැවැසීය.