Spread the News

ගුරුනගර් නිවාස විවෘත කිරීමේ උළෙල විග්නේෂ් වර්ජනය කරයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

යාපනය ගුරුනගර් මහල් නිවාස සංකීර්ණය රුපියල් මිලියන 110 ක වියදමින් ප්‍රතිසංස්‌කරණය කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා සහභාගි නොවී වර්ජනය කර තිබේ.

ප්‍රතිසංස්‌කරණය කරන ලද මෙම නිවාස ව්‍යාපෘතිය ඊයේ (15 වැනිදා) ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ සහ සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

උතුරු පළාත් අමාත්‍යවරයාට මෙම උත්සවයට සහභාගි වන ලෙසට ආරාධනා ද කර තිබූ අතර සමරු ඵලකයේ පවා ඔහුගේ නම ඇතුළත් කර තිබිණි.

ටැමිල් වින් (ඕපසක උසබ) වෙබ් අඩවියට ඊයේ (15 වැනිදා) උදේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා මෙසේ ප්‍රකාශ කර තිබිණි.

විමල් වීරවංශ කියන්නේ දෙමළ ජාතීන්ගේ ජාති ද්‍රෝහියෙක්‌. ඒ නිසා මේ උත්සවයට මා සහභාගි වුවහොත් දෙමළ ජාතීන් හිතාවි මාත් ජාති ද්‍රෝහියෙක්‌ කියලා. උතුරු පළාතේ සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුත්තේ උතුරු පළාත් සභාව යටතේ. ප්‍රතිසංස්‌කරණය කරන ලද ගුරු නගර් නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව උතුරු පළාත් මහා ඇමැතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අදහස්‌ දැක්‌වූ විමල් වීරවංශ මහතා මෙසේ කීය.

“පසුගිය කාලයේ කොටි ත්‍රස්‌තවාදීන් විනාශ කළ මේ නිවාස සංකීර්ණයේ පවුල් 165 ක්‌ පදිංචි කළා. මේ ඉන්නේ ඔක්‌කොම ද්‍රවිඩ අය. ශ්‍රී ලංකා ජනතාවගේ බදු මුදල්වලින් තමයි මෙම මහල් නිවාස සංකීර්ණය ප්‍රතිසංස්‌කරණය කළේ. රජය එහෙමත් කරලා දෙමළ ජාතීන්ගේ ජීවිතය නංවන්න කටයුතු කරන කොට මා ජාති ද්‍රෝහියෙක්‌ කියලා කියනවානම් මහ ඇමැතිවරයාගේ ඊළාම් සිහිනය යළි හිතේ ඇතිවෙලා කියන එක ගැන හිතාගත හැකියි. නමුත් මේ රජයෙන් නම් යළි ඊළමට ඉඩක්‌ ලැබෙන්නේ නැහැ.