ගොදුරු සොයන රුදුරු අඳුර හැම තැන පැතිරීලා
සංගීතවේදී සුනිල් එදිරිසිංහයන් මෑතකදී ගායනා කළ එක්‌තරා ගීතයක පද කිහිපයක් මේ දිනවල මගේ හදවතේ ඒ මේ අත හොල්මං කරන්නට පටන්ගෙන තිබේ.
මලක් සේ හිනැහිලා
දුව හැදෙන හැටි බලා
බයත් හිතෙනව මැණිකේ
ගණ අඳුර බෝ වෙලා
හිමිදිරි උදයේ පින්නෙන් වැසී ගිය රෝස මල් පොහොට්‌ටුවක ලස්‌සන කොතරම් ද? පොහොට්‌ටුවේ කොළ පැහැති පියන්පත් බිඳිමින් රතු පැහැති මල් පෙති එළියට එන්නට පොපියන විට හීතල පිණි බිඳු ඒ මත වැටී ඉර එළියට පුංචි තාරුකා මෙන් දිදුලයි.
නව යෞවනයේ එළිපත්ත දකිමින් ලොකු මහත් වන පුංචි දියණියෝ ද එබඳුය. ලොවම සුවඳ කරමින් පිපෙන්නට වෙර දරන පුංචි මල් බඳු ය. ඒ මල් පිවිතුරුය. සුවඳය. සුන්දරය. ලොවට පිපෙන්නට බලා සිටින පුංචි දියණියන් සිටින අම්මලා තාත්තලා අද බිය විය යුත්තේ ඒ නිසා ය.
ගොදුරු සොයනා රුදුරු
නොමිනිසුන් ගෙන් මුදා
දෙනෙත සේ රැක ගනිමු
පුතුට මඟ පෙන්නලා
අනතුරු සෑම තැනමය. එවන් විසිතුරු මල් සොයමින් වනයේ හැසිරෙන බඹරුන් කොතෙක්‌ද? බඹරුන් ගන්නේ රොන් ය. එහෙත් මේ සියලු තැන ඇත්තේ රොන් සොයා යන බඹරු පමණක් නොව. පිපෙන්නටත් පෙර ඒ මල් කැකුල තලා පෙළා පොඩිකර පෙති විසුරුවා දමන නොමිනිසුන් ය.
අද අපේ ජනමාධ්‍ය දෙස බලන අයෙකුට දිවා රැයේ අසන්නට දකින්නට ලැබෙන්නේ කුමක්‌ද? අවුරුදු 10, 12, 14 වයසේ පසුවන කුඩා දැරියන් අපයෝජනයට ලක්‌කර මහමඟ දමා යන පුවත් ය. සීයලා විසින් මිණිබිරියන්ව දූෂණය කිරීම් ය. මාමලා ඥාති දියණියන් වන බිළිඳු දැරියන්ව දූෂණය කර මරා දැමීම් ය. ඇතැම් දේශපාලනඥයෝ, ව්‍යාපාරිකයෝ, හමුදා භටයෝ, ග්‍රාමාරක්‍ෂක සෙබළු, ගුරුවරු මේ ආදී සෑම තරාතිරමකම අය අද මෙවන් සිදුවීම්වලට සැකකරුවන් වී ඇති අයුරු පුදුම සහගතය.
සුනිල් එදිරිසිංහයන්ගේ හා ප්‍රදීපා ධර්මදාසගේ කටහඬින් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීත ශික්‍ෂාවෙන් රසවත්ව අප හද පහුරු ගෑ ඉහත ගීතය මා හිතවත් පමිත ආර්. ලියනගේ ලියා තිබුණේ අද සමාජයේ දක්‌නට ලැබෙන බාල ළමා ලියන්ගේ අපචාර සිද්ධින් ගැන කතා කරන්නට නම් නොවේ. අද බාල පරම්පරාව දහසකුත් එකක් සමාජ අනතුරු හා වසන්ගතයන්ගෙන් ගලවා ගෙන යහමඟ ගෙනියන්නට දෙමවුපියන් තුළ ඇති පරිකල්පනීය ආස්‌ථානයන් ගැන කතා කරන්නටය. එහෙත් එහි මුල් පද දෙක දකින මට නිරතුරුව මතක් වෙන්නේ මේ රටේ අපයෝජනයට ලක්‌වන බාල ලියන්ගේ අෙ¹aනාවය.
මෙලොව එළිය දකිනා පුංචි බිළිඳියන් ටිකෙන් ටික ලොකු මහත් වන තුරු මේ ලොවේ සෑම දෙමවුපියෙක් ම බලා සිටින්නේ නො ඉවසිල්ලෙනි. කිරි සිනා පාන සිsඟිත්තිය බහ තෝරාන තුරු අම්මලා ඊළඟට සිහින දකින්නේ බහ තෝරාගත් දරුවා ඇවිදින තුරුය. ඇවිදින පුංචි දියණිය මතු දිනෙක සුළැඟිල්ලේ එල්ලා ගෙන පාසල වෙත රැගෙන යන්නට සිහින නොදකින අම්මලා හෝ තාත්තලා කොතැනකවත් සිටිත් ද?
අම්මලා, තාත්තලා තම දියණිය ගැන බිය වන්නේ ඉන් පසුවය. මනස විකෘති කරගත් පාපතරයන්ට අද සමාජයේ කිසිදු වයස් පරතරයක් නැත. වයස් භේදයක් නැත. තම විකෘති ආශාවේ හෝ වුවමනාවේ තරම ඉහවහා ගිය කල ප්‍රතික්‍රියාවේ තරාතිරම සොයන්නට මේ නරුමයෝ නොපෙළඹෙති. කටේ කිරි සුවඳවත් නොගිය අවුරුදු 5 – 6 වයසේ දැරිවිය ද එකය. නව යොවුන් වියේ පසුවන අවුරුදු 14 – 15 යෞවනිය ද එකය. අවුරුදු 22 – 23 තරුණිය ද අවුරුදු 60 ඉක්‌මවූ මැහැල්ල ද මේ පාපතරයන්ගේ අවශ්‍යතාවය ඉදිරියේ එක සමාන වන බවට සාක්‍ෂි අද මේ අහන දකින සමාජයේ ඕනෑ තරම් බව අමුතුවෙන් නොකිව මනාය.
මේ නිසා සමාජානුයෝජනය වන වයසේ කුඩා දැරිවියෝ සිටින අම්මලාට අද ඇත්තේ එදාට වඩා වැඩි විශේෂ වූ වැඩ කොටසක් බව කියන්නට කැමැත්තෙමි.
අම්මලා සිය දූවරුන්ට අද උගන්වන්නේ පාඨශාලීය අධ්‍යාපනය පමණක් නොව, හොඳ නරක පමණක්‌ම ද නොව, සැක සහිත පුද්ගලයන් හා අවිශ්වාසවන්ත අවස්‌ථා මඟ හරින කලාව ද අම්මලා දියණියන්ට කියා දීම අද අත්‍යවශ්‍ය කාරණාවක් වී අවසන් ය.
තාත්තා හැරුණු විට සෙසු ඒ වයසේම පිරිමි, සහෝදරයා හැරුණු විට ඒ වයසේ සෙසු පිරිමි, අම්මාගේ හා තාත්තාගේ සහෝදරයෝ, අහල පහළ හිතවත් දරුවෝ හිතවත් පිරිමි ඥාති මිත්‍රාදීහු පමණක් නොව ඉහ නිකට පැහුණු සීයලා ද අවශ්‍ය ප්‍රමාණයට අනුව සැක කිරීමේ කලාව ද මව්වරු සිය දියණිවරුන්ට කියා දිය යුතුව තිබේ.
මේ අනුව හැදෙන දරුවා මතුපිටින් බලන විට සමාජයට පෙනෙන්නේ අහංකාර, ආඩම්බර, උඩඟු දරුවකු ලෙස නොවේද?. ඇතුළතින් කොතරම් අහිංසක වුවත් පිටතින් බාහිර සමාජය සමඟ මුසු වීමට ඇති නොකැමැත්ත හා ප්‍රවේසම් සහගත බව නිසා පිටස්‌තර ලෝකයා මෙබඳු දැරිවියන් දෙස බලන්නට පටන් ගන්නේ රුවිතෙටය. මෙබඳු ළඳුන් සමාජ වෛරයකින් සිටින බව පළමුව සිතන පිටස්‌තර ලෝකයා පෙරළා ඔවුන්ට වෛර කරන්නට පටන් ගනිති. මෙබඳු සිදුවීම් අවසානයේ බොහෝ විට ඇත්තේ ඛේදාන්තයකි.
හය හතර නොතේරෙන කුඩා දැරිවියන්ගේ ශරීර වර්ධනය අද වයසට වඩා වැඩි බවක් පෙනේනේ දරුවන්ට ලැබෙන කෑම බීම නිසා ය. අධික රසකාරක හා ඇබ්බැහිකාරක ක්‍ෂණික පෝෂණ ද්‍රව්‍ය නිසා දරුවන්ට ලැබෙන ඉහළ පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ දරුවන්ගේ ශරීර වලිනි. අවසානයේ වයසට වඩා වැඩිපුර මෝරා ගිය ශරීර සහිත ළමුන් අද සමාජයට දායාද වී ඇත.
මේ දැරිවියන්ගේ මනස වර්ධනය වී ඇති තරම අඩුය. ආහාර වර්ග නිසා කය වර්ධනය වී ඇත්තේ නව යොවුන් යුවතියක සේ ය. මෙබඳු වැඩුණු ශරීර ඇති ගැහැනු ළමයි පාසලේදී, බස් රියේදී, පන්තියේදී, ක්‍රීඩා පිටියේදී හෝ ගෙදරදී යම් යම් විෂම මානසිකත්වයන් ඇති උදවිය අතින් මිරිකීම්, තෙරපීම්, හෝ අතපත ගෑම් වලට ලක්a වූවත් එහි ඇති අනතුර වටහා ගන්නට තරම් මනස මෝරා නොතිබීම කොතරම් භයානකද? පුංචි දැරිවියෝ බොහෝ විට අනතුරුවලට ලක් වන්නේ මෙබඳු තත්ත්වයන් යටතේ ය.
අනිත් අතට අද සමාජයේ පිරිමි සිටින්නේ ලැබෙන ඕනෑම අවස්‌ථාවකින් ප්‍රයෝජන ගන්නා මට්‌ටම්වලය. අද අන්තර්ජාල හෝ සෙලියුලර් දුරකථනවල පවතින එස්‌එම්එස් මගින්, විවිධ සීඩී පට මගින් කාමුක චිත්‍රපට මගින් හා බස්‌රියේදී පාරේදී මඟ තොටේදී ස්‌වාභාවිකව දකින විවිධ දර්ශන මගින් මානසිකව කාමුක උත්තේජන ලබන තරුණයෝ සිටින්නේ ලැබෙන ඕනෑම වේලාවක ඒ උත්තේජයන් අත්හදා බලන මානසික මට්‌ටම් වලය. අද පුංචි දැරිවියකට, තරරුණියකට, ගැහැනියකට පමණක් නොව මැහැලියකටවත් යම් යම් තැන්වලින් තනිව මහ මඟ යන්නට ආරක්‍ෂාව නැති වී ඇත්තේ ඒ නිසාය. තරුණයන්ට අද මානසික ලිංගික උත්තේජන ලැබෙන්නට අවස්‌ථා බහුලය. ඒ උත්තේජන කායිකව අත්හදා බලන්නට අවස්‌ථා විරලය.
බටහිර අධ්‍යාපන වේදවලට අනුව මෙරට ක්‍රියාත්මක වන සමහර බටහිර පාසල්වල ද කියන්නේ ළමුන්ට සිය මානසික කායික ලිංගික කුතුහලය තුනීකර ගැනීමට අවස්‌ථාව සලසා දීම අධ්‍යාපන අවධිවල දියුණු ලක්‍ෂණයක් බව ය.
එය සැබෑය. එක් දිනක් මම බොරැල්ලේ සිට නාරාහේන්පිට දෙසට නිදහසේ යන ගමනකදී බොරැල්ල කනත්ත පසු කොට තව ටිකක් ඉදිරියට ගොස් ලංකාවේ පවතින සුප්‍රකට විදේශීය පාසලක් අසල මද වේලාවක් බලා සිටියෙමි. ඇස් අදහා ගන්නට නොහැකි දසුන් මෙහි එමටය. පාසල ඇරී ගෙදර යන්නට වාහනයට නගින්නට යන දැරිවිය තම පාසල් පෙම්වතාගෙන් සමු ගන්නේ පවා සිප වැළඳගෙනය. ඒවා සාමාන්‍ය සිප වැළඳගැනීම් නොව, බටහිර චිත්‍රපටවල අපි දකින දර්ශන තරමට දියුණුය. ඒවා බලා සිටින අපේ එකාලාට ද මොන මොනවා හෝ සිතීම සාධාරණ යෑයි නොසිතෙන්නේ කෙසේද?. මට එය විග්‍රහකර ගත නොහැක.
තවත් දිනක් මම බොරැල්ලේ සිට පා ගමනින් තුන්මුල්ල හන්දිය දෙසට ඇවිද ගියේ බෞද්ධාලෝක මාවත ඔස්‌සේය. මම පාරේ දකුණු අත පැත්තෙන් කාලගුණ විද්‍යා කාර්යාලයද, ඇල්ලේ හාමුදුරුවන්ගේ පන්සල, සුදර්ශිය, ගුවන් විදුලිය, රූපවාහිනිය පසු කරමින් ඉදිරියට ගියෙමි. කෙළින් ඈතට පෙනෙන පාරේ ඈතින් මා දෙසට එන එක්‌තරා තරුණියක් මගේ දැස පැහැර ගත්තාය.
ඕ ඉතා රූමත්ය. කදිම රූපකාය ඇගේ ගමන නිසා තව තවත් ලස්‌සනට නැටවෙන බව දුරතියාම මම දිටිමි. දෙපසින් ආ ඇගේත් මගෙත් ශරීර කූඩු දෙක ටිකෙන් ටික ළං ළං වී එක ලක්‍ෂයකදී කැපී ගොස් දෙපසට මාරු වූයේ අගනුවර එක්‌තරා ප්‍රසිද්ධ විද්‍යාලයකට අයත් විවෘත ක්‍රීඩාංගණයක් අසලදීය.
මා එතෙක් වේලා බලා සිටි යුවතිය දෙස තවත් පිරිසක් බලා සිට ඇති බව මට දැනුනේ එතනදී ය. නිසැකවම එතැන සිටියේ පාසල් පිට්‌ටනියේ ක්‍රීඩා කරන්නට පැමිණි පාසල් විය ගෙවන ළමුන් බව පිට්‌ටනිය අද්දර සිටි ආකාරයෙනුත්, ළඟ තිබූ ක්‍රීඩා ආම්පන්න වලිනුත් පෙනුමෙනුත් මම දැන ගතිsමි. එහෙත් පෙර කී යුවතියත් මමත් ඔවුන් සිටින තැන පසු කර දෙපසට යන විට අප දෙදෙනාටම ඇසෙන්නට ඔවුන් කීවේ පාසල් ළමුන්ගේ ශබ්ද කෝෂයක තිබිය යුතු භාෂා ව්‍යවහාරයක් නම් නොවේ. තත්පර කිහිපයකදී ඒ දරු රැළ අර ගිය රූමත් තරුණිය යම් හෙයකින් තමන් සමඟÊආවේ නම් කරනා දේ ඊට අදාළ ඉරියව් පවා කියමින් පවසා දැමූහ.
මේ පිරිස ඒ තරුණියව දහසක් දෙනා යන පාරේ මහ දහවලේ ඇද නිරුවත් කර කෙළෙසා දැමුවා නේ දැයි කියා හැඟීමක් මට ඇති වී නැතිවී ගියේය. මම පසුපස හැරී තරුණිය දෙස බැලුවෙමි. ඕ කිසිවක් නෑසුනා සේ සුපුරුදු ගමනින් ම අපිට පිටුපා පිටව ගියාය.
අද පාසල් දරුවාගේ පවා තත්ත්වය එයයි. අද පාසල් දරුවන් කතා කරන්නේ මොනවා දැයි කියා විනාඩි 5 ක් පාසල් බස් රථයකට ගොඩ වී අසා සිටියේ නම් මෙබඳු දසුන් පුදුමයක් නොවේ යෑයි කෙනෙකුට සිතෙනු ඇත.
එබැවින් පුංචි දැරිවියගේ පටන් මැහැල්ල තෙක් අද සමාජයේ අනතුරු ඇත්තේ හුදෙකලා වී නොවේ. අනතුර ඇත්තේ සැඟවී නම් නොවේ. අනතුර හැමතැනමය. අනතුර බොහෝ විට ඇත්තේ දහසකුත් දෙනා අතරතුරය.
සමාජය පිරිහී ඇති තරම මෙසේ වටහා ගත යුතුව ඇත්තේය. වරදට අසු වී ඇති රටක වැරදි වළක්‌වන්නට මොන මොන ක්‍රමවේද තිබුණත් ඵලක් වන්නේ නැත. වරද ඇත්තේ ක්‍රියාවේ නොව ඒ දෙස බලන කෙනාගේ විංඥානයේ යෑයි කියන තරමට සමාජය දූෂණය වී අවසන් ය.
ඇතැම් විට බටහිර පන්නයේ අධ්‍යාපන ක්‍රමවේද සහිත අන්තර් ජාතික පාසල්වල ළමුන්ගේ අවකල් ක්‍රියා (අපි දකින අන්දමට) ගැන අපි කියන විට සමහරු කියන්නේ ඒ දෙස ‘ලිබරල් මයින්ඩ්’ එකකින් සිතන්නට අපේ සිත දියුණු වී නැහැ කියාය. සමාජයේ කවුරුත් ලිබරල් මයින්ඩ් එකෙන් සිතන තරමට සමාජයේ මේ පවතින විෂමාචාරී ක්‍රියා පිළිවෙත් අඩුවන බව කියන පිරිසක් ද සිටිති. කෝකද හරි….. අපි සිතන විදියද.. උන් සිතන පතන විදිය ද? මම තාම සිටින්නේ හරි කුමක් දැයි කියා සිතා ගත නොහැකිවය.
බුලිත ප්‍රදීප් කුමාර