Spread the News

චණ්‌ඩිකමෙන් රැවටීමෙන්
ජාත්‍යන්තර ප්‍රශ්න විසඳන්න බෑ!
කල්‍යානන්ද ගොඩගේ
විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්වීම ගැන ඉන්දීය විදේශ ඇමැතිනිය සුෂ්මා ස්‌වරාඡ් පසුගියදා විරුද්ධත්වය පළකර සිටීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්‌ථාවරයේ යම් සුබවාදී වෙනසක ඇරඹුමක්‌ ලෙස ඇතැම් විචාරකයෝ හඳුන්වති. මේ අතර උතුරේ හිටපු ආණ්‌ඩුකාරවරයා යළිත් එම තනතුරට පත් කිරීමත් විග්නේෂ්වරන් මහතා උතුරේ මහඇමැති තනතුරෙන් ඉවත්වීමේ සූදානමක්‌ පිළිබඳවත් දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්‌වූ මාතෘකා දෙකකි. ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියාවේ ස්‌ථාවරය වෙනස්‌ වී තිබේද? විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් කල්‍යානන්ද ගොඩගේ මහතා සමග ‘දිවයින’ පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියාවේ ස්‌ථාවරය වෙනස්‌ වෙලාද?

ඉන්දීය නව අගමැතිවරයාට ලැබුණු විශාල ඡන්ද ප්‍රමාණය අනුව තමිල්නාඩුවට ඔහුගේ රජයට විශාල බලපෑමක්‌ කරන්න ඉඩ ලැබිල නෑ. මේ නිසා පසුගිය ඉන්දීය රජයට වඩා විවෘතව ශ්‍රී ලංකාව දෙස බලන්නට නව ඉන්දීය අගමැතිවරයාට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ සුබවාදී ආකල්පයක්‌ දැරීම සෑම ශ්‍රී ලාංකිකයකුගේම බලාපොරොත්තුවක්‌.

නමුත් පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමු වූ අවස්‌ථාවේ ඉන්දීය නව අගමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව 13 වැනි සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කර ඉන් ඔබ්බට ගමන් කරනු දැකීම සිය අභිලාෂය බවයි. ඉන්දීය නව රජය සමඟ සමීප සබඳතාවක්‌ ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවෙයිද?

ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මෙන්ම නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාත් විවෘත ආර්ථික මගක රට මෙහෙයවන නායකයෙක්‌. මේ නිසා ඔහු ශ්‍රී ලංකාව, බංගලිදේශය, පකිස්‌තානය වැනි සිය අසල්වාසීන් සමඟ සහයෝගීතාවක්‌ ගොඩනගා ගැනීමට උත්සාහ දරනවා. මෝදි අගමැතිවරයා අපේ රට සමඟ විශේෂ සබඳතාවක්‌ ඇතිකර ගනීවි. එය ආර්ථික සබඳතාවකට පමණක්‌ නොව ඉන්දියාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙනුත් ඔවුන්ට වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව දැන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ක්‍රියාත්මකයි. ඊට ඉන්දීය විදේශ ඇමැතිනී දක්‌වා තිබෙන සෘජු විරෝධය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක්‌ බවට හරවා ගන්නට නොහැකිද?

මේ වෙලාවේ අතීත සිදුවීම් දෙකක්‌ මගේ මතකයට එනවා. සෝල්බරි කොමිසම පිහිටවපු අවස්‌ථාවේ පොන්නම්බලම් ඇතුළු විවිධ කණ්‌ඩායම් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොයෙක්‌ යෝජනා ඉදිරිපත් කළා. ඒ වෙලාවෙ එක්‌සත් ජාතික පක්‍ෂය ඒ සියලු යෝජනාවලට විරුද්ධ වුණා. නමුත් සර් ඔලිවර් ගුණතිලකගේ අදහස වුණේ පොන්නම්බලම් මහතා ඇතුළු කණ්‌ඩායම සෝල්බරි කොමිසම ඉදිරිපත් කළ යෝජනාවලට පිළිතුරු දිය යුත්තේ ඒවාට විරුද්ධ වීමෙන් නොවන බවයි. යෝජනා වලට විරුද්ධ වීම පසෙකලා අපි ඉතාම ඉහලින් සෝල්බරි කොමිසමට සලකමු යෑයි ඔහු ඩී. එස්‌. සේනානායක මහතාට කියා සිටියදී ඒ අනුව ඩී. එස්‌. සේනානායක, ඩී. බී. ජයතිලක ඇතුළු පිරිස සෝල්බරි කොමිසමට රජවරුන්ට වගේ සැලකුව. අන්තිමේදී පොන්නම්බලම්ලගෙ සියයට පනහේ ආසන යෝජනාව ඇතුළු අනෙකුත් යෝජනා අකුලගන්න සිද්ධ වුණා.

ජාත්‍යන්තරයත් සමඟ කරන ගනුදෙනුවලදී අපි වගේ රටවල් බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනෑ. බැණ අඬගහගෙන අමනාපකම් හදාගෙන මේ වගේ ප්‍රශ්නවලින් ජයග්‍රහණයක්‌ ලබන්න බෑ. චණ්‌ඩිකමෙන් හෝ රැවටීමෙන් ජාත්‍යන්තර ප්‍රශ්ණ විසඳන්න බෑ.

ඉන්දියාව අපට ගුවනින් පරිප්පු දාපු වෙලාවෙ අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඒ කළ බලහත්කාරකමට විරුද්ධත්වය පළකරන්නට තානාපතිවරුන්ගේ කමිටුවට යෝජනාවක්‌ ඉදිරිපත් කළ අවස්‌ථාවේ එම ක්‍රියාව හෙළා දකින බවට යෝජනාවක්‌ සම්මත කරගන්න බැරිවුණා. බෙල්ජියමේ විදේශ අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු පිරිස සකස්‌ කළ යෝජනාවේ ඉන්දියාවට කිසිදු චෝදනාවක්‌ නගා තිබුණේ නෑ. වෙනත් රටකට මැදිහත්වීමට අවශ්‍ය නොවන පරිදි තම රටේ අභ්‍යන්තර ගැටලු විසඳාගැනීමට ශ්‍රී ලංකාව වගබලා ගතයුතු බව එම යෝජනාවේ සඳහන් වී තිබුණා. මා ඒ අවස්‌ථාවේ මගේ සමීප මිත්‍රයකු වූ බ්‍රිතාන්‍ය තානාපතිවරයාට මේ කැකිල්ලේ තීන්දුව පිළිබඳ දැනුම් දුන්නා. ඔහු මට කිව්වේ ඔබේ රටට වඩා ඉන්දියාව අපට වටින බවයි. අපි පිළිගන්නට කැමති වුණත් අකමැති වුණත් මේ තමයි ජාත්‍යන්තරයේ මතය.

ඉන්දියාව යම් සුබවාදී ආකල්පයක්‌ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතිකර ගෙන තිබෙනවා නම් එය මේ මොහොතේ ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්‌. එම නිසා ඉන්දියාවේ හොඳ හිත අපි රැකගන්න ඕන.

උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් මහතා සිය ධුරයෙන් ඉවත්වීමේ සූදානමක්‌ ඇතැයි පසුගියදා පළවුණා.

අපේ රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන විවිධ බලපෑම්වලට පිළිතුරු දිය හැකි හොඳම ක්‍රමය රට තුළ ජාතීන් අතර සාමය පවත්වා ගැනීමයි. උතුරේ මහ ඇමැතිවරයා ශ්‍රී ලංකාණ්‌ඩුව සමඟ කටයුතු කළ නොහැකි බව කියමින් එම තනතුරෙන් ඉල්ලා අස්‌වෙනවා නම් එයින් ජාත්‍යන්තරයට යන පණිවිඩය කිසිසේත් ශ්‍රී ලංකාවට හිතවාදී වෙන්නේ නෑ. 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවත් පසුගිය කාලේ ප්‍රකාශ කර සිටියේ දහතුනෙන් ඔබ්බට යන (13 ප්ලස්‌) ක්‍රියාදාමයක්‌ ඇතිකිරීමට සැරසෙන බවයි. නමුත් ඒ ප්‍රකාශ වචන වලට පමණක්‌ සීමාවීම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තබා ඇති විශ්වාසයට යම් ආකාරයක හානියක්‌ සිදුවී තිබෙනවා.

උතුර පළාත් සභාවට ව්‍යවස්‌ථාවෙන් හිමි බලතල ලබාදෙන ලෙස විග්නේශ්වරන් මහතා දැඩිව ඉල්ලා සිටි කෙනෙක්‌. යම් ආකාරයකින් ඔහු සිය ධුරයෙන් ඉවත්වුවහොත් බලය බෙදාහැරීමට ශ්‍රී ලංකා රජය අකමැති බවට යම් ඉඟියක්‌ ඒ ඔස්‌සේ ජාත්‍යන්තරයට ලැබෙන්නට ඉඩ තිබෙනවා. උතුරේ අග්‍රාණ්‌ඩුකාරවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමත් විග්නේශ්වරන් මහතාගේ අසතුටට හේතුවක්‌ වී තිබෙන බව පෙනෙනවා. මේ අවස්‌ථාවේ රටතුළ මෙබඳු ගැටුම්කාරි තත්ත්වයන් ඇතිවීම ශ්‍රී ලංකාවට අවාසියක්‌.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක