Sat. Jan 18th, 2025
Spread the News

ජනගහන වර්ධනය අඩකින් අඩුවෙලා
– ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිල්මිණි හේමචන්ද්‍ර

ඒමන්ති මාරඹේ

මෙරට සෑම ජන කොටසකටම අයත් ජනගහනය වර්ධනය වීම දශක කිහිපයකට පෙර පැවතියාට වඩා මේ වන විට හරි අඩකින් පමණ අඩු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිල්මිණි හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
මේ අනුව සිංහල, දෙමළ හා මුස්‌ලිම් යන ජන කොටස්‌වලට අයත් ජනගහන වර්ධනය මෙසේ අඩු වී ඇති බවත් ආර්ථික, සමාජයීය හා සෞඛ්‍ය හේතූන් මෙම තත්ත්වයට බලපා ඇති බවත් ඇය කීවාය. ඇතැමුන් සිංහල ජනගහනය අනෙකුත් ජන කොටස්‌වලට වඩා අඩු වෙමින් පවතින බව ප්‍රකාශ කර ඇතත් එවැන්නක්‌ පෙනෙන්නට නොමැති බව කී වෛද්‍ය හේමචන්ද්‍ර මහත්මිය සමස්‌තයක්‌ වශයෙන් සෑම ජන කොටසකටම අයත් ජනගහනය වර්ධනය වීම අඩු වෙමින් පවතින බව අවධාරණය කළාය.
වාර්ෂිකව මෙරට අලුතින් දරු උපත් හාරලක්‍ෂයක්‌ පමණ සිදුවන අතර එයින් සියයට 98 ක්‌ම විශේෂඥ වෛද්‍යවරයකු සහිත රෝහලක සිදුවන තරමට මෙරට සෞඛ්‍ය තත්ත්වය මේ වන විට දියුණු වී ඇති බව ද ඇය සඳහන් කළාය.
“සුරක්‍ෂිත මාතෘත්වය” සම්බන්ධයෙන් ඊයේ (23 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය සම්මන්ත්‍රණයකදී වෛද්‍ය හේමචන්ද්‍ර මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.
මෙහිදී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදය පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතා ලොව පුරා පැය 24 ක්‌ තුළ මාතෘ මරණ 1500 ක්‌ සිදුවන බවත් මාතෘ මරණ දුප්පත්කමේ සංකේතයක්‌ වශයෙන් හැඳින්විය හැකි බව සඳහන් කළේය.

Protected by Security by CleanTalk