‘ජනපති ජනහමුව’ උසාවි වාරණයකින් නවතියි

Spread the News

‘ජනපති ජනහමුව’ උසාවි වාරණයකින් නවතියි

පියදාස රණසිංහ

ස්‌වාධීන රූපවාහිනි, ජාතික රූපවාහිනි, දෙරණ හා ස්‌වර්ණවාහිනි යන විද්යුත් මාධ්‍ය මගින් ඊයේ (05 දා) දින විකාශනය කිරීමට සූදානම් කර තිබූ බව කියන “ජනපති ජනහමුව” වැඩසටහන හා ඊට සමාන වැඩසටහනක්‌ වෙනත් නමකින් හෝ විකාශනය නතර කිරීමේ වාරණ නියෝගයක්‌ කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා විසින් එම ආයතනවලට ඊයේ (05 දා) පනවන ලදී.

මෙවර ජනාධිපතිවරණයේ පොදු විපක්‌ෂ අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුගේ නීතිඥ මණ්‌ඩලයක්‌ හරහා ගොනු කර තිබූ පෙත්සමක්‌ සලකා බැලූ දිසාවිනිසුරුවරයා එම නියෝගය කරන ලදී.

ජනාධිපති මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ඊයේ (05 වැනිදා) අවසන් කළ යුතු බවට මැතිවරණයට අදාල මාධ්‍ය උපමාණ (අණ පනත්) සැලකිල්ලට ගෙන ඉහත කී වැඩසටහන් නතර කරන ලෙසට පැමිණිල්ල අධිකරණයේ ඉල්ලීමක්‌ කර තිබිණි.

ඒ අනුව 05 දා සිට ජනවාරි 08 දිනට පෙර එම වැඩසටහන් විකාශනය කළහොත් ජනාධිපති මැතිවරණ අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිතුරුදීමට අවස්‌ථාව නොලැබෙන නිසා පැමිණිලිකරුට අගතියක්‌ සිදුවන බවත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සමාන අයිතිවාසිකම් සෑම අපේක්‌ෂකයෙකුටම හිමිවිය යුතු බවත් යන කරුණු සැළකිල්ලට ගෙන දිසා විනිසුරුවරයා අදාළ වාරණ නියෝගය පනවන ලදී.

මෙම වැඩසටහන් මැතිවරණ කොමසාරිස්‌වරයාගේ මැතිවරණ මාධ්‍ය උපමාණ, අණපනත්වලට පටහැනි නම් ඒවා විකාශනය නොකරන බවත් ඒ පිළිබඳව ඔවුන්ගේ නීතිඥවරුන්ගෙන් විමසා ප්‍රකාශයට පත්කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයිද පැමිණිල්ලේ නීතිඥවරු කියා සිටියහ.

වැඩිදුර විභාගය ජනවාරි මස 19 දිනට කල් තැබිණි.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥවරුන් වන නලින් අමරජීව, සුරේෂ් ප්‍රනාන්දු යන මහත්වරු සමග ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.