Spread the News

ජනපති හෝ රණවිරුවන් යුද අධිකරණයට
ගෙන යැමට එජාපය ඉඩදෙන්නේ නෑ
ආචාර්ය හර්ෂ ද සිල්වා

අජිත් අලහකෝන් – අකිත පෙරේරා

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත්, නොකළත් ඔහු හෝ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්න එජාපය හෝ තමන් කිසිදු විටෙක ඉඩ නොදෙන බව එජාප පත්කළ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

අල්ජසීරා රූපවාහිනියේ වැඩසටහනකදී අදහස්‌ දැක්‌වීමක්‌ පිළිබඳ තමන්ට එරෙහිව වැරදි ප්‍රචාර පළවීම සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ හර්ෂ ද සිල්වා මහතා එම වැඩසටහනට තමන් සහභාගි කරගනු ලැබුවේ ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා සහභාගිවන බව පවසමින් යෑයි ද කීය.

එසේ නොවීම පිළිබඳව තමන් අල්ජසීරා රූපවාහිනියට අප්‍රසාදය පළ කළ බව ද කී මන්ත්‍රීවරයා තම නම කොටි කුමන්ත්‍රණයකට සම්බන්ධ කිරීමට ආණ්‌ඩුව උත්සාහ කරන බව ද කීය.

තමන් අල්ජසීරා සාකච්ඡාවට ගියේ ආර්ථිකය හා ජනාධිපතිවරණය පිළිබඳ කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා සමඟ සාකච්ඡා කිරීමට බවද වෙනත් දෙයක්‌ ගැන තමන් දැන නොසිටි බවද කී මන්ත්‍රීවරයා ඩයස්‌පෝරා නියෝජිතයකු එම සාකච්ඡාවට එන බව දැන නොසිටි බව ද කීය.