Spread the News

ජනවාර්ගික ප්‍රශ්නය, අවුල් කරන
දෙමළ රාජ්‍ය පක්‍ෂයේ සම්මේලනය

source:

මෙරට ජනවාර්ගික අර්බුදයක්‌ ඇති බව ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන් ඒ සඳහා ඇති විසඳුම ලෙස නිර්දේශ කරනු ලබන්නේ බලය බෙදාහැරීමයි. බලය බෙදා නොහැරීම නිසා ජනවාර්ගික අර්බුදයක්‌ ඇතිවී ඇත්නම් ඒ සඳහා ඇති හොඳම විසඳුම වන්නේ ආණ්‌ඩුව ද යෝජනා කරනු ලබන ආකාරයට බලය ගම් මට්‌ටම දක්‌වා (ග්‍රාම රාජ්‍ය) බෙදාහැරීමයි. එහිදී ඊනියා ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා බලය බෙදාහැරිය යුතු බව නිර්දේශ කරනු ලබන පුද්ගලයන් අවම වශයෙන් පළාත් මට්‌ටමින් හෝ බලය බෙදාහැරීමට සිය එකඟතාව ප්‍රකාශ කළ යුතුව ඇත.

එහෙත් රට නොබෙදා බලය බෙදීම පිළිබඳව සිංහල ජනතාවට අවධාරණය කරනු ලබන පුද්ගලයන්ගේ සැබෑ ෙච්තනාව එය නොවන බව පසුගිය සතියේදී යළිත් පසක්‌ විය. ඒ පසුගිය සතියේදී මඩකලපුවේදී පැවැත්වීමට යෙදුණු ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ සම්මේලනයේදීය. එම පක්‍ෂය විසින් පැවැත්වූ සම්මේලනයේදී තීරණය කර ඇත්තේ ඉදිරියේදී ආණ්‌ඩුව සමග පවත්වනු ලබන සාකච්ඡාවලදී උතුර සහ නැගෙනහිර යන පළාත් දෙක එක්‌ පළාතක්‌ බවට පත් කළ යුතුය යන යෝජනාව ද ඉදිරිපත් කළ යුතු බවයි. මෙරට පවත්නා ප්‍රශ්නය බලය බෙදා නොහැරීම නම් වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වන්නේ උතුර සහ නැගෙනහිර යන පළාත් දෙක සඳහා වෙන වෙනම බලය බෙදාහැරීමයි. නමුත් ඒ වෙනුවට යෝජනා වී ඇත්තේ දෙපළාතම එක්‌ පළාතක්‌ බවට පත් කළ යුතුය යන්නයි. මෙම යෝජනාව තුළින් යළිත් ඉතා හොඳින්ම පසක්‌ වී ඇත්තේ මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නොපවතින බවත්, දෙමළ නායකයන්ගේ අරමුණ ඊනියා බලය බෙදීමක්‌ නොවන බවත්ය.

පසුගියදා මඩකලපුවේදී පැවැත්වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ සම්මේලනය මගින් යළිත් පසක්‌ කර ඇත්තේ දෙමළ නායකයන්ගේ අරමුණ පළමුව පෙඩරල් රාජ්‍යයක්‌ තුළ දෙමළ ඊළමක්‌ ස්‌ථාපිත කරගැනීම වන බවයි. දෙමළ ඊළමක්‌ ස්‌ථාපිත කරගැනීමට නම් සම්පූර්ණ කරගත යුතු ප්‍රධානම කොන්දේසියක්‌ වන්නේ උතුර සහ නැගෙනහිර යන දෙපළාත එක්‌ ඒකකයක්‌ බවට පත්කර ගැනීමයි. ඉන්දු – ලංකා ගිවිසුම මගින් උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ නිජභූමිය ලෙස පිළිගෙන ඇති පසුබිමක එම දෙපළාත එක්‌ පළාතක්‌ බවට යළිත් පත් කරගැනීම මගින් දෙමළ ඊළමක්‌ බිහිකර ගැනීමේ එක්‌ ප්‍රධාන කොන්දේසියක්‌ සම්පූර්ණ වේ. දෙමළ බෙදුම්වාදී නායකයන් එම කොන්දේසිය සම්පූර්ණ කර ගැනීමට දැන් යළිත් සූදානම් වන්නේ උතුර සහ නැගෙනහිරට ඉඩම් සහ පොලිස්‌ බලතල ඉල්ලීමට අමතරවය. උතුර සහ නැගෙනහිර දෙපළාත එක්‌ පළාතක්‌ බවට පත්කර ඊට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදුන් පසුව දෙමළ ඊළම නිර්මාණය වන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එබැවින් මෙරට ජනවාර්ගික අර්බුදයක්‌ නොමැති බවත් එම අර්බුදය විසඳීම සඳහා බලය බෙදාහැරීමත් සිදු කළ යුතුය යන්නත් සිංහල ජනතාව මුලා කිරීම සඳහා කරනු ලබන ප්‍රකාශයන් පමණක්‌ම වන බවත් මෙරට පවතින සැබෑ ප්‍රශ්නය නිජබිම් ප්‍රශ්නයක්‌ වන බවත් මඩකලපුවේදී පැවැත්වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ සම්මේලනයේදී සම්මත වූ යෝජනාව මගින් යළිත් පසක්‌ වී ඇති බව සඳහන් කළ හැක.

ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ඇත්තේ දෙමළ බෙදුම්වාදයේ පියා ලෙස හැඳින්වෙන එස්‌.ෙ-.වී. චෙල්වනායගම්ගේ නායකත්වය යටතේය. ඉලංකෙයි තමිල් අරසු කච්චි යන පක්‍ෂ නාමයේ නිවැරැදි සිංහල අර්ථය දෙමළ රාජ්‍ය පක්‍ෂය යන්න වුවත් චෙල්වනායගම් ඇතුළු දෙමළ බෙදුම්වාදී නායකයන් එම පක්‍ෂය සිංහල ජනතාවට හඳුන්වාදී ඇත්තේ ෙµඩරල් පක්‍ෂය යන ව්‍යාජ නමකිනි. “අද ටිකයි – හෙට ගොඩයි” යන තේමාව යටතේ කටයුතු කර ඇති චෙල්වනායගම් එදා කටයුතු කර ඇත්තේ ද පළමුව ෙµඩරල් රාජ්‍යයක්‌ තුළ දෙමළ ඊළමක්‌ බිහිකර ගැනීම සඳහාය. නමුත් එදා සිටිය දේශප්‍රේමී නායකයන් නිවැරැදිව චෙල්වනායගම්ගේ උපාය තේරුම් ගත් බැවින් ඔහුගේ එම උත්සාහයන් පරාජය කිරීමට හැකි විය. චෙල්වනායගම්ට අමතරව ජී. ජී. පොන්නම්බලම් වැනි දෙමළ නායකයන් ද දෙමළ ඊළමක්‌ සඳහා කටයුතු කර ඇති අතර 1970 දශකයේ මුල් භාගයේදී එම පක්‍ෂ ඒකරාශී කර දෙමළ එක්‌සත් පෙරමුණ නිර්මාණය කර ඇති අතර ලංකා වතු කම්කරු සංගමයේ නායක තොණ්‌ඩමන් මහතා ද එම පෙරමුණේ එක්‌ නායකයකු වී ඇත. පළමුව ෙµඩරල් රාජ්‍යයක්‌ තුළ දෙමළ ඊළම ස්‌ථාපිත කිරීමට සැලසුම් කළ දෙමළ නායකයන් වඩුක්‌කොඩේ පැවැති සම්මේලනයේදී සම්පූර්ණයෙන්ම වෙන්වූ ඊළාම් රාජ්‍යයක්‌ සඳහා කටයුතු කිරීමට තීරණය කර ඇති අතර සිය දේශපාලන පෙරමුණ වූ දෙමළ එක්‌සත් පෙරමුණ යන නාමය දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ යනුවෙන් වෙනස්‌ කර ඇත. ඒ සමගම එම පෙරමුණේ එක්‌ පක්‍ෂයක්‌ ලෙස කටයුතු කළ ලංකා වතු කම්කරු සංගමය එම පෙරමුණෙන් ඉවත් වී ඇත.

තොණ්‌ඩමන් මහතා එම අවස්‌ථාවේදී ගත් තීරණය අනුව ද මෙරට පවතින්නේ ඓතිහාසික උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශවල දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පැවතියා යන විශ්වාසය මත පැනනැගුණු ප්‍රශ්නයක්‌ බව තහවුරු වේ. චෙල්වනායගම් ඇතුළු උතුරේ දෙමළ නායකයන් එම භූමියට හිමිකම් කීම සඳහා ව්‍යාජ ඉතිහාසයක්‌ නිර්මාණය කරගෙන සිටියත් තොණ්‌ඩමන් මහතා සිය බලප්‍රදේශයට උරුමකම් කීම සඳහා එබඳු ඉතිහාසයක්‌ හෝ නොමැතිවීම එම පෙරමුණෙන් ඉවත්වීම සඳහා බලපෑ බව පැහැදිලිය. දෛනිකව මුහුණදෙන ප්‍රශ්න ගෙන බැලුවහොත් උතුරේ ජීවත්වන ජනතාවට වඩා බොහෝ පසුපසින් වතුකරයේ ජනතාව සිටියදී ඔවුන් චෙල්වනායගම් ඇතුළු දෙමළ බෙදුම්වාදී නායකයන්ගේ බෙදුම්වාදී ව්‍යාපාරයෙන් ඈත්වන්නේ ඔවුන්ට නිජබිම් ප්‍රශ්නය අදාළ නොවන නිසා බව පැහැදිලිය. එබැවින් තොණ්‌ඩමන් මහතා දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණෙන් ඉවත්වීම ද, චෙල්වනායගම් ඇතුළු දෙමළ නායකයන්ට පැවති ප්‍රශ්නය නිජබිම් ප්‍රශ්නයක්‌ බව පසක්‌ කරයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය මඩකලපුවේදී රැස්‌වී උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය යන ස්‌ථාවරයේ සිට යෝජනා සම්මත කිරීමට සමගාමීව සිදු කරන ලද ප්‍රකාශයන් දෙකක්‌ පිළිබඳව ද අපගේ අවධානය යොමු කළ යුතුය. ඉන් එක්‌ ප්‍රකාශයක්‌ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ ස්‌ථාවරයේ සිට කර ඇති අතර අනෙක්‌ ප්‍රකාශය එම ස්‌ථාවරය බැහැර කරමින් කර ඇති බව පැහැදිලි වේ.

එම ප්‍රකාශ දෙකින් එකක්‌ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ ජොන් රැන්කින් විසින් කර ඇති අතර අනෙක්‌ ප්‍රකාශය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිදු කර ඇත. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌වරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරේ ඇති හමුදා කඳවුරු ඉවත් කරගැනීමට කටයුතු කළ යුතු බවයි. බ්‍රිතාන්‍යය යනු අධිරාජ්‍යවාදය නියෝජනය කරනු ලබන රටක්‌ වුවත් උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය බවට දෙමළ නායකයන් නිරන්තරයෙන් කරනු ලබන ප්‍රකාශ (පසුගිය මහාමැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේද එය සඳහන්වේ) පදනම් කරගෙන එම ප්‍රකාශය කර ඇති බව නිගමනය කළ හැක.

අධිරාජ්‍යවාදීන් අනෙකුත් රටවල් සිය ග්‍රහණයට ගැනීම සඳහා එම රටවල ඇති විවිධ ප්‍රශ්න යොදාගෙන ඇති බවට ඉතිහාසය සාක්‍ෂි දරන අතර එහිදී ඔවුන් විසින් අලුතින්ම ප්‍රශ්න නිර්මාණය කරනවාට වඩා සිදුවී ඇත්තේ පවතින ප්‍රශ්නයක්‌ සිය අවශ්‍යතාවය සඳහා යොදා ගැනීමයි. මෙහිදී ද අධිරාජ්‍යවාදීන් සිය අවශ්‍යතා සඳහා මෙරට පවත්නා නිජබිම් ප්‍රශ්නය යොදා ගනිමින් සිටින අතර, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයාගේ ප්‍රකාශය සඳහා ද එම ප්‍රශ්නයම බලපා ඇති බව නිගමනය කළ හැක. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌වරයා මෙරට ක්‍රියාත්මක බෙදුම්වාදී දේශපාලන නායකයන්ගේ ප්‍රකාශ මතම නොරැඳී මෙරට ඉතිහාසය පිළිබඳව විමසා බලා එම ප්‍රකාශයන් කළ යුතුව ඇත. ඒ සඳහා මෙරට ලේඛකයන් පමණක්‌ නොව බ්‍රිතාන්‍යයන් ද ලියන ලද කෘතීන් ද ඔහු විසින් පරිශීලනය කළ යුතුව ඇත. මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා බෙදුම්වාදී නායකයන්ගේ ප්‍රකාශයන් පිළිබඳව විශ්වාසය තබා මෙරට උතුරු ප්‍රදේශය පිළිබඳව තීන්දු තීරණ ගත්තත්, මෙරට එම ප්‍රදේශයේ සැබෑ ඉතිහාසය පිළිබඳව බ්‍රිතාන්‍ය ලේඛකයන් පවා නිවැරැදිව සඳහන් කර තිබේ.

ජොන් ඩෙව් යනු 1816 සිට 1820 දක්‌වා කාලය තුළ ඉංගී්‍රසි යුද්ධ හමුදාවේ වෛද්‍ය කාර්ය මණ්‌ඩලයේ සේවය කළ ඉංගී්‍රසි ජාතිකයෙකි. ඔහු ඉංගී්‍රසි ආණ්‌ඩුකාර, සේනාධිපති රොබට්‌ බ්‍රවුන්රිග්ගේ වෛද්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 1821 දී ඔහු විසින් ෂබඑeරසදර දෙ Ceහකදබ නමින් කෘතියක්‌ ප්‍රකාශයට පත් කර ඇත. එම කෘතියේ ජොන් ඩේව් මෙරට ජනගහනය පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙසේය. ලක්‌වැස්‌සෝ මේ රටේ මුල් බැස්‌සෝය. මෙහි පදිංචි වූ විදේශිකයෝ යෑයි ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදෙති. සිංහලයෝ පළමු ගණයට අයත්ය. සිංහලේ සහ ලංකාවේ නිරිත දිග පෙදෙස්‌ වැස්‌සෝ සම්පූර්ණයෙන්ම පාහේ මොව්හුය. දෙවන ගණයට මලබාර්වරු සහ මරක්‌කලයෝ අයත්ය. මලබාර්වරු ප්‍රධාන වශයෙන් උතුර සහ නැගෙනහිර මුහුදුබඩ පළාත්වල වාසය කරති. විශේෂ පළාතකට සීමා නොවන මරක්‌කලයෝ යුරෝපයේ යුදෙව්වන් මෙන් රටේ හැම තැනම විසිරී ජීවත් වෙති.

ඇතැම් කරුණුවලින් මොව්හු යුදෙව්වන්ට සමානය. ඉංගී්‍රසි ආණ්‌ඩුකාරයා වූ රොබට්‌ බ්‍රවුන්රිග්ගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ජොන් ඩෙව් දෙමළ ජාතියක්‌ පිළිබඳව සඳහන් කර නැත. ඔහු සඳහන් කර ඇත්තේ මුහුදුබඩ පළාත්වල ජීවත්වන මලබාර්වරු නම් වූ පිරිසක්‌ පිළිබඳව පමණි. ඉන් පැහැදිලි වන්නේ 1821 වන තුරුම උතුරේ දෙමළ නමින් හඳුනාගත හැකි ජනතාවක්‌ වාසය කර නොමැති බවත් ඉන්දියාවේ මලබාර් වෙරළේ සිට සංක්‍රමණය වූ එම ජනතාව මුහුදු සීමාවේ පමණක්‌ ජීවත් වී ඇති බවත්ය. නමුත් වත්මන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌වරයා දෙමළ බෙදුම්වාදී නායකයන්ගේ ව්‍යාජ ඉතිහාසයන් අනුව යමින් උතුරින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌තුමාට මෙරට සැබෑ ඉතිහාසය දැන ගැනීමට අවශ්‍ය නම් අපට ඒ සඳහා ජොන් ඩෙව්ගේ කෘතිය ඇතුළු තවත් කෘතීන් සපයා දිය හැක.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා සිය ප්‍රකාශය ව්‍යාජ දෙමළ ඉතිහාසය මත පදනම් වෙමින් කළත් ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු නිජබිම් සංකල්පය නොපිළිගන්නා බවයි. ඔහු උතුරේ සියලු වැසියන්ට ජීවත්වීමේ අයිතිය තිබිය යුතු බව ප්‍රකාශ කර ඇත්තේ එබැවින් බවට කිසිදු සැකයක්‌ තිබිය නොහැක. එමෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශය තුළින් සෑම සිංහලයකුගේම ස්‌ථාවරය නියෝජනය කරන බව ද සඳහන් කළ හැක.

එබැවින් මෙරට පවත්නා නිජබිම් ප්‍රශ්නයට ව්‍යාජ සළු පිළි අන්දවා ජනවාර්ගික ප්‍රශ්නයක්‌ බවට පත් කර ඊනියා විසඳුම් සෙවිය නොහැකි බව දෙමළ රාජ්‍ය පක්‍ෂය විසින් සම්මත කරන ලද යෝජනා තුළින් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයාගේ සහ ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයන් තුළින් පැහැදිලි වේ.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය