Spread the News

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට කොටි පහර දී අදට වසර 26 යි


source link:
එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදින්ගේ මහා මිනිස්‌ ඝාතන, මානව හිමිකම් කඩකිරීම්, රටේ සම්පත් විනාශ කිරීම් පිළිබඳ සිහිපත් කළහොත් පොත් ගණනාවක්‌ ලිවීමට කරුණු ඇත. ඒවා අතර බරපතළ අපරාධ කිහිපයකි. 1985 මැයි 14 දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහරදීම. 1987 අරන්තලාවේ භික්‍ෂු ඝාතනය, 1998 දළදා මාලිගාවට පහරදීම මෙන්ම පිටකොටුව, මහ බැංකුව, මහකෝන්ගස්‌කඩ ආදී තැන්වල බුරුතු පිටින් අහිංසක මිනිසුන් ඝාතනය කිරීම අපට කිසිසේත් අමතක කළ නොහැක. ඒවා සිහිපත් කර එවැනි දේ නැවත සිදු නොකිරීමට කටයුතු යෙදීම මෙන්ම සිදු නොවීමට අධිෂ්ඨාන කිරීමට රටට ජාතියට හා රටේ සංස්‌කෘතියට ගරු කරන ඒවා ආරක්‍ෂා කිරීමට සිතන හැම දෙනාගේම යුතුකම හා වගකීම විය යුතුය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු පොදුවේ ගත් කල ලොව පැරැණිතම ඓතිහාසික වෘක්‍ෂයයි. එවන් ඉතිහාසයකට හිමිකම් කියන වෘක්‍ෂයක්‌ ලොව . කොතැනකවත් නොමැත. එබැවින් එය රැක ගැනීම ඊට ගරු සරු දැක්‌වීම සමස්‌ත ලෝකවාසී ශීලාචාර මිනිසුන්ගේ යුතුකම හා වගකීම විය යුතුය. අනෙක්‌ අතින් බලන කල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු සමස්‌ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වැනි පූජනීය වස්‌තුවකි. මෙරට සිංහල බෞද්ධයන් සලකන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසටයි. එදා කොටි ත්‍රස්‌තවාදීන් ආයුධ සන්නද්ධව පැමිණ විනාශ කිරීමට උත්සාහ දැරුවේ එම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ය.

කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් දෝ කොටි ත්‍රස්‌තවාදීන්ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිදු අනතුරක්‌ කිරීමට නොහැකි විය. එහෙත් බෝ මළුවෙහි වන්දනා කරමින් සිටි අය මෙන්ම උන් ගමන් ගත් මඟ දෙපස හා අනුරාධපුර නගරයේදී ද සිය ගණනක්‌ අහිංසක මිනිසුන් කොටි මරා දැමූහ. දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ එහි ගොස්‌ කළ පරීක්‍ෂණයට අනුව නම් කොටි පහරදීමෙන් එදා මියගිය සංඛ්‍යාව පන්සියයක්‌ පමණ වූහ. එහෙත් රජයේ තීරණය වූයේ එකසිය ගණනකි.

කොටින්ගේ මෙම පහරදීම හුදෙක්‌ මිනිසුන් මරා දැමීම පමණක්‌ නොවේ. කොටි ත්‍රස්‌තවාදීන්ට ද වඩා උන් පිටුපස සිට ක්‍රියාත්මක වූ බලවේගයේ අරමුණ වූයේ මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවට හානි සිදු කිරීමයි. තමන්ට පිහිට වන බව සලකන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට ද පහර දුන්නා යෑයි සිතා සිංහල බෞද්ධයන් උදාසීන වූ විට කොටින්ගේ හා උන් පිටුපස ක්‍රියාත්මක වූ බාහිර මිෂනාරී කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ පහසුවෙන් ඉටුකර ගැනීම පහරදීමේ මූලික අරමුණ විය.

එදා සිට සෑම වර්ෂයකම මැයි 14 දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හමුවට ගොස්‌ අධිෂ්ඨාන පූජාවක්‌ කර ආරක්‍ෂක අංශවල චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ වශයෙන් ක්‍රියාත්මක වීම මෙහිදී සිහි කරන්නේ කොටි මර්දනයට එය මහා ශක්‌තියක්‌ වූ බව දන්නා නිසා ය. 2600 සම්බුද්ධත්ව ජයන්තිය යනු ලොව අමාරුම ඉලක්‌කයක්‌ සම්පූර්ණ කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ එම ජයග්‍රහණයට වසර 2600 ක්‌ පිරීම නිමිත්තෙන් උත්සව හා පිංකම් පැවැත්වීමේ අවස්‌ථාවය. ඒ හැමටම වඩා මෙහිදී අප සිතට ගත යුත්තේ අමාරුම ඉලක්‌කය සපුරා ගැනීමටයි. බුදුරජාණන් වහන්සේට ගරු කළ හැකි හොඳම හොඳ පිළිවෙතත් එය පරාජය කළ නොහැකි යෑයි බොහෝ දෙනා කී කොටි ත්‍රස්‌තවාදය 2009 මැයි 19 දා එනම් වසර දෙකකට පෙර මුළුමනින් ම (අවිගත් කොටි ත්‍රස්‌තවාදය) පරාජය කර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට හැකිවීම ශ්‍රී ලංකාවට මහත් අභිමානයකි. එහෙත් කොටි හිතවාදීන්ට එය අවමානයක්‌ බව ද දැනගෙනත්, එවැනි අය අපට කරන කෙණෙහිලිකම් නුවණිsන් අවබෝධ කරගෙන කටයුතු කිරීමට ද අප අදිටන් කර ගත යුතුව ඇත. එවිට ඔවුන් ද පරාජය කිරීමට අපට හැකිවනු ඇත. ඒ සඳහා අපේ අධ්‍යාත්මික ශක්‌තිය ද නොපසුබට උත්සාහය අත්‍යවශ්‍ය වෙයි.

දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්

බෙංගමුවේ නාලක හිමි