Spread the News

ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නෑ
වැඩි ඡන්ද 134කින් යෝජනාව සම්මතයි

කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන්

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මියගේ තීරණය මත ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්‌ෂණය සිදු නොකළ යුතු බවට ගෙන ආ යෝජනාව ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 134 කින් සම්මත විය.

මන්ත්‍රීවරුන්ගේ නමින් මෙම ඡන්ද විමසීම සිදු කෙරිණි. යෝජනාවට පක්‌ෂව ඡන්ද 144 ක්‌ද විරුද්ධව ඡන්ද 10 ක්‌ද ලැබිණි.මන්ත්‍රීවරු 33 දෙනෙක්‌ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ආණ්‌ඩුවට සහාය දෙන පක්‌ෂ මෙම යෝජනාවට පක්‌ෂව ඡන්දය දුන් නමුත් අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා ඇතුළු ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුව වර්ජනය කළ නිසා ඡන්දය විමසද්දී ඔවුහු සභා ගැබෙහි නොසිටියහ.

ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්හ.

ඡන්දය විමසන අවස්‌ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගැබෙහි නොසිටියහ.

එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරු සභා ගැබේ සිටිමින් තමන් ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කළහ.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්‌ෂණය ශ්‍රී ලංකාවේ සංහිඳියාවේ ක්‍රියාදාමයට හා සාමයට හානිකර වන හෙයින්ද, ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වයට, අභිමානයට හා උදාරත්වයට අභියෝගයක්‌ වන හෙයින්ද, එකී පරීක්‌ෂණය සිදු නොකළ යුතු යෑයි ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් නව දෙනකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

යෝජනාව සම්බන්ධයෙන් ඊයේ මෙන්ම පෙරේදාද විවාද කෙරුණු අතර විවාදය අවසන ඊයේ පස්‌වරුවේ මේ පිළිsබඳ ඡන්ද විමසීම සිදු කෙරිණි.

එක්‌සත් ජාතික පක්‌ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳවද ඡන්ද විමසීමක්‌ සිදුකෙරිණි. එම සංශෝධන වැඩි ඡන්දයෙන් පරාජය වීම නිසා ඉවත දැමිණි.