Spread the News

 

https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSNwyn4nMT64YX8rQVgIhW4Z1gOJPjYb9S6Oy3TTTQeWlklQU6t

ජාත්‍යන්තර මුහුදේදී නීති කඩන ශ්‍රී ලාංකික ධීවරයන්ට දඬුවම් දැඩි වේ

රනිල් ධර්මසේන

ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවලදී නීති කඩකරන ශ්‍රී ලාංකික ධීවරයන්ට එරෙහිව ඇති දඬුවම් දැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වරද සිදුවන අවස්‌ථාවේදී අල්ලා ඇති මසුන් ප්‍රමාණය සහ යාත්‍රාවල දිග ප්‍රමාණය පදනම් කර  ගනිමින් දඬුවම් තීරණය කිරීමටත් ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවලදී සිදු කරනු ලබන වැරදි සඳහා දැනට ලබා දෙන දඬුවම් අන්තර් ජාතික සම්මුතිවලට අනුකූල වන සේ ගැලපීමටත් රජය තීරණය කර ඇත.

එමෙන්ම මත්ස්‍ය නිෂ්පාදන ආනයන, අපනයන කටයුතුවලට අදාළ වැරදි සඳහා වන දඬුවම් අදාළ මසුන් ප්‍රමාණයේ වටිනාකම මෙන් පස්‌ ගුණයක්‌ වන සේ වැඩි කිරීමටත්, දැනට ධීවර පනතේ විධිවිධාන පනවා නොමැති පරිපාලනමය දඬුවම් ලබා දීමේ ක්‍රමවේදය හඳුන්වා දීමටත් නියමිතය.

මෙම නීති හඳුන්වාදීමට 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පෙරේදා (14 දා) ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ.

කැබිනට්‌ තීරණ දැනුම් දීම සඳහා ඊයේ (15 දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා කිසියම් රටක ධීවරයන් ජාත්‍යන්තර මුහුදේ නීති උල්ලංඝනය කරන්නේ නම් යුරෝපා සංගමයට පැමිණිලි කළ යුතු බවත්, ඉන්දීය ධීවරයන් නීති උල්ලංඝනය කළත් ඉන්දියාව හා ලංකාව අතර ඇති එකඟතාවන් මත හා මිත්‍රත්වය මත ලංකාව ඉන්දීය ධීවරයන්ට එරෙහිව පැමිණිලි නොකිරීමට තීරණය කර ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.