Spread the News

ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වන්නැයි ජිනීවා සමුළුවට යෝජනාවක්‌
ජිනීවා චෝදනාවට නොබියව මුහුණ දෙනවා
– රජය කියයි
source:
කීර්ති වර්ණකුලසූරිය

ජිනීවාහි මානව හිමිකම් සමුළුවට ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනාවට ශ්‍රී ලංකා රජය නොබියව මුහුණ දෙන බවත් එහිදී කොටින්ට උදව් කළ බටහිර රටවල් ගැන හෙළිකරන බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (9 දා) පැවසීය.

රටවල් 11 ක යුද අවි සහ උපාංග වන්නි මෙහෙයුමේදී අසුවුණා. ඒ අතර ඇමරිකානු හමුදාව භාවිත කරන හමුදා සංඥ උපකරණ හා නෝර්වේ චන්ද්‍රිකා උපකරණයක්‌ තිබී හමුවුණා යයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ පැවසීය.

ප්‍රභාකරන් වසර 30 ක්‌ තිස්‌සේ සිදු කළ අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා නොසිටි ඇමරිකාව යුද අපරාධවලට සම්බන්ධ විශ්වනාදන් රුද්‍රකුමාරන්ට හා බ්‍රිතාන්‍ය ඇඩෙලා බාලසිංහම්ට දේශපාලන රැකවරණ දීම ගැන අපි මානව හිමිකම් සමුළුවේදී ප්‍රශ්න කරනවා යෑයි රජයේ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමට ඇමරිකාව සමග එක්‌වී ඇති පාර්ශ්වයන් අතර මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමාද ද්‍රවිඩ සන්ධානය සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන 7 ක්‌ සිටින බව බුද්ධි අංශවලට හෙළිවී ඇත.