Mon. Nov 25th, 2024
Spread the News

වම්ඉවුර
source:
ජාත්‍යන්තර සංග්‍රාමයේ තීරණාත්මක දිනය අදයි

අද අපේ රටට තීරණාත්මක දිනයකි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එහි 19 වැනි සාමාන්‍ය සැසිවාරය සඳහා රැස්‌වන්නේ අදය. ඇමරිකාවෙන් ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාව නිසා මුළු රටේම අවධානය යොමුවී ඇත්තේ ජිනීවා නුවර දෙසටය. අපට මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්දයකට මුහුණ දීමට සිදුවූ දෙවන අවස්‌ථාව මෙයයි. 2009 දී මැයි මස යුද්ධය අවසන් වී දින කීපයක්‌ ඇතුළත බටහිර බලවතුන් විසින් ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මතකර ගැනීමට උත්සාහ දැරූවද එය මුළුමනින්ම අසාර්ථක විය. මේ දෙවැනි වටයයි. අද මේ රට මුහුණදී තිබෙන අභියෝගය සම්බන්ධයෙන් නරක ආරංචි මෙන්ම හොඳ ආරංචිද ඇත. සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත මානව හිමිකම් කවුන්සිලය තුළ 2009 මැයි මාසයේදී ලංකාවට පක්‍ෂ ඡන්ද 29 න් ලැබුණු අතර රටවල් 12 ක්‌ විරුද්ධව ඡන්දය දුන්නේය. රටවල් 6 ක්‌ ඇඟ බේරාගෙන ඡන්දය නොදී සිටියේය. නරක ප්‍රවෘත්තියකට ඇත්තේ ගිය වතාවේ අපට ඡන්දය දුන් රටවල් 29 න් 11 ක්‌ ම අද මානව හිමිකම් කවුන්සිලයේ නැති වීමයි. එකල අපට ඡන්දය දුන් නමුත් අද ඒ කවුන්සිලය තුළ නැති රටවල් වන්නේ අසර්බයිජානය, බහරේනය, බොලිවියාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඝානාව, මැඩගස්‌කරය, නිකරගුවාව, පකිස්‌ථානය, දකුණු අප්‍රිකාව හා සැම්බියාවයි. නමුත් හොඳ ආරංචියකට තිබෙන්නේ අපට විරුද්ධව ඡන්දය දුන් රටවල් 12 න් 8 ක්‌ ද තවදුරටත් මානව හිමිකම් කවුන්සිලයේ නොසිටීමයි. ඔවුන් අතර මේ රටට එරෙහිව හැම තැනම සටන් මෙහෙයවන කැනඩාව, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය ද වෙයි. දෙමළ ඩයස්‌පෝරාව වැඩියෙන්ම බලපෑම් කරන්නේද මේ රටවලටය.

ඒ අනුව ලංකාවට පක්‍ෂව ගිය සැරයේත් ඡන්දය දුන් රටවල් 18 ක්‌ තවමත් මානව හිමිකම් කවුන්සිලය තුළ සිටී. එම රටවල් 18 එම ආකාරයටම අපට සහයෝගය දෙන්නේ නම්, ඕනෑම අභියෝගයක්‌ ජයගැනීමට අපට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද 6 ක්‌ පමණි. 2009 මැයි මාසයෙන් පසු අලුත් රටවල් 21 ක්‌ මානව හිමිකම් කවුන්සිලයට බැඳී ඇත. අලුතින් බැඳුනු රටවල් වලින්ද බහුතරය ඡන්දය අපට දේවි යෑයි කල්පනා කළ හැක. 2009 මැයි මාසයෙන් පසු ඇමරිකානු හා යුරෝපීය මැදිහත්වීම් යටතේ තුන්වැනි ලෝකයේ රටවල් ගණනාවක සිදුවී ඇති දේවල් දෙස බල බලා, අලුතින් මානව හිමිකම් කවුන්සිලයට බැඳුණු තුන්වැනි ලෝකයේ රටවල් ලංකාවට එරෙහිව ඡන්දය දේවි යෑයි සිතීමට අසීරුය. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයට අලුතින් බැඳුනු තායිලන්තය, උගන්ඩාව, මොරිටානියාව, බෙනීන්, බොට්‌ස්‌වානාව, කොංගෝ, කොස්‌ටරිකාව, ඉක්‌වදොaරය, ගෝතමාලාව, කුවේට්‌, කිරිකිස්‌ථානය හා මාලදිවයින ලංකාවට එරෙහිව ඡන්දය දේවි යෑයි සිතීමට අසීරුය. ලිබියාව දැන් පාලනය කරන්නේ බටහිර උදවු සහිතව බලයට පත්වූ ආණ්‌ඩුවක්‌ වුවද ඔවුන් ලංකාවට එරෙහිව ඡන්දය නොදීමට ඉඩ ඇත. මේ වන විට සියලුම තුන්වැනි ලෝකයේ රටවල් වටහාගෙන සිටින යථාර්ථය වන්නේ බටහිර රටවල් විසින් යම් රටකට එරෙහිව යෝජනාවක්‌ සම්මත වීමෙන් ආරම්භ වන්නේ අදාළ රටේ මුළු පාලන තන්ත්‍රයම බිඳ දමා එය සම්පූර්ණයෙන්ම අරාජික කරවීමේ ක්‍රියාදාමයක්‌ බවයි. මේ නිසා ඡන්දයක්‌ විමසන තැනට පත්වුව හොත් ලංකාව එයින් ජයගැනීමට වැඩි සම්භාවිතාවක්‌ ඇතැයි අනුමාන කළ හැකිය.

නමුත් අපි තවමත් අඳුරින් එළියට ඇවිත් නැත. මීට මාස තුනකට පමණ පෙර එනම් 2011 දෙසැම්බර් 2 වැනිදා ලංකාවට පක්‍ෂව ඡන්දය දේවි යෑයි අප බලාපොරොත්තුවෙන් සිටින රටවල් බොහොමයක්‌ සිරියාවට එරෙහිව බටහිරින් ගෙන එන ලද යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නේය. සිරියාවේ දැන් සිදුවෙමින් පවතින දෙය ලංකාවේ සිදුවූ දෙයට වඩා බෙහෙවින්ම වෙනස්‌ය. එමෙන්ම සිරියාව යනු දේශපාලන පක්‍ෂ ගණනාවකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ නොවේ. එමනිසා ජනගහනයෙන් කොටසක්‌ ආණ්‌ඩුවට එරෙහිව නැඟී සිටියහොත් ඡන්දයක්‌ පවත්වා පාලන බලය හිමිවිය යුත්තේ කාට දැයි තීරණය කිරීමට ඒ රටේ ක්‍රමවේදයක්‌ නැත. එමනිසා එවන් රටක පවතින ආණ්‌ඩුවකට එරෙහිව ජනගහනයෙන් කොටසක්‌ නැගී සිටිය විට ඊළඟට පාලන බලය අල්ලා ගන්නා උදවිය සමගත් මිත්‍රශීලීව සිටීමට අවශ්‍ය නිසා බොහෝ රටවල් වැල යන පැත්තට මැස්‌ස ගැසීම හොඳ යෑයි සිතා කටයුතු කරනවාද විය හැක. එසේ නමුත් ලිබියාවට අද සිදුව ඇති දෙය දෙස බලන විට මොනම හේතුවක්‌ නිසාවත් රටකට එරෙහිව බාහිරින් ගෙන එන යෝජනා වලට පක්‍ෂව ඡන්දය නොදීමේ තීන්දුවකට තුන්වැනි ලෝකයේ රටවල් පැමිණ තිබිය යුතුය. නමුත් ඉකුත් දෙසැම්බරය තරම් මෑත කාලයේදී පවා බටහිර රටවල්වලට ඡන්ද 37 කින් සිරියාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කරගැනීමට හැකි විය. එම අවස්‌ථාවේදී රුසියාව, චීනය, කියුබාව සහ ඉක්‌වදොaරය යන අධිරාජ්‍ය විරෝධී රටවල් සිරියාවට එරෙහිව ගෙන එන ලද යෝජනාවට එරෙහි වුවද අධිරාජ්‍යවාදී විරෝධී පිල එතනදී බරපතළ ලෙස පරාජය විය.

එසේ පරාජය වූයේ අපේ පිහිටට එන කඳවුරයි. බොහෝ තුන්වැනි ලෝකයේ රටවල් සිරියාවට එරෙහිව ගෙන එන යෝජනාවලට පක්‍ෂව ඡන්දය දෙන්නේ අරාබි ලීගය, සිරියාවට එරෙහිව සිටින නිසා විය හැක. අරාබි ලීගය යනු සියලුම අරාබි රටවල් එක්‌ තැනකට ගෙන එන ජාත්‍යන්තර සංවිධානයි. එම සංවිධානයද සිරියානු රජය ඉල්ලා අස්‌විය යුතු යෑයි තීන්දුවක්‌ ගෙන තිබෙන විට ඒ තීන්දුවට එරෙහි වීමට අනෙක්‌ රටවල් අකමැත්තෙන් සිටිනවාද විය හැක. සිරියාව සම්බන්ධයෙන් සිදුවන්නේ එවැනි දෙයක්‌ නම් ලංකාවට බියවීමට හේතුවක්‌ නැත. නමුත් මෙහිදී අපේ චකිතයට හේතුවිය යුතු කාරණයක්‌ වන්නේ අරාබි ලීගය සිරියානු ප්‍රශ්නයට ලොකුවට මැදිහත්වීමට පෙර සිටම එනම් 2011 අප්‍රේල් මස මුල් වරට බටහිර රටවල් විසින් සිරියාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන එනු ලැබූ අවස්‌ථාවේදී ද මානව හිමිකම් කවුන්සිලයේ සිටි තුන්වැනි ලෝකයේ රටවල් ඡන්දය දුන්නේ බටහිර යෝජනාවට පක්‍ෂවය. ඒ අවස්‌ථාවේදීද රුසියාව හා චීනය ඇතුළු අධිරාජ්‍ය විරෝධී පිල පරාජය විය. මේ නිසා අපි ඉතා සීරුවෙන් සිටිය යුතුය.

මා කලින් පැවසූ පරිදි සිරියානු ආණ්‌ඩුව මේ අවස්‌ථාවේදී සටන් කරන්නේ ලෝකය පුරා තහනම් කොට ඇති ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ සමග නොව ඒ රටේම සිවිල් වැසියන් කොටසක්‌ සමගය. එමනිසා ඉන්දුනීසියාව වැනි රටවල් පවා කල්පනා කරනවා ඇත්තේ ඔවුන්ගේ රටේ සුහර්තෝ ජනාධිපතිවරයා ඉල්ලා අස්‌වූ ආකාරයට සිරියාවේ අසාද් ජනාධිපතිවරයාද දැන් ඉල්ලා අස්‌විය යුතු බවයි. එවැනි කාරණා ද මෙතනදී තිබුණ ද ලිබියාවට සිදුව ඇති දෙයින් පසු ඒකාධිපති පාලනයක්‌ යටතේ හෝ ක්‍රියාත්මක වන රජයක්‌ පැවතීම අසාර්ථක රාජ්‍යයක්‌ බිහිවී එම කලාපය පුරාම අරාජිකත්වය පැතිරවීමට වඩා හොඳය යන නිගමනයට බොහෝ රටවල් මේ වනවිට පැමිණ තිබිය යුතුය. පසුගිය දෙසැම්බර් මාසය යනු ලිබියාවට සිදුවී ඇති දෙය අද තරම් පැහැදිලිව පෙනෙන අවධියක්‌ නොවූ බවද සත්‍යයකි. දැන් ලිබියාවේ යථාර්ථය හැමෝටම පැහැදිලි වූ පසු කිසිදු තුන්වැනි ලෝකයේ රටක්‌ ඒකාධිපති පාලනයක්‌ පවතින රටකට එරෙහිව වුවත් ඡන්දය නොදී සිටීමට ඉඩ ඇත.

අපට බියවීමට තවත් කාරණයක්‌ ද ඇත. ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය තුළ ගෙන ඒමට නියමිත යෝජනාවට පෙරහුරුවක්‌ වශයෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් විසින් තමන්ගේ තනි අභිමතය මත පත් කරන ලද උපදේශක කමිටුවේ වාර්ථාව පසුගිය සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කරවන ලදී. එකී උපදේශක කමිටුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිල කමිටුවක්‌ නොවූ නිසා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය එයට අදාළ වූයේ නැත. එම නිසා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින්වත් ප්‍රසිද්ධ නොකරන ලද තහවුරු කළ නොහැකි හා ඒ නිසාම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් උවමනාවෙන්ම ප්‍රකාශයට පත් කිරීමෙන් වැලකුණු සංඛ්‍යා දත්ත මෙකී වාර්ථාවේ සඳහන් වී ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් එසේ එකතු කරනු ලදුව තහවුර කරගැනීමට නොහැකි නිසා අතහැර දමා තිබුණු සංඛ්‍යා දත්ත වලට අනුව 2008 හා 2009 යන අවුරුදු වලදී මරණ 7,000 ක්‌ සිදුවී ඇතැයි කියවුණි. මොවුන්ගෙන් කීදෙනෙක්‌ කොටි සාමාජිකයන්ද, කීදෙනෙක්‌ සිවිල් වැසියන්ද කියාවත් වෙන් කොට නැත. නමුත් බෑන් කී මූන්ගේ කමිටු වාර්තාවෙන් මේ 7,000 ගැන ද සඳහන් කරන අතර එහි සත්‍ය ගණන 40,000 ක්‌ යෑයි පවසා ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සැක හා අනුමාන සහිතව එකතු කරන ලද 7,000 ට තවත් 33,000 ක්‌ එකතු වූයේ කෙසේද යන කාරණය විස්‌තර කර තිබිය යුතු වුවද පිටු 200 ගණනක්‌ වන එම වාර්තාවේ ඒ වැඩිවීම විස්‌තර කෙරෙන එක වාක්‍යයක්‌ වත් සඳහන් වී නැත.

බෑන් කී මූන්ගේ කමිටුව පවසන්නේ මරණ සංඛ්‍යාව 40,000 ක්‌ විය හැකි බව ඔවුන්ට “විශ්වාස කටයුතු” ආරංචි ලැබී ඇති බව පමණි. අඩුම වශයෙන් මේ ආරංචිය ඔවුන්ට දුන්නේ කවුද කියාවත් පවසා නැත. ඔවුන්ට ආරංචි ලැබුණු තැන් අවුරුදු 20 ක්‌ යනතුරු සම්පූර්ණ රහසක්‌ හැටියට තබාගැනීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ රෙගුලාසි ඔවුන් පාවිච්චි කොට ඇත. නමුත් 40,000 ක මරණ සංඛ්‍යාවක්‌ කිසිවිටකත් සිදු නොවූ බවට ඔප්පු කිරීමට ඇති ප්‍රධානම සාධකය වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්ම 2009 ඔක්‌තෝබර් මාසයේදී ලංකාවේ යුද්ධයේ අවසන් මාස කීපයේදී සිදුවූ සිද්ධීන් හැටියට ඔවුන්ට ආරංචි වූ දේවල් සටහන් කොට තැබූ වාර්තාවයි. ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය උතුරේ සියලුම ආරංචි මාර්ග වලින් එනම් සිවිල් වැසියන්, රජයේ නිලධාරීන්, රතුකුරුස සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නොයෙක්‌ ඒකක යනාදී සියලුම තැන්වලින් එකතු කරන ලද තොරතුරු සටහන් කොට වාර්තාවක්‌ හැටියට එළිදක්‌වන ලදී. සිවිල් වැසියන් 7000 ක්‌ හෝ 40,000 ක්‌ මියගියේ නම් ඒ කාරණය එම වාර්තාවේ සඳහන් නොවීමට කිසිදු හේතුවක්‌ නැත.

මේ ආකාරයට බෑන් කී මූන්ගේ කමිටු වාර්තාවෙන් කියවෙන්නේ ඔවුන්ට වඩා සවිස්‌තර ලෙස තොරතුරු එකතු කළ පාර්ශ්වයන්ගෙන්වත් සනාත වන කාරණා නොවේ. නමුත් අපේ භීතියටත් සන්ත්‍රාසයටත් හේතු විය යුතු කාරණයක්‌ වන්නේ බෑන් කී මූන් වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාන්‍ය ප්‍රමිතියට සකසා තිබීමයි. පසුගිය දින මානව හිමිකම් කවුන්සිලය විසින් නිල වශයෙන්ම සිරියාව සම්බන්ධයෙන් සම්පාදනය කොට තිබුණු වාර්තාවද බෑන් කී මූන් විසින් නිල නොවන මට්‌ටමින් ලංකාව ගැන සැකසූ වාර්තාව මෙන්ම ඉතාමත්ම අඩු ප්‍රමිතියකින් සකසන ලද්දක්‌ විය. සිරියාව සම්බන්ධ වාර්තාවේද නන්නාඳුනන සාක්‍ෂිකරුවන්ගෙන් අසා දැනගත් තොරතුරු මත එම වාර්තාව ලියා ඇත. එහි සඳහන් ඇතැම් කථා බැලූ බැල්මටම දේශපාලන රැකවරණය අපේක්‍ෂාවෙන් කියන ලද කථා බව පැහැදිලි වෙයි. මේ අවස්‌ථාවේදී සිරියානු ආණ්‌ඩුවත් සිවිල් උද්ඝෝෂකයනුත් අතර දිගින් දිගටම ගැටුමක්‌ තිබෙන බව සත්‍යයකි. එමෙන්ම සිරියානු හමුදා සිවිල් වැසියන්ට වෙඩි තබන බවද ඇත්තකි. නමුත් සිරියාව පිළිබඳ වාර්තාවේ ලියවී ඇත්තේ අදාළ සාක්‍ෂිකරුවාට බටහිර රටවල් වලින් දේශපාලන රැකවරණ දීමට ඉවහල් වන ආකාරයේ හැඟීම් දනවන කථාය. බෑන් කී මූන් වාර්තාවේද ඇත්තේ ද මේ ආකාරයටම සකස්‌ කරන ලද කතාය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට කවදත් කියවන්නට ලැබෙන්නේ ප්‍රමිතියක්‌ නැති නන්නාඳුනන සාක්‍ෂිකරුවන්ගේ කථා මත පදනම් වූ වාර්තා නම් ලංකාව සම්බන්ධයෙන් පලකොට තිබුණු වාර්තාවේ වෙනසක්‌ ඔවුන්ට නොපෙනීමට ඉඩ ඇත. එම නිසා නිදහස ලැබූ දායින් පසු ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයෙන් අපේ රටට එල්ල වී ඇති දරුණුම අභියෝගය අභිමුඛව අපි දැන් සිටී.

සී.ඒ. චන්ද්‍රප්‍රේම

Protected by Security by CleanTalk