ජාතික ආණ්‌ඩුවකට අපි නෑ වමේ පක්‍ෂ නායකයෝ කියති

Spread the News

ජාතික ආණ්‌ඩුවකට අපි නෑ
වමේ පක්‍ෂ නායකයෝ කියති

අනුර බාලසූරිය, පිංතූරය – නිමල් දයාරත්න

ඉදිරි මහ මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා විය යුතු බව මේ රටේ ජනතා අභිලාෂය වී ඇතැයි වමේ පක්‍ෂ හතරක නායකයෝ පැවසූහ. කොළඹ ජාතික පුස්‌තකාල ප්‍රලේඛන ශාලාවේදී ඊයේ (9 දා) පැවති මාධ්‍ය හමුවේදී මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන,  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරු මේ බව එහිදී අවධාරණය කළහ.

ජනතාවගේ අපේක්‍ෂාව වී ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කළ හැකි බලවත් සන්ධානයක්‌ ගොඩනඟා සන්ධාන ආණ්‌ඩුවක්‌ බිහිකර සන්ධානයේ අගමැතිවරයකු සහ ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ බිහිකිරීම බවත් ඔවුහු සඳහන් කළහ.

ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළයුතු ජයග්‍රහණය කළ හැකි එකම අපේක්‍ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව එතුමාට ඡන්දය දුන් 58 ලක්‍ෂයක්‌ වූ ජනතාවගේ එකම අභිලාෂය වී ඇති බැවින් එම ජනතා අභිලාෂය ඉටුකිරීමට කටයුතු කළ යුතු බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ඔවුන් ජාතික ආණ්‌ඩුවක්‌ අපේක්‍ෂා නොකරන බවත් පක්‍ෂ රැසක මතය වී ඇත්තේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනතාවාදී ආණ්‌ඩුවක්‌ බවත් පැවසූ පක්‍ෂ නායකයෝ මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් 58 ලක්‍ෂයක්‌ ජනතාව අතරමං නොකරන පුළුල් වූ දේශපාලන බලවේගයකට අවතීරණය විය යුතු බවත් කීහ.