Spread the News

ජාතික ප්‍රශ්නය විසඳීමේදී ඉන්දියානු දෙමළ
ජනතාවට වැඩි නියෝජනයක්‌ ඕනෑ

– ප්‍රභා ගනේෂන්

source:

රනිල් ධර්මසේන

ලංකාවේ සිටින දෙමළ ජනතාවගෙන් බහුතරය ඉන්දියානු සම්භවයක්‌ ඇති පුද්ගලයන් බැවින් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී උතුරේ දෙමළ ජන නායකයන්ට වඩා නියෝජනයක්‌ ඉන්දියානු දෙමළ ජනතාව වෙනුවෙන් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.

පසුගිය 2010 ජන්ද නාම ලේඛනයට අනුව ඉන්දීය සම්භවයක්‌ ඇති දෙමළ ජන සංඛ්‍යාව දහසය ලක්‍ෂ දස දහස ඉක්‌මවා ඇතැයිද නමුත් උතුර නැගෙනහිර දෙමළ ජන සංඛ්‍යාව ලක්‍ෂ 15 ක්‌ පමණ යෑයිද හෙතෙම කීය.

මේ නිසා දෙමළ ජාතික සංධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස කිසි විටක පිළිනොගත යුතු බවත් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී වතුකරයේ දෙමළ දේශපාලන පක්‍ෂ නායකයන්ගේ නියෝජනය අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බවටත් තමා ඇමරිකානු තානාපති කාර්යාලය දැනුවත් කළ බවද හෙතෙම කීය.

ඉන්දීය සම්භවයක්‌ ඇති දෙමළ ජනතාව වෙනුවෙන් නායකත්වය ගන්නා ලෙස ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතාට දැනුම් දුන් බවද එයට අමතරව කේ. දිගම්බරන්, එම්. රාමක්‍රිෂ්ණන් යන මහත්වරුන්ටද ඒ සඳහා සහාය දීමට එක්‌වන ලෙස ද ලිතව ඉල්ලීමක්‌ කළ බවද ගනේෂන් මහතා කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය සමග පමණක්‌ සාකච්ඡා නොකර තම ජනතාවගේ නායකයන්ද ඊට එක්‌කර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාවද ඉදිරියේදී දැනුවත් කරන බවද හෙතෙම කීය.