ජාති, ආගම් භේදයෙන් රට වැනසීමට ඉඩ දෙන්නේ නෑ

Spread the News

ජාති, ආගම් භේදයෙන් රට
වැනසීමට ඉඩ දෙන්නේ නෑ
නිදහස්‌ දින ජාතිය අමතමින් ජනපති පවසයි
SOURCE:
අනුර බාලසූරිය, සමන් මල්ලවාරච්චි

“ජාති භේදය වගේම ආගම් භේදයත් රටක විනාශයට හේතු වෙනවා. කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ නැවතත් ආගම් භේද හෝ ජාති භේද ඇති කරනවා නම් එ අය සේවය කරන්නේ තමන්ගේ ආගමට නොවේ. ත්‍රස්‌තවාදයෙන් කරන්න බැරි වුණ දේ මෙබඳු දෙයකින් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ”යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ත්‍රිකුණාමලය ෆෙඩ්රික්‌ කොටුව මාවත පරිශ්‍රයේදී ඊයේ (04 වැනිදා) පැවැති 65 වැනි ජාතික නිදහස්‌ සමරු උත්සවයේදීය.

සියලු වහල් බැමි බිඳ දමා ත්‍රිකුණාමලයට පැමිණි බව අවධාරණය කළ ජනාධිපතිවරයා වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලෝකෙට වැදගත් වුණ මේ නගරයේ නිදහස්‌ උළෙල පැවැත්වීමෙන් පෙන්වන්නේ ලෝක නිදහසට මෙන්ම සාමයට හා සංහිඳියාවට තිබෙන අපේ කැපවීම යෑයි ද කීවේය.

සියලු ජනතාව එකට ජීවත්වන විට ජාති, ආගම් භේද කිසිවක්‌ නැති බවත් එම නිසා ජාතිවාදීන්ට රට බෙදීමට හැකියාවක්‌ නැති බවත් පැවසූ ජනාධිපතිවරයා මේ රටේ සියලු දෙනා සම අයිතියෙන් ජීවත්වීම හොඳම විසඳුම බවත් කීය.

ශ්‍රී ලංකාවට විරුද්ධව විදේශවල ගෙන යන ප්‍රචාරවලට අපිට දෙන්න තියෙන හොඳම පිළිතුර ඔවුන්ට අප රටට එන්න ආරාධනා කර ලංකාවේ සංවර්ධනය හා සංහිඳියාව පෙන්වීම යෑයි ද සඳහන් කළේය.

අපි හැමදාම එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කරන රටක්‌ බවත් බලවත් වේවා දුබල වේවා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්න ලොව කොයි රටත් එයට ගරු කළ යුතුයි කියන දැඩි ස්‌ථාවරයේ සිටින බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.