Spread the News

ආරක්‌ෂාව
ජිනිවා සටන ; අයිරින් යයි පැමෙලා එයි
source:
* ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාර්ශ්ව නොමග යවා ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජිනිවා නුවරදී පවසයි.

* ත්‍රස්‌තවාදය නැතිකර දැමුවත් හිටපු කොටි බටහිර රටවල ක්‍රියාත්මක වන බව ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ ජිනිවාහිදී තානාපති නිලධාරීන් අමතා කියා සිටී.

* ඉතාලියේ මහජන විනිශ්චය සභාව නමැති රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකාව, ඇමරිකාව, ඉන්දියාව, සහ බ්‍රිතාන්‍යය ද යුද අපරාධවලට වගකිව යුතු යෑයි තීන්දු කරයි.

* ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්ගේ බිරිය ආනන්ති සසිතරන් ශ්‍රී ලංකාවට එරෙහිව සාක්‍ෂි දෙයි.

* යාපනයේ සිට පිටු 69 ක වාර්තාවක්‌ නවි පිල්ලේට යවයි.

* බස්‌වල පුරවාගෙන ආ කාන්තාවන් හා ළමුන්ගේ සිරුරු මන්නාරම් මිනීවළේ
– රදගුරු රායප්පු ජෝශප්

* මාව පුනරුත්ථාපනය කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය දරන උත්සාහයට එරෙහිව මුළුමනින්ම සටන් වදින්නෙමි
– ආනන්ති සසිතරන්


ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජිනිවාහිදී
විදෙස්‌ තානාපතිවරුන් අමතා යථා තත්ත්වය පැහැදිලි කිරීම


ජීනිවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි වූ අයිරින් ඩොනනෝ

ජිනීවා නව ඇමරිකානු තානාපතිනි පැමෙලා හමාමොටෝ

මාවිල්ආරු සොරොව්ව වසා ගොවි ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළේ ත්‍රිකුණාමලයේ කොටි හමුදා නායකයකු ලෙස ක්‍රියා කළ එලිලන්ය. ඒ නිසාම ඔහුව මාවිල්ආරු එලිලන් යෑයි හඳුන්වනු ලැබීය. එලිලන්ගේ බිරිය ආනන්ති සසිතරන් 2003 සිට කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ සේවය කළාය. රජයේ සේවිකාවක්‌ වූ ඇය තම සැමියාගේ කොටි ත්‍රස්‌ත කටයුතු රජයට වසන් කළාය. 2009 මැයි මස කොටි ත්‍රස්‌තයන් පරාජය වීමෙන් පසු ඇය ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතූ නමුත් එය ප්‍රතික්‍ෂේප විය . 2013 වසරේ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඇය ගෙනයැමට රාජ්‍ය නොවන සංවිධානයක්‌ දැරූ උත්සාහය ද ව්‍යර්ථ විය. කෙසේ වෙතත් සිර භාරයේ සිටිය යුතු ආනන්ති දැන් ශ්‍රී ලංකාවට එරෙහිව ‘යුද’ ප්‍රකාශ කර ඇත. පසුගියදා ජර්මනියේ බ්‍රිමන් නගරයේ පැවැති ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ ගැන සෙවීමේ මහජන විනිශ්චය සභාව හමුවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය වූයේ ඇයයි. එහිදී ඇය පැවසුවේ ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජන ඝාතන සංහාරයක යෙදුණු බවයි. පසුගිය සඳුදා (20 දා) ඇය කොළඹ රොස්‌මිඩ් පෙදෙසේ එක්‌සත් ජාතීන්ගේ සංක්‍රමණික කර්යාලයේ ප්‍රධානි ගෝලම් අබ්බාස්‌ හරහා මානව හිමිකම් කොමාසාරිස්‌ නවි පිල්ලේ වෙත ලිපියක්‌ යවමින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් හා පැහැරගෙන යැම් ගැන එක්‌සත් ජාතීන්ගේ නිරීක්‍ෂණය යටතේ ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පවත්වන්නැයි ඉල්ලා සිටියාය. ඇගේ මෙම ක්‍රියාදාමය හෙළිවෙත්ම මනෝ ගණේෂන් නමැති දේශපාලනඥයා ඇය බේරා ගැනීමට ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකා රජය පවත්වන විමර්ශන කෙරේ විශ්වාසය තබන්නේ නැතැයි එම ලිපියෙන් තවදුරටත් දන්වා ඇති මෙම හිටපු කොටි කාන්තාව අතුරුදන් වූවන් සම්බන්ධ පැමිණිලි 10136 ක්‌ ගැන විමර්ශනය කර නැතැයි ද කියා සිටියාය.

මෙලෙස කොටි අපරාධ වසන්කර ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ කළ බවට තහවුරු කිරීමට ආනන්ති නමැත්තිය දැඩි උත්සාහයක යෙදෙන අවස්‌ථාවේ මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් යළි මතුවිය. මන්නාරමේ තිරුකේශ්වරම් ප්‍රදේශයේදී හමවූ ඇටසැකිලි 38 ක්‌ ගැන රායප්පු ජෝශප් මෙලෙස පළ කළේය.

“මේ මිනීවළේ ළමුන් හා කාන්තාවන් බස්‌රථවල පුරාවාගෙන ගිය සිවිල් වැසියන්ගේ මළසිරුරු තිබෙන බව මට අවබෝධ වුණා. මෙම ප්‍රදේශය දිගු කලක්‌ තිස්‌සේ හමුදා පාලනය යටතේ පැවතියා. කොටි මේ ප්‍රදේශයේ සිටියත් ඔවුන්ට මෙවැනි විශාල සමූහ මිනීවළවල් ඇති කිරීමේ හැකියාවක්‌ නැහැ.

මේ නිසා ස්‌වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍යයි. මේ ප්‍රදේශයේ ජනතාවගේ මතය නම් මරාදමා ඇත්තේ ද්‍රවිඩයන් බවයි.

මන්නාරම් රදගුරුවරයා මේ ප්‍රකාශය කර පැය 24 ක්‌ ගතවීමට පෙර මන්නාරමේ සිට ලොවපුරා විකාශනය වූ පුවත් වාර්තාවකින් සමූහ මිනීවළේ දහස්‌ ගණනක්‌ වළදමා ඇති බව කියා සිටියේය.

ඒ සමගම උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වූ ජී. ගුරුසීලන් නමැත්තා සමූහ මිනීවළ අසල ඇති ප්‍රදේශයට ගොස්‌ නිරීක්‍ෂණ කටයුතුවල යෙදී තිබේ.

එම මිනීවළ තවදුරටත් හෑරීමේදී හමුදා කැලෑ ඇඳුම් වගයක්‌ද හමුවී ඇත.

මේ පසුබිම යටතේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවක ඡායාරූප ශිල්පියකු මන්නාරමට ගොස්‌ එකී ඇටසැකිලිවලට අදාළ බිහිසුණු ඡායාරූප කීපයක්‌ ලොව පුරා විකාශනය කර තිබේ.

ඇමරිකාවේ බොස්‌ටන් නුවර බෝම්බ පිපිරවූ තස්‌රනේව් සොහොයුරකුට පොලිසිය වෙඩි තැබූ අයුරු ඡායාරූප ගත කිරීමට පොලිස්‌ බලධාරින් ඉඩ දුන්නේ නැත. එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ එකී ඇටසැකිලි ගැන වෝහාරික පරීක්‍ෂණ කිරීමටත් පෙර විදෙස්‌ මාධ්‍ය හා කොටින්ගේ ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවියටත් එම ස්‌ථානයට යැමට ඉඩ ලැබුනි.

මේ බිහිසුණු ඡායාරූපවල පිළිබිඹු වූයේ කට ඇරගෙන සිටින හිස්‌කබල්ය. මෙම තත්ත්වය මත ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමු වන්නේ මෙවන් ඡායාරූපයි.

එහෙත් 10983 සිට මේ ප්‍රදේශය පාලනය කරන ලද්දේ කොටි සංවිධානයයි. මෙම පසුබිම යටතේ බ්‍රිතාන්‍යය හා ඇමරිකාව මාර්තු 26 දා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඒකාබද්ධව යෝජනාවක්‌ ගෙන ඒමේ සතුරු ක්‍රියාදාමයක යෙදී සිටී. ඒ සඳහා දැනටමත් වාර්තා දෙකක්‌ සකස්‌කර තිබේ. එක්‌ වාර්තාවක්‌ පිටු 86 කින් යුක්‌තය.

මෙම වාර්තාවේ 73 වැනි පිටුවේ මෙලෙස සඳහන් වේ. යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවට දක්‌වන යෝජනාව ඇමරිකාව සහ යුරෝපා සංගමය අනුමත කර ඇත. ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂට ස්‌වාධීනව මේ ගැන ක්‍රියා කළ හැක. අන්aතර් ජාතික අධිකරණයට ශ්‍රී ලංකා රජය සම්බන්ධ නැතත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සිව්දෙනකුට එරෙහිව ක්‍රියා කළ යුතු බව ද්‍රවිඩයන් කියා සිටී. මෙකී වාර්තාවට මූලාශ්‍ර වී ඇත්තේ කොටින්ගේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය. ඉන්ටර් නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් – ආසියානු මානව හිමිකම් කොමිසම, හියුමන් රයිට්‌ස්‌ වොච් – බී. බී. සී. ප්‍රවෘත්ති – ටැමිල් ඩයස්‌ පෝරාව.

එසේම මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් ශ්‍රී ලංකා හමුදාව පොකුරු බෝම්බ භාවිතකර ඇතැයි පසුගියදා චෝදනා කළේය. එම චෝදනාව 2009 ජුනි 5 දා සකස්‌ කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විමර්ශන වාර්තාවේ ද සඳහන් කර ඇත. මෙකී වාර්තාවේ තවදුරටත් දක්‌වා ඇත්තේ කොටින්ට සම්බන්ධව ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ 800,000 ක්‌ බවත්ය. අනාගතයේදී ශ්‍රී ලංකා රජයට එරෙහි සන්නද්ධ විරෝධයක්‌ දැක්‌වීම සඳහා සපයන අරමුදල් වැඩිවිය හැකි බවත් මේ අතර බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාල ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය බදාදා පිටු හයක වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කරමින් පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සමයේදීත් රජය මානව හිමිකම් උල්ලංඝනය කළ බව කියා සිටියේය.

එම වාර්තාවේ සඳහන් කර ඇති අන්දමට මානව හිමිකම් උල්ලංඝනය වී ඇති කරුණු මෙසේය.

1. චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේ ඇතුළු පිරිසට අනුරාධපුරයේ සිට වව්නියාවට යැමට ඉඩ දුන්නේ නැත.

2. උතුරේ සිට කොළඹ මානව හිමිකම් උත්සවයකට පැමිණීමට ද්‍රවිඩ ජනතාවට ඉඩ දී නැත. පොලිසිය එය වළක්‌වමින් අධිකරණ නියෝගයක්‌ ලබාගෙන ඇත.

3. චැනල් 4 කණ්‌ඩායම ගැන බුද්ධි අංශ නිරීක්‍ෂණයේ යෙදී තිබේ.

4. ත්‍රස්‌තවාදී පනත යටතේ ද්‍රවිඩ තරුණයන් 7 ක්‌ අත්අඩංගුවට ගෙන ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන හෙළිකර ඇත.

5. මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානීන්ට එරෙහි සිදුවීම් 227 ක්‌ ගැන රාජ්‍ය නොවන සංවිධාන විසින් වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකාව තුළ සිය කටයුතුවලට තහංචි පනවා ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන දන්වා ඇත.

බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත් කළ මෙම විමර්ශන වාර්තාවෙන් තහවුරු වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය තොරතුරු යවා ඇත්තේ විදෙස්‌ අරමුදල් ලබන එන්.ජී.ඕ. කල්ලියයි. මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා යෝජනාව ගෙන ඒම ජිනීවාහි සාම ඇමරිකානු තානාපතිනි පැමෙලා හමාමොටෝ භාර වී ඇත. 2012 සහ 2013 වර්ෂවල ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත යෝජනා දෙකක්‌ ඉදිරිපත් කළේ තානාපතිනි අයිරින් ඩොනහෝයි

ඇය මානව හිමිකම් සමුළුවේදී හැසිරුණේ ඇමරිකානු පොලිස්‌කාරයා මෙන් මානව හිමිකම් ශාලාවේදී කොටි රූපවාහිනි සේවා ඇමතූ අයිරින් ශ්‍රී ලංකාව කළ යුත්තේ ඇමරිකානු යෝජනා ඉටුකිරීම යෑයි කියා සිටියාය. එහෙත් ඇගේ සේවා කාලය අවසන් වී ඇත. නව තානාපතිනි සැමේලා ද ඔබාමාගේ මිතුරියකි. ඇය ද අයිරින්ට දෙවැනි නැත. මේ තත්ත්වය මැද රජය විදේශ රටවල සිටින කොටින්ට මිනිස්‌ ඝාතන සම්බන්ධයෙන් නඩු පැවරීමට සැලසුම් කර ඇත.

2009 සිට එකී ක්‍රියාදාමය සිදු කළ යුතුව තිබුණත් ඊට මුල් වූයේ දේශප්‍රේමීන් කිහිපදෙනකු පමණි. එහෙත් අශ්වයා පැන ගියාට පසු ඉස්‌තාලය වසා දැමීම වැනි මෙහෙයුමක්‌ දැන් අරඹා ඇත. ත්‍රස්‌ත මර්දන බලධාරීහු වසර ගණනකට පසු එකී නඩු පැවරීමට අදාළ කරුණු සොයන බව ආරංචි මාර්ග දක්‌වයි.

පිළියන්දල, කැබිතිගොල්ලෑව, නුගේගොඩ, වැලිවේරිය, කොටුව, ගල්කිස්‌ස යන ස්‌ථානවල සිදුවූ පිපිරීම් නිසා සිවිල් වැසියන් විශාල පිරිසක්‌ ඝාතනය විය.

ඊට අදාළ සාක්‍ෂිකරුවන් 100 කට අධික පිරිසකගෙන් රහස්‌ පොලිසිsයේ හිටපු පොලිස්‌ පරීක්‍ෂකවරයකු සාක්‍ෂි සටහන් කර ගෙන තිබිණි.

ශ්‍රී ලංකා පොලිසිය කළ යුතු එකී කාර්යය ඉටු කළේ සිය දිවි පරදුවට තැබූ එම විශ්‍රාමික පොලිස්‌ පරීක්‍ෂක ලයනල් මුණසිංහ මහතායි.

මෙලෙස රටවල් කීපයක සිටින කොටි ක්‍රියාකාරීන්ට එරෙහිව රජය නඩු පැවරීමට තීරණය කරද්දී කොටින්ට ඊළාම් රාජ්‍යය ලබා දීමට උත්සාහ කළ මැලේසියාවේ පිනැන්ස්‌ ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පී. රාමසාමි යළි මතුවිය. 2003 වසරේ මෙරටට පැමිණ වන්නියට ගිය රාමසාමි දින හතක්‌ තිස්‌සේ අන්තර් වාර පාලන කෙටුම්පත සකස්‌ කරමින් ඒ අනුව ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු ආකාරය ගැන කොටින්ට උපදෙස්‌ දුන්නේය.

රාමසාමි නමැති මේ බෙදුම්වාදියා ජනවාරි මස අවසාන සතියේ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය පවත්වන කොටි සමුළුවට සහභාගි වීමට නියමිතය.

රාමසාමි මැලේසියාවේදී ප්‍රකාශයක්‌ කරමින් මැලේසියා රජය ශ්‍රී ලංකාව මත යෑපීමෙන් වැළකිය යුතු බවත්, ශ්‍රී ලංකාව මෙහෙයවන්නේ තක්‌කඩි කල්ලියක්‌ බවත් දන්වා ඇත. උතුර – නැඟෙනහිර කොටි පාලනය පවත්වා ගෙන යැම සඳහා වූ කොටින්ගේ ව්‍යවස්‌ථාදායක කමිටුවේ මා අසුන් ගත්තා. ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට ඇති හොඳම මඟ ද්‍රවිඩයන්, සිංහලුන්ගෙන් වෙන් කර වෙනම රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම යෑයි රාමසාමි තවදුරටත් කියා සිටියේය.

ගෝලීය ද්‍රවිඩ සංසදය දැන් ද්‍රවිඩ සංධානය සමඟ එක්‌ වී ක්‍රියාකරයි. මෙවන් තත්ත්වයක්‌ මැද ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පැවසූ කැනඩා අගමැති ස්‌ටීවන් හාපර් එරටට පැමිණි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතමින් ඊශ්‍රායලයේ අයිතිය වෙනුවෙන් ක්‍රියාකිරීමේ හිමිකම ඊශ්‍රායලයට ඇතැයි කියා සිටියේය.

එහෙත් ස්‌ටීවන් හාපර් ශ්‍රී ලංකා රජයට කියන්නේ එම හිමිකම ශ්‍රී ලංකාවට නැති බවයි.

ත්‍රිකුණාමල රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ ද ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරා මෙහෙයවන යුරෝපා ගුවන් විදුලිය අමතමින් ජනාධිපතිවරයා කොටි සාමාජිකයන් නිදහස්‌ නොකරන්නේ ඔවුන්ට ඇති බිය නිසා යෑයි පවසා ඇත. එසේම ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට සහාය දක්‌වන බව ද ඔහු තවදුරටත් පවසා තිබේ.

මෙවන් පසුබිමක්‌ මැද ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඟන සාක්‍ෂිකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ හරස්‌ ප්‍රශ්න ඇසීමට ඉඩදිය යුතු යෑයි රජය කර ඇති ඉල්ලීම ගැන එක්‌සත් ජාතීන්ගේ බලධාරීහු ප්‍රතිචාර දක්‌වා නැත.

2000 ක්‌ පමණ පෙත්සම්කරුවන් හා සාක්‍ෂිකරුවන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ ත්‍රිපුද්ගල මණ්‌ඩලය හමුවේ කරුණු දක්‌වා තිබේ. එහෙත් එම සාක්‍ෂිකරුවන් 2031 වසරින් පසු පමණක්‌ හෙළි කළ යුතු යෑයි ත්‍රිපුද්ගල මණ්‌ඩලය නියෝගයක්‌ නිකුත් කර තිබේ. මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා කුමන්ත්‍රණය දියත්වන අවස්‌ථාවේ ශ්‍රී දළදා මාළිගාවට කොටි ත්‍රස්‌තවාදී ප්‍රහාරය එල්ල වී ඊයේට (25 දා) වසර 14 ක්‌ ගත විය. එහිදී 16 ක්‌ මියගොස්‌ 23 ක්‌ තුවාල ලැබීය. එහෙත් එය යුද අපරාධයක්‌ ලෙස බටහිර රටවල් හඳුන්වා නැත. 1992 වසරේ ජනවාරි 25 දා මහඔය සහ අම්පාර අතර ධාවනය වූ බස්‌ රියක්‌ බිම් බෝම්බයකට ලක්‌වීමෙන් සිවිල් වැසියන් නවදෙනකු මරුමුවට පත්වූහ.

ඉතාලියේ සිට ක්‍රියාත්මක වන මහජන විනිශ්චය සභාව නමැති රාජ්‍ය නොවන සංවිධානය ද පසුගිය බදාදා යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වරදකරු කළේය. එසේම ශ්‍රී ලංකාවට යුද අපරාධ කිරීම සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව ද වරදකරු යෑයි එකී රාජ්‍ය නොවන සංවිධාන විනිශ්චය සභාව නිගමනය කර ඇත

මේ හැර ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතන කණ්‌ඩායම මියගිය මැයි 18 වැනිදා මුල්ලිවයික්‌කාල් සැමරුම් දිනය ලෙස නම් කර එය ලොව පුරා සැමරිය යුතු බව ද එකී විනිශ්චය සභාව තවදුරටත් දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය