Spread the News

ජිනීවා මානව හිමිකම් සමුළුවට
කොටි යුද අපරාධකරුවෙක්‌?

source:

* ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බව දක්‌වමින්
කොටි තැපැල්පතක්‌ ජිනීවා සිට බෙදාහැරේ

* කැනඩාවෙන් ජිනීවා මානව හිමිකම්
සමුළුවට යෝජනා දෙකක්‌

* ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට අති විශාල අරමුදලක්‌
ලැබුණේ කැනඩාවෙන් යෑයි කැනඩා රහස්‌ පොලිසිය හෙළි කරයි

* 1971 හිටපු කැරලිකරුවකු හා කොටි ජාත්‍යන්තර
ජාලයේ 11 වැනියා වූ කිරුබාහරන්ගේ සැලසුම්


ජිනීවා මානව හිමිකම් සමුළුවේදී
ශ්‍රී ලංකාව යුද අපරාධකරු කිරීමට බලාපොරොත්තු වන කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ කිරුබාහරන් සහ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා

යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තහනම් කර ඇතත් කොටි ධජය රැගත් මේ කොටි කණ්‌ඩායම බ්‍රසල්ස්‌ සිට ජිනීවා වෙත එන අයුරුයි මේ

රුද්‍රකුමාරන්ගේ කොටි කණ්‌ඩායම ජිනීවා වෙත පැමිණ
බෙදාහරින කොටි තැපැල්පත

ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නගරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක හතරකි. අධික ශීතල කාලගුණික තත්ත්වය නොතකා කොටි ජාත්‍යන්තර ජාලයේ කණ්‌ඩායම් දැන් ජිනීවා වෙත පැමිණ සිටී. ඔවුන් මෙම 27 වැනිදා ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ රජයත් හමුදාවත් යුද අපරාධ සඳහා වරදකරුවන් කිරීමේ ඉලක්‌කය ආරම්භ කර ඇත. ඒ සඳහා දැඩි ලෙස සහාය වන්නේ කැනඩා කොටි ජාලයයි. කැනඩාවේ කොටි ජාලයට සම්බන්ධ බාලන් රත්නරාජා නමැත්තෙක්‌ පසුගිය පෙබරවාරි 1 වැනිදා සිටම ජිනීවා වෙත පැමිණ සියලුම විදේශ තානාපතිවරුන් වෙත ලිපි යවමින් ඔවුන්ව හමුවීම සඳහා ක්‍රියා කර ඇතැයි හෙළි විය. ඊට සමගාමීව ඇමරිකාවේ පිහිටුවාගෙන ඇති ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ කණ්‌ඩායමක්‌ ද ජිනීවා වෙත පැමිණ කොටි තැපැල්පතක්‌ බෙදාහැර තිබේ.

ඊළාම් ආණ්‌ඩුවේ ස්‌විස්‌ නියෝජිතයා හඳුන්වන කොටි ත්‍රස්‌තයා විසින් සියලුම විදේශ තානාපතිවරුන් වෙත යවා ඇති මේ තැපැල්පත මගින් උතුරු නැගෙනහිර ජනමත විචාරණයක්‌ පවත්වන ලෙසත් වන්නි මෙහෙයුමට සම්බන්ධ අයට දඬුවම් කරන ලෙසත් ඉල්ලා තිබේ.

එසේම 2009 මැයි 18 වැනිදා ද්‍රවිඩයන් එක්‌සත් ජාතීන්ගේ ප්‍රතිඥව මත සුදුකොඩි ඔසවා යටත්වූ බවත් ශ්‍රී ලංකා හමුදාව ඔවුන්ව ඝාතනය කළ බවටත් එහි දක්‌වා ඇත.

මෙහිදී 2009 මැයි මස ශ්‍රී ලංකා හමුදාව පරාජය කළේ කොටි ත්‍රස්‌තවාදීන් නොව ද්‍රවිඩ සිවිල් වැසියන් බවට විදෙස්‌ තානාපති නිලධාරීන් වෙත පෙන්නුම් කිරීමට රුද්‍රකුමාරන්ගේ කණ්‌ඩායම උත්සාහ දරා තිබේ.

මෙලෙස 2011 වසරට වඩා 2012 මානව හිමිකම් සමුළුව වෙත ඩොලර් මිලියන ගණනක්‌ වැය කරමින් කොටි මෙහෙයුම් සැලසුම් වී ඇති අවස්‌ථාවේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි සේවාව ද සිය ශ්‍රී ලංකා විරෝධී 2 වැනි චිත්‍රපටය එළිදැක්‌වීමට කටයුතු යොදා ඇතැයි හෙළි විය.

මේ පසුබිම මැද චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වූ ජෝන් ස්‌නෝ නිව්යෝර්ක්‌ නුවර සිටි මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලෙයි අමතමින් 40,000 කට අධික සිවිල් වැසියන් මියගොස්‌ ඇති බවත් ඒ ගැන පියවරක්‌ ගන්නේදැයි විමසා ඇත.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ නවිපිල්ලේ තමාට තොරතුරු සපයන්නේ සිවිල් සංවිධාන (එන්.ජී.ඕ.) බවත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අමතක කළ නොහැකි යෑයි ප්‍රකාශ කර තිබේ.

ඇය මේ ප්‍රකාශය කර පැය 48 ක්‌ ගතවීමට මත්තෙන් ප්‍රංශයේ සිට කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් ජිනීවා වෙත පැමිණියේය.

කැනඩා රහස්‌ පොලිස්‌ වාර්තාව අනුව මොහු ඇතුළු කොටි ජාත්‍යන්තර ජාලයේ 27 ක්‌ 2003 දී වන්නියට පැමිණ ප්‍රභාකරන් හමුවී ඇත. මේ වාර්තාව මත ඔහු යුද අපරාධකරුවකු යෑයි සනාථ නොවන්නේද?

එහෙත් නවිපිල්ලෙයි කැනඩා රහස්‌ පොලිස්‌ වාර්තාව මත ක්‍රියාකර නැත. කිරුබාහරන් සහ ඔහුගේ බිරිය වූ ඩියඩි්‍ර මැක්‌ඩොනල් නමැත්තිය ද්‍රවිඩ මානව හිමිකම් සංවිධානය නමැති ව්‍යාජ සංවිධානයක්‌ පිහිටුවා ගෙන ජිනීවා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත සහභාගිවීම සඳහා අනුමැතිය ලබාගෙන ඇත.

කිරුබාහරන් මෙන්ම මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඝෝෂා කිරීම සඳහා මෙරටින් ස්‌විට්‌සර්ලන්තයට පැන ගොස්‌ දේශපාලන රැකවරණ පතා සිටින නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ද අවස්‌ථාව එනතුරු බලා සිටී.

මේ වාතාවරණය මැද ශ්‍රී ලංකාවේ සිට ජිනීවා එන හය දෙනාගේ එන්.ජී.ඕ. කණ්‌ඩායම ද ශ්‍රී ලංකාව යුද අපරාධවලට වරදකරුවන් කිරීමට උත්සාහ කරන බව වාර්තා විය. මේ අතර පසුගිය 22 වැනිදා කැනඩාවේ මානව හිමිකම් කමිටුව නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යෝජනා දෙකක්‌ යවා තිබේ.

මේ යෝජනා යවා ඇත්තේ කැනඩා ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ඇලෙක්‌ස්‌ නවි හා හිටපු මන්ත්‍රීවරයකු වන ඩේවිඩ් ගිල්කාර් යෑයි හෙළි විය. මෙම කැනඩා යෝජනාවල දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ කරන බවයි.

එහෙත් සැබෑ යථාර්ථය නම් ප්‍රභාකරන්ට ශ්‍රී ලංකාව තුළ ත්‍රස්‌තවාදය ගෙනයැමට අතිවිශාල අරමුදල් සංඛ්‍යාවක්‌ සැපයුවේ කැනඩාවේ කොටි ජාලය බවයි.

කැනඩා රහස්‌ පොලිසිය විසින් මේ රහස්‌ තොරතුරු හෙළි කළත් වත්මන් කැනඩා රජය විසින් ඊට අදාළ වාර්තා මානව හිමිකම් සමුළුව වෙත යොමු කර නැත.

මේ යෝජනා දෙක ඉදිරිපත් කිරීමට පෙර කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී කොටි ජාලය මෙහෙය වූ ව්‍යාජ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ක්‍රියා කිරීම සඳහා අරමුදල් එකතු කර ඇත.

ඒ සඳහා ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් දේවගැති සහ වත්සලාදේවි නමැති කොටි කාන්තාව වෙනුවෙන් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක්‌ පැවරූ අලිබේදුන් නමැති නීතිවේදියා ද සහභාගි වී ඇත.

මේ අතර දේශීය සතුරන් ද ජිනීවා මානව හිමිකම් සමුළුවට වැද ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌වී සිටී. පසුගිය අඟහරුවාදා එක්‌සත් ජාතීන්ට සම්බන්ධ අයි. ආර්. අයි. එµa. ප්‍රවෘත්ති සේවාව පුවතක්‌ විකාශනය කරමින් ජාතික සාම මණ්‌ඩලයේ ප්‍රධානියා යුද්ධය යටතේ දහස්‌ සංඛ්‍යාත සිරකරුවන් අතුරුදන් වී ඇති බව පවසන බව සඳහන් කර ඇත.

කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළේ මෙරට ප්‍රධාන සාම වෙළෙන්දා වූ ජාතික සාම මණ්‌ඩලයයි. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට දින හයකට පෙර මොහු මේ ප්‍රකාශය කිරීමේ පසුබිම සනාථ නොවන්නේද?

මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ මානව හිමිකම් සමුළුව වෙත ඇමරිකාවේ සිට දියත් වූ කුමන්ත්‍රණය හෙළි විය.

මේ කුමන්ත්‍රණය යටතේ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන 14 ක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලෙයි වෙත සංදේශයක්‌ යවමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ ආරම්භ කරන්නැයි ඉල්ලා ඇත.

මේ සංදේශයට මියන්මාරය සඳහා වූ ඇමරිකානු ව්‍යාපාරය නමැති සංවිධානය ද අත්සන් තැබීමෙන් සනාථ වන්නේ ඇමරිකාවේ ක්‍රමවේදයයි.

මේ ක්‍රියාමාර්ගවලින් ශ්‍රී ලංකාවට එරෙහි දෙස්‌ විදෙස්‌ සතුරන් ඒකරාශී වී සිටී.

ඔවුන් එදා සිටම වන්නි මෙහෙයුම නතර කිරීමට විවිධ උපක්‍රම දැරූවන් වේ. එය සනාථ වන්නේ පසුගිය පෙබරවාරි 7 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ නුවර දී මෙරට තවත් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු ශ්‍රී ලංකාවට එරෙහිව කළ ප්‍රකාශයයි.

මේ තත්ත්වය මැද දෙස්‌ විදෙස්‌ සතුරන්ගේ ඉලක්‌කය වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව යුද අපරාධකරු බවට ප්‍රකාශ කරගැනීම සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සාම සාධක බළකා උපදේශක තනතුරින් ඉවත් කර ගැනීමයි.

මේ සතියේ දිනෙක ශ්‍රී ලංකාව සමග දැඩි වෛරයෙන් පසුවන ඇමරිකාවේ මාටින් රසල් ලී නමැති—– කොටි හිතවාදී මාධ්‍යවේදියා ඇමරිකානු තානාපතිනි සුසන් රයිස්‌ හමුවී ශවේන්ද්‍ර සිල්වා ඉවත් කිරීමට ක්‍රියා නොකරන්නේ මන්ද යෑයි විමසා ඇත.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ සුසන් රයිස්‌ වාසනාවකට හෝ අවාසනාවකට ඔහු තානාපතිවරයකු වී සිටිනවා. ඔහුව පත් කර ඇත්තේ ආසියානු උපදේශක මණ්‌ඩලය යෑයි කියා සිටියාය.

එහෙත් ඊශ්‍රායලයට එරෙහිව සකස්‌ වූ එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටෝන් වාර්තාව වැරැදි බවත් ඊශ්‍රායලයට එරෙහි බොරු තොරතුරු ව්‍යාප්ත කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැනි ගෞරවනීය ආයතනයක්‌ වේදිකාවක්‌ ලෙස කටයුතු කිරීම ප්‍රකෝපකාරී ක්‍රියාවක්‌ බවත් සුසන් රයිස්‌ විසින් පවසා තිබිණි.

සුසන් රයිස්‌ ලවා ශවේන්ද්‍ර සිල්වාව ඉවත් කර ගැනීමට නොහැකිවූ විට මාටින් රසල් ලී එක්‌සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය නියෝජිත මාර්ක්‌ ග්‍රාන්ඩ් වෙත සමීප වී සිය අරමුණ ඉටුකර ගැනීමට උත්සාහ කර තිබේ. එහෙත් මාර්ක්‌ ග්‍රාන්ට්‌ පවසා ඇත්තේ ශවේන්ද්‍ර සිල්වා සාමසාධක උපදේශක මණ්‌ඩලයට පත් කිරීම ගැන එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට කිසිදු පියවරක්‌ ගැනීමට නොහැකි බවයි.

කෙසේ හෝ වේවා දැන් ශවේන්ද්‍ර සිල්වා ඉවත් කරගැනීමේ සැලැස්‌ම සාර්ථක වී තිබේ. උපදේශක කණ්‌ඩායමේ සෙසු සාමාජිකයන්ගේ අදහස්‌ විමසා බැලීමේදී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගිත්වය අයෝග්‍ය බව නිගමනය වී ඇතැයි ද වාර්තාවක සඳහන් විය. ඊට වඩා හේතු දැක්‌වීමක්‌ මෙතෙක්‌ සිදුවී නැත.

මේ අතර ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාවට එරෙහි මධ්‍යස්‌ථානයක්‌ ලෙස මෙහෙයවීමට ඇතැම් පාර්ශ්වයන් ක්‍රියා කිරීම ගැන ශ්‍රී ලංකා තානාපති තමාරා කුමානායගම් විසින් මානව හිමිකම් සමුළුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් වේ.

කීර්ති වර්ණකුලසූරිය
ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර සිට