Spread the News

Divaina





ආරක්‍ෂක කටයුතුවලටද මැදිහත් වෙයි

ජිනීවා නුවර සිදුවන්නේ කුමක්ද? 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව දැන් ආරම්භ වී ඇත. ඔස්ටි්‍රයානුවකුවූ වොල්කර් ටර්ක් නව මානව හිමිකම් කොමසාරිස් ලෙස පත්වී සිටියි. එහෙත් ඔහු අනුගමනය කරන්නේ නවිපිල්ලේ – සෙයිද් රාද් හුසේන් සහ මිචෙලි බැෂලේ අනුගමනය කළ ක්‍රියා පරිපාටියයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන පමණක් නොව දේශපාලනය, ආරක්‍ෂාව යන කටයුතුවලට ද ඍජුව මැදිහත් වී සිටී.

එහෙත් එදාසිටම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කොන්දක් නැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා ජිනීවා තර්ජනවලට මුහුණ පා සිටිති.

මානව හිමිකම්වලට කැපවූ මානව හිමිකම් කවුන්සිලය උතුරේ සහ නැඟෙනහිර හමුදා අඩුකරන ලෙස ද ආරක්‍ෂක වැය අඩුකරන ලෙස ද ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස ද හමුදාව ඉඩම් අත්පත්කර ගැනීම අත්හිටුවා හමුදාවේ පාලනය යටතේ ඇති ඉඩම් මුදාහරින ලෙස ද හමුදාවට කියා සිටී.

එහෙත් ජපානයේ ඔකිනාවාහි හමුදා කඳවුර සහ ජර්මනියේ හමුදා කඳවුරු කියුබාවේ ගුන්තනාමෝබේ හමුදා කඳවුර ඉවත් කරන ලෙස ඇමරිකාව රජයට පවසන්නේ නැත.

එසේම ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ඇමරිකාව, ජර්මනිය කැනඩාව, බි්‍රතාන්‍ය

මොන්ටිනිග්රෝ සහ මැසිඩෝනියාව වැනි රටවල් ද යුද අපරාධ කර තිබේ. එහෙත් කිසිදු මානව හිමිකම් කොමසාරිස්වරයෙක් එම රටවල් ජාත්‍යන්තර අධිකරණය ගෙනයා යුතු බව පැවසුවේ නැත.

එසේම හිටපු මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේගේ රටවු චිලී රාජ්‍ය බරපතළ ලෙස යුද අපරාධ කළත් ඇමරිකාව එහි නායකයාව සිටි පිනෝෂේ සහ ආර්ජන්ටිනාවේ නායකයාව සිටි ජනරාල් විදෙලාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයෑමට ඉඩදුන්නේ නැත.

මේ පසුබිම මැද මෙරට කිසිදු දේශපාලකයෙක් හෝ මාධ්‍ය ඇමරිකානු තානාපති ජුලි චුන්ගෙන් ඇමරිකාව සිදුකළ යුද අපරාධ වෙනුවෙන් වගවීම ඉටුකළේ ද යැයි ප්‍රශ්න කිරීමට ක්‍රියා නොකළ බව පැහැදිලිය.

ඇමරිකාව සිදුකළ යුද අපරාධ මෙසේය.

ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට පරමානු බෝම්බ දමා ලක්‍ෂ ගණනක් ඝාතනය කිරීමට – උතුරු වියට්නාමයේ ගම්මානවලට ඒජන්ට් ඔරේන්ජ් විෂ වායුව දමා සිවිල් ජනතාව මරා දැමීම, ගල්ෆ් යුද්ධයේදී ඉරාක සිවිල් වැසියන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් අතුරුදන් කිරීම, ඇෆ්ගනිස්තානයේදී යුද අපරාධ සිදුකිරීම, සර්බියාවේ සිවිල් ජනතාව ඝාතනය කිරීම.

මේ කිසිදු යුද අපරාධයක් ගැන ඇමරිකාව දඬුවම් ලැබුවේ නැත. එහෙත් ඉහත කී රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. එසේවුවත් උඹලා බිහිසුණු යුද අපරාධ සිදුකර තිබියදී අපට ඇඟිල්ල දික්කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාව එම රටවල නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් විමසන්නේ නැත.

මේ පසුබිම මැද මෙරට විරුද්ධ පක්‍ෂ කණ්ඩායමක් ද ජිනීවා පැමිණ ඇත. රවුෆ් හකීම් මුජබිර් රහ්මන්, නිමල්කා ප්‍රනාන්දු සහ පාර්ශ්ව ඊට ඇතුළත් වී සිටී.

තමන් ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතූ බවට ද ඔවුහු ජිනීවා සිට ජනතාවට පෙන්නුම් කර ඇත. එහෙත් වසර 15කට අධික කාලයක් ජිනීවා මානව හිමිකම් සමුළු ආවරණය කළ අපට එහි සිදුවන තක්කඩි ක්‍රියා දැකගැනීමට හැකි විය.

ඒ අප්‍රිකාවේ රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ මෙරටින් ජිනීවා යන පාර්ශ්ව මානව හිමිකම් සමුළුවේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශවලට වෙන්කර ඇති කාලය ප්‍රයෝජනයට ගැනීමයි. එහෙත් එම දේශපාලකයන් මෙරටට පැමිණ පවසන්නේ තමන් ජිනීවා සමුළුව ඇමතූ බවයි. ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු පිහිටුවා ගෙන ඇති සංවිධාන ඊට හොඳ නිදසුනකි. මුසි වහබ්දීන් නමින් හඳුන්වන මුස්ලිම් ජාතිකයාගේ යටගියාව ජිනීවා නුවර ජනතාව දනී. එළිලන් නැමැති මිනීමරු කොටි හමුදා නායකයාගේ බිරිය ආනන්ද සසිතරන් ජිනීවා සමුළුව ඇමතුවේ මැරිටියානු රාජ්‍ය නොවන සංවිධානයක සහයෙනි.

මුසි වහබ්දීන් පසුගිය අඟහරුවාදා සූම් තාක්‍ෂණය ඔස්සේ ජිනීවා නුවරදී සම්මන්ත්‍රණයක් පැවැත්වූයේය.

ඔහුගේ සංවිධානය ජිනීවා මානව හිමිකම් සංවිධානය යැයි හඳුන්වා ඇත. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක වන අවස්ථාවේ ජිනීවා මානව හිමිකම් සංවිධානය යනුවෙන් හඳුන්වන සංවිධානය තක්කඩි සංවිධානයකි. මෙහිදී මෙවන් සංවිධානවලට අරමුදල් ලැබෙන අයුරු දැන් හෙළිවී ඇත. මෙම පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ පිටු 16 ක වාර්තාව මානව හිමිකම් කවුන්සිලය කෙටුම්පත් කළ වාර්තාවක් නොව මෙරට රාජ්‍ය නොවන සංවිධාන සැපයූ අමුද්‍රව්‍ය මත සකස්වූවක් බව සනාථ වේ.

එසේම ජිනීවාහිදී සිංහලයන් යැයි හඳුන්වාගත් පිරිසක් ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන්නැයි යනුවෙන් විරෝධතාවයක්ද පවත්වා ඇත.

නිවාස ගිනි තැබීම් ජනපති මැඳුරට කඩාවැදී භාණ්ඩ සොරකම් කිරීම බස් රථ සහ මෝටර් රථවලට ගිනි තබා වැනසීම ත්‍රස්ත ක්‍රියා නොවේද?

ත්‍රස්ත මර්දන පනත අකුලා ගනු යැයි හඬ නඟන පාර්ශ්ව ස්විස් ත්‍රස්ත මර්දන පනත අහෝසි කරනු යැයි කෑගසන්නේ නැත්තේ මන්ද?

ස්විස් පනතට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ද ප්‍රකාශ නිකුත් කළ අතර ස්විස් රජය එම පනත හකුළා ගත්තේ නැත. එය බරපතළ පනතක් බව මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශ කර තිබුණි.

මේ අතර මානව හිමිකම් කවුන්සිලය බටහිර රූකඩයක් බව සනාථ වේ.

බි්‍රතාන්‍ය රජය 2000 දී ත්‍රස්ත මර්දන පනතක් සම්මත කළ අතර මේ දක්වාම එය අහෝසි කර නැත.

එසේම ඇමරිකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නමුත් මානව හිමිකම් කවුන්සිලය එම සම්මුතියට අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවට කියා සිටී.

ඇමරිකානු සෙබළුන්ව ජාත්‍යන්තර අධිකරණය විසින් නඩු පවරන බව පැවසූවිට ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ ජාත්‍යන්තර අධිකරණයේ නඩුකාරයන්ගේ වත්කම් තහනම් කර බවයි.

එහෙත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට එවන් අභියෝගයක් කර නැත. මේ පසුබිම මැද සිම්බාබ්වේ රාජ්‍ය මානව හිමිකම් කවුන්සිලයට චෝදනා කරමින් ත්‍රස්තවාදය මර්දනය කළ

ශ්‍රී ලංකාවට නැඟී සිටීමට ඉඩදෙන ලෙස ද මානව හිමිකම් ප්‍රශ්නයට දේශපාලනය භාවිත කිරීමෙන් වළකින ලෙස ද කියා සිටියේය.

නයිජීරියාව ද එම ප්‍රකාශයට එකඟ විය.

මේ ප්‍රකාශවලින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා දේශපාලනීකරණය වී ඇති බවයි.

ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තර්ජනය කර ඇත. පසුගිය දිනෙක යුද අපරාධ ගැන සාක්ෂි සෙවීමට මානව හිමිකම් කවුන්සිලයෙන් පරීක්‍ෂණ කණ්ඩායමක් එවීමට ගත් උත්සාහය ද ව්‍යාර්ථ විය. එසේම නව ජිනීවා යෝජනාව වූ 46/1 ද රජය ප්‍රතික්‍ෂේප කර ඇත. මේ අතර අලුත් සාක්කිකරුවන් ද එළියට පැමිණ ඇත. ජිනීවා වෙත පැමිණි හිටපු කොටි පිරිසක් ජෝශප් පරරාජසිංහම්, නඩරාජ රවිරාජ සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන ගැන තොරතුරු හෙළිකර තිබේ. මොවුන් පිල්ලේයාන් සහ කරුණාගේ හිතවතුන් බවද පවසා තිබේ. එහෙත් වසර ගණනකට පසු මොවුන් සාක්කිදීමට ඉදිරිපත් වූයේ මන්ද යන්න බරපතළ සැකයට කරුණකි.

මේ පසුබිම මැද රුසියාව, චීනය, ඉරානය, සිම්බාබ්බේ සහ නයිජීරියාව යන රටවල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දේශපාලන සංවිධානයක් බවට පත්වී ඇතැයි චෝදනා නඟා ඇත.

■ කීර්ති වර්ණකුලසූරිය

රුසියාව, චීනය සහ ඉරානය ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬ නඟද්දී ඉන්දීය තානාපති පාණ්ඩේ 13 වන සංශෝධනය දියයුතු යැයි ඉල්ලීම.