Spread the News

ජීනීවා මානව හිමිකම් සමුළුව
සමහර රටවල් කරන්නේ වෙන වැඩ
– ඇමැති මහින්ද සමරසිංහ

තුෂාරී කළුබෝවිල source:

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම උදෙසා බොහෝ පිරිසක්‌ උනන්දුවන නමුත්, මානව හිමිකම් සමුළුව පාවිච්චි කරමින් ඇතැම් රටවල් සහ සංවිධාන ඔවුන්ගේ වෙනත් න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිsරීමට උත්සාහ දරන බව මානව හිමිකම් පිළිබඳ රජයේ නියෝජිත, ඇමැති මහින්ද සමරසිංහ මහතා ජිනීවා සිට දුරකථන මාර්ග ඔස්‌සේ “දිවයින ඉරිදා සංග්‍රහයට” පැවසීය.

පසුගිය 27 වැනිදා මානව හිමිකම් සමුළුව ඇමතීමෙන් පසු වෙනත් රටවල නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කවරේදැයි “දිවයින” කළ විමසීමකදී ඇමැතිවරයා එසේ පැවසුවේය.

එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ සහ ඊට සහාය දක්‌වන විවිධ කණ්‌ඩායම් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන බවත්, ඔවුන් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ වැරැදි චිත්‍රයක්‌ මවා පෑමට නොයෙකුත් උපක්‍රම යොදන බවත් තමා මානව හිමිකම් සමුළුව හමුවේ ප්‍රකාශ කළ බව ද ඇමැතිවරයා කීවේය.

මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති මානව හිමිකම් ආරක්‍ෂා කිරීම හා මානව හිමිකම් ප්‍රවර්ධන කටයුතු පිළිබඳව ජාත්‍යන්තරය හමුවේ ප්‍රශංසා කරන ලෙස තමා මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා සිටි බවත් ඇමැතිවරයා කීවේය.

එසේම මානව හිමිකම් ආරක්‍ෂා කිරීම් සම්බන්ධයෙන් තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග නිසි පරිදි ක්‍රියාවට නැංවීම උදෙසා ඉඩකඩ සලසන ලෙස තමා සමුළුවෙන් ඉල්ලා සිටියේ යෑයි ද මහින්ද සමරසිංහ ඇමැතිවරයා සඳහන් කළේය.

එම ඉල්ලීම් ඉතාම සාධාරණ ඉල්ලීම් යෑයි පැවසූ ඇමැතිවරයා රටවල් ගණනාවක නියෝජිතයන් එය අනුමත කරමින් තමාට ප්‍රශංසා කළ බවද කීවේය.

සමුළුව හමුවේ ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දීර්ඝ කතාවට ද රටවල් රැසක නියෝජිතයන්ගෙන් ප්‍රශංසා හිමිවූවායෑයි ද ඇමැතිවරයා සඳහන් කළේය.