Spread the News

ඥානසාර හාමුදුරුවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

* තව්හිඩ් සංවිධානය වගේම බොදුබල සේනාවත් තහනම් කළ යුතුයි

source:

අසාද් සාලි සමග දි අයිලන්ඩ් පත්‍රයේ
සී.ඒ.චන්ද්‍රප්‍රේම කළ සාකච්ඡාවකි

ප්‍රශ්නය – ඔබ කොළඹ ජීවත් වන කෙනෙක්‌. මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්‌. අළුත්ගමට ඔබේ තිබෙන සම්බන්ධය මොකක්‌ද?

පිළිතුර – අළුත්ගම පොලිසිය වට කළ 2000 ක පිරිසක්‌ කිසියම් සිද්ධියකට සම්බන්ධ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස ඝෝෂා කරන බව මට පසුගිය සතියක, බ්‍රහස්‌පතින්දා දවසක දැන ගන්නට ලැබුණා. ඒ තිදෙනා පොලිසියට භාර දෙන ලෙස මම ඒ පිරිසෙන් ඉල්ලා සිටියා. පසුදින එනම් සිකුරාදා මම අළුත්ගම ගියා. කිසියම් පිරිසක්‌ විසින් ඊට පෙර දින කඩ කිහිපයකට අලාභහානි කර තිබුණා. අනතුරුව මට දැන ගන්නට ලැබුණා ඊළඟ ඉරිදා දවසේ අළුත්ගමදී රැස්‌වීමක්‌ පැවැත්වෙන බව. මේ රැස්‌වීම තහනම් කරමින් උසාවි නියෝගයක්‌ ගන්නා ලෙස මා පොලිසියට කිව්වා. ඉරිදා රැස්‌වීම තහනම් නොකළොත් මුළු ප්‍රදේශයම විනාශ වීමට ඉඩ තිබෙන බව නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායකට එවිට මම පෙන්වා දුන්නා.

ප්‍රශ්නය – පොසොන් පොහොය දවසේ භික්‍ෂුන් වහන්සේ නමක්‌ ගමන් කරමින් සිටි ත්‍රිරෝද රියක රියෑදුරා සහ මුස්‌ලිම් තරුණයන් තිදෙනකු සමග බහින් බස්‌වීමක්‌ ඇති වී එම තරුණයන් රියෑදුරාට පහර දුන් බව වාර්තා වුණා. එම පහරදීම සිදු නොවූ බව කවුරුවත් කියා නැහැ……

පිළිතුර – ඔව්·.. ඔහුට පහර දුන්නා තමයි..

ප්‍රශ්නය – මෙතැන තිබෙන අවුල තමයි රියෑදුරාට පමණක්‌ නොව භික්‍ෂූන්ටත් පහර දීම, භික්‍ෂුව තල්ලු කර පහර දෙකක්‌ ගසා තිබෙනවා. මහ පාරේ මෝටර් බයිසිකලය පාක්‌ කරගෙන සිටි මුස්‌ලිම් මිනිසෙක්‌ නිසා ඇති වූ තදබදය මේ සියල්ලටම හේතු වී තිබෙනවා. සවුදි අරාබියේ සිටින ඔහු මෙහි පැමිණ තිබෙන්නේ සතියකට ඉස්‌සරයි. පොලිසියේ සිද්ධියට මුල්වූ තරුණයන් තිදෙනා සහ පාරේ බයික්‌ එක පාක්‌ කරගෙන සිටි පුද්ගලයා තව්හිඩ් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් වීමට ඉඩ තිබෙනවා.

පිළිතුර – මා ඔවුන්ගේ පවුල්වල අයගෙන් මේ ගැන ප්‍රශ්න කර බැලුවා. එහෙත් ඒ හතර දෙනා (තරුණයන් තිදෙනා සහ මෝටර් සයිකල් සිද්ධියේ පුද්ගලයා) ඒ සංවිධානයට සම්බන්ධ නැහැ.

ප්‍රශ්නය – අළුත්ගම පැත්තේ තව්හිඩ් සහ සුෆි යන කණ්‌ඩායම් දෙක අතර ගැටුම් තිබෙනවා.

පිළිතුර – මෙය රට පුරාම සිදුවනවා. හැබැයි ඒවා ඉතාම සුළු සිද්ධීන්.

ප්‍රශ්නය – එහෙත් අන්තවාදී තව්හිඩ් කල්ලිය සහ සාම්ප්‍රදායික සුෆි මුස්‌ලිම් කණ්‌ඩායම් අතර තදබල ගැටුම් රැසක්‌ කාත්තන්කුඩිය සහ බේරුවල යන ප්‍රදේශවල ඇතිවුණා. බේරුවල පිහිටි තව්හිඩ් පල්ලියක්‌ ගිනි තබා තිබුණා. දෙදෙනෙක්‌ මරා දැමුවා. ඉන් එක්‌ අයෙක්‌ කපා කොටා මරණයට පත් කෙරුණා. අනෙක්‌ තැනැත්තා පල්ලියේ වැසිකිළිය තුළ ඝාතනය කර තිබුණා.

පිළිතුර – එම සිද්ධිය සහ අළුත්ගම සිද්ධිය අතර වෙනස්‌කම් තිබෙනවා.

ප්‍රශ්නය – ඒත් ප්‍රශ්නය මේකයි. මේ රට තුළ රැඩිකල් ඉස්‌ලාමීය ප්‍රවණතාවක්‌ ඇති වෙමින් තිබෙනවාද? මුස්‌ලිම් නොවන ප්‍රජාව තබා මුස්‌ලිම් ප්‍රජාවටත් නිදහසේ ඉන්නට ඔවුන් ඉඩ හරින්නේ නැහැ නොවේද?

පිළිතුර – ඔය කියන විදියේ කල්ලි එකක්‌ දෙකක්‌ මුස්‌ලිම් ප්‍රජාව අතර සිටිනවා. හැබැයි එම කල්ලි ඉතාම පුංචියි. අන්තවාදය, මුස්‌ලිම් වේවා බෞද්ධ වේවා, වහාම සමාජයෙන් තුරන් කළ යුතු බව මා හැම විටම කියා තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ ජාතීන් අතර සහජීවනයයි. දැනට සිටින මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ නායකත්වයට සමහර මුස්‌ලිම් අන්තවාදීන් කැමැති නැහැ. දැනට පාර්ලිමේන්තුවේ සිටින මුස්‌ලිම් නායකයන් මළමිනී බව කියමින් කතාවක්‌ පවත්වන ලංකා තව්හිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයකු ගැන වීඩියෝ දර්ශන කිහිපයක්‌ මා ළඟ තිබෙනවා. (එම වීඩියෝව ප්‍රතිවාදනය කර පෙන්වයි. මෙම මළ මිනී වෙනුවට සැබෑ මුස්‌ලිම් නියෝජිතයන් ළඟදීම එන බවත් එම සාමාජිකයා වීඩියෝව මගින් කියනු පෙනෙයි) ඉතින් සමහරුන්ට එවැනි සිහින තිබෙනවා. ඒත් එම සිහින සැබෑ වන්නෙ නැහැ. මොකද, මිනිසුන් ඔවුන්ට ඡන්දය දෙන්නෙ නැහැ….

ප්‍රශ්නය – බොදුබල සේනාව මුස්‌ලිම් ජනයා සහ සිංහල ප්‍රජාව අතර ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරන බව පෙනෙනවා. ඔවුන් අළුත්ගම සිද්ධියෙන් ප්‍රයෝජන ගත්තා. කලින් නොතිබුණු ආකාරයේ අන්තවාදයක්‌ ඉතා පැහැදිලි රැල්ලක්‌ ලෙස පැතිර යමින් තිබෙනවා. කාත්තන්කුඩියේදී මුස්‌ලිම් අන්තවාදීන් විසින් මුස්‌ලිම් ගෙවල් 117 ක්‌ විනාශ කර දමනු ලැබුවා. ඒ ගෙවල්වලින් පලාගිය අයට ආපසු එන්නට ඉඩදී නැහැ. මුල් පදිංචිකරුවන් තම වාසස්‌ථානවලට යන විට අවිගත් පුද්ගලයන් පාරේ සිට බාධා කර තිබෙනවා. කාත්තන්කුඩියේ සුෆි පල්ලියක්‌ බුල්ඩෝසර් කළා. පල්ලියේ කොත බිමට පෙරළුවා. පල්ලියේ තැන්පත් කර තිබූ සුෆs ආධ්‍යාත්මික නායකයකුගේ මෘත දේහය පිටතට ගෙන මහපාරට දමා පුළුස්‌සා තිබුණා.

පිළිතුර – අළුත්ගම සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා අප ගිය බ්‍රහස්‌පතින්දා හර්තාලයක්‌ සංවිධානය කර තිබුණා. සියලු දෙනා වැඩ නවත්වා දවසක්‌ සිටීමයි එහි අරමුණ. මුස්‌ලිම් ජනයා ඔවුන්ගේ කඩ වසා, කාර්යාලවලට නොගොස්‌ පාසලට දරුවන් නොයවා ගෙවල් තුළට වී සිටීමයි එමගින් සිදු වූයේ. සිකුරාදා දවල් පල්ලියට ගොස්‌ යාච්ඤා කිරීමෙන් පසු කිසිදු විරෝධතාවක නොයෙදීමට අප අදහස්‌ කළා. එයට හේතුව එමගින් කිසියම් ගැටුමක්‌ ඇති වීමට ඉඩ තිබීමයි. එහෙත් දහවල් යාච්ඤාවෙන් පසු මාලිගාවත්තේ සිට කොටුව දුම්රියපළ දක්‌වා පා ගමනින් යැමට තව්හිඩ් ජමාත් සංවිධානය කටයුතු යොදා තිබුණා. ඒ පෙළපාලියට අවසර නොදෙන ලෙස ඉල්ලමින් මා බැසිල් රාජපක්‍ෂව දැනුවත් කළා. එයට හේතුව ශ්‍රී ලංකා තව්හිඩ් ජමාත් සංවිධානය අන්තවාදී අරමුණක්‌ සහිතව එම පෙළපාලිය සූදානම් කිරීමයි. එකෙක්‌ ගලක්‌ ගැහුවානම් එමගින් මුළු රටම ගිනි ගැනීමට ඉඩ තිබුණා. ඉතින් අප මුස්‌ලිම් අන්තවාදයට සහාය නොදෙන බව ඔබට පෙනෙනවා ඇති. අපට ප්‍රශ්නයක්‌ තිබෙනවා, බොදුබල සේනාව සහ නෝර්වේ රජය අතර තිබෙන සම්බන්ධය ගැන පරීක්‍ෂණ කිරීමට රජය පියවර නොගන්නේ ඇයි? මා හිතන්නේ මහින්ද රාජපක්‍ෂ සහ බොදුබල සේනාව අතර ගිවිසුමක්‌ තිබෙන බවයි. බොදුබල සේනාවේ ක්‍රියාකාරකම් තුළින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි වනු ඇතැයි ජනාධිපතිතුමා කල්පනා කරනවා ඇති.

ප්‍රශ්නය – සිය ජීවිත කාලය තුළ කිසිදු දක්‍ෂතාවක්‌ පෙන්වා නැති, කිසිදු ජයග්‍රහණයක්‌ අත්පත් කරගෙන නැති, පහත් භාෂාවෙන් කතා කරන, දාමරිකකම් කරන භික්‍ෂුවක්‌ මහින්ද රාජපක්‍ෂගේ ඡන්ද ගොඩ වැඩිකර දෙන්නේ කොහොමද? අද මේ භික්‍ෂුව ජනාධිපතිතුමා හඳුන්වන්නේ තනතුරක්‌ හෝ නමින් නොව “මහ උන්දැ” ලෙසටයි. ගෝඨාභය හෝ බැසිල් දෙදෙනාට නම් නොකියා මහ උන්දැගෙ පරපුර ලෙස හැඳින්වීම එම භික්‍ෂුව සිදු කරනවා. සිංහල බෞද්ධයන්ට නායකයකු නැති බව මේ භික්‍ෂුව කියනවා. අධිකරණ ඇමැති ලෙස මුස්‌ලිම් මිනිසකු පත්කර තිබෙන බවත් මේ භික්‍ෂුව කියනවා. ඒ අනුව “මහින්දට මොළයක්‌ තිබේදැයි ඔහු සැක පහළ කරනවා. ජනාධිපතිතුමා ගැන එවැනි මට්‌ටමකින් කතා කළ කෙනෙක්‌ කොහොමද ආණ්‌ඩුවට වැඩි ඡන්ද අරගෙන දෙන්නේ.?

පිළිතුර – ජනාධිපතිවරණය පැමිණි විට ඥනසාර හාමුදුරුවන් පොදු අපේක්‍ෂකයා දිහා බලලා ජනතාවට මෙහෙම කියාවි. “බලන්න මේ පොදු අපේක්‍ෂකයා දිහා. කාටද පුළුවන් මෙයාව විශ්වාස කරන්න. අපි දන්න යකාටම ඡන්දය දෙමු….”

ප්‍රශ්නය – මේ ප්‍රචණ්‌ඩත්වය සහ කලබැගෑනිය එවැනි අරමුණක්‌ වෙනුවෙන් වැදගත් වන බව ඔබ හිතනවද? ඔබ බොදු බල සේනාවට සහ ආණ්‌ඩුවට විරුද්ධ නිසා ඔබේ එම දේශපාලන හතුරන් අතර සම්බන්ධයක්‌ ගොඩනංවන්නට ඔබ උත්සාහ කරනවා.

පිළිතුර – නැහැ. ආණ්‌ඩුව නිවැරැදි දෙයක්‌ කළ හැම විටකම මා ඒ බව පෙන්වා දී තිබෙනවා. අළුත්ගම සිද්ධියෙන් පසුදින මා බැසිල් රාජපක්‍ෂගෙන් ඉල්ලීමක්‌ කළා. ඒ STF සහ පොලිසිය ප්‍රදේශයෙන් ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව යොදවන ලෙසයි. අපට යුද හමුදාව කෙරෙහි උපරිම විශ්වාසය තිබෙන බව මා ඔහුට කීවා. ඒ කාරණය සඳහා අපි බැසිල්ව හමු වූයේ සඳුදා සවස 5.30 ට. හරියටම පැයක්‌ තුළ මගේ ඉල්ලීම ඉටුවූ අතර පොලිසිය සහ STF වෙනුවට හමුදාව අළුත්ගමට ආවා. යුද හමුදාව එහි පැමිණි දින පටන් අද දක්‌වාත් එම ප්‍රදේශයේ කිසිදු අවුලක්‌ නැහැ. මා ඒ ගැන ස්‌තුති කරමින් බැසිල් රාජපක්‍ෂට ලියුමක්‌ පවා යෑවුවා. ඒත් මහින්ද රාජපක්‍ෂ පෙන්වන්නට උත්සාහ කරන්නේ තමා මුස්‌ලිම් ප්‍රජාවට විරුද්ධ බවයි.

ප්‍රශ්නය – ඒ විරෝධයෙන් ඡන්ද දිනන්න පුළුවන්ද?

පිළිතුර – ඔව්. ඒ සිංහල ඡන්දවල උදව්වෙනුයි.

ප්‍රශ්නය – ජනප්‍රිය නායකයෙක්‌ සහ සිංහල ජනතාව අතර වීරයෙක්‌ වන මහින්ද රාජපක්‍ෂ තමා වෙනුවෙන් පෙනී සිටීමට බොදුබල සේනාව වැනි සංවිධානයක්‌ යොදවනු ඇතැයි ඔබ හිතනවාද? තමන් එම සංවිධානය සමග සම්බන්ධ නැති බව ඔහු කියා තිබෙනවා.

පිළිතුර – එහෙනම් ඔහු බොදුබල සේනාවට විරුද්ධව ක්‍රියාමාර්ගයක්‌ නොගන්නේ ඇයි? ඥනසාර හාමුදුරුවන් මුලදීම අත්අඩංගුවට ගත්තා නම් ඔහු කවුද කියලාවත් දැනගන්නට මිනිසුන්ට ඉඩ නොලැබෙන්නට තිබුණා. මේ ව්‍යාපාරය මුලදීම නතර කළානම් මහින්දට මුස්‌ලිම් ඡන්ද රැසක්‌ම ලැබෙනවා. අද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හරහා එක මුස්‌ලිම් නියෝජිතයකුවත් පළාත් සභාවලට ගන්නෙ නැහැ. හේතුව මහින්ද බොදුබල සේනාවට කැමති වීමත්, බොදුබල සේනාව මුස්‌ලිම්වරුන්ට අකැමැති වීමත් යන කාරණයයි.

ප්‍රශ්නය – බොදුබල සේනාව කියන්නෙ වෛරය පතුරුවන ප්‍රචණ්‌ඩ පිරිසක්‌. තව්හිඩ් ජමාත් සංවිධානය කරන්නෙත් එයමයි.

පිළිතුර – තව්හිඩ් නාමය යටතේ සංවිධාන 8 ක්‌ තිබෙනවා. ඒත් මේ ප්‍රශ්නයේදී එයින් 7 ක්‌ම නිවේදනයක්‌වත් නිකුත් කළේ නැහැ. ඒත් එක පුද්ගලයෙක්‌ පමණක්‌ බුදුන් වහන්සේ ගැන නරකට කතා කළා. මේ පුද්ගලයාට දඬුවම් කළ යුතු බව කියූ එකම මුස්‌ලිම් පුද්ගලයා මමයි. අපි උසාවියට නීතිඥයකු යවා ඒ පුද්ගලයා කියූ දෙය වැරදි බව ප්‍රකාශ කළා. එසේම එම පුද්ගලයා බෞද්ධ ප්‍රජාවට කනගාටුව පළකළ යුතු බවත් ඔහු මහා නායක ස්‌වාමීන්වහන්සේලා ඉදිරියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් අප ප්‍රකාශ කළා. තව්හිඩ් සංවිධානය වගේම බොදුබල සේනාවත් තහනම් කළ යුතුයි.

සිංහල පෙළගැස්‌ම අනුර සොලමන්ස්‌