Spread the News

ඩයස්පෝරාවේ අලුත් මිත්‍රයෝ

 source:

ඈත සිටින හතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් පරෙස්සම් විය යුතු යැයි පරණ කතාවක් තිබේ. සමාජ භාවිතයන් සමඟ නිරීක්ෂණය කරන විට ඒ කතාව සහතික ඇත්ත ය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන අත්දැකීම් නිරීක්ෂණය කරන්නකුට ඉහත අදහසෙහි නිරවද්‍යභාවය ඉතා හොඳින් වැටහී යනු ඇත. කොටින් ගේ පරාජයෙන් පසුවත්; බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන අය තව ම අප අතර සිටිති. මානව හිමිකම් චෝදනා එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකාව ට එරෙහි ව ගතු කියන අය ද තව ම අප අතර සිටිති. මේ අය කුමන වර්ගයකට අයත් දැ’යි හඳුනා ගැනීම ජනතාවට භාර කරමු.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ද “කිලිං ෆීල්ඩ්” නම් චිත්‍රපටය ගැන අදහසක් ප්‍රකාශ කර තිබේ. එතුමිය ගේ පුත් විමුක්ති බණ්ඩාරනායක කුමාරතුංග මහතා ඉහත කී චිත්‍රපටය නරඹා බලවත් කනගාටුවට පත් වූ බව චන්ද්‍රිකා මැතිනිය කියා ඇත. “කිලිං ෆීල්ඩ්” චිත්‍රපටය නැරඹූ චන්ද්‍රිකා මැතිනිය ද කම්පනයට පත් වන්නට ඇත. එහෙත් මේ චිත්‍රපටයේ ව්‍යාජත්වය හා බොරුව ගැන හිටපු ජනාධිපතිනිය කතා කර නැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කළ චන්ද්‍රිකා මැතිනිය වීම වඩා පරෙස්සමෙන් අදහස් ප්‍රකාශ කරන්නේ නම් වැදගත් යැයි අපට සිතේ. එතුමිය ගේ ප්‍රකාශය කොටි හිතවාදී කල්ලිවලට ඉතා හොඳින් තම අරමුණු සඳහා භාවිත කළ හැකි ය.

මේ රටේ රාජ්‍ය නායකයන් ගණනාවකට කළ නො හැකි වූ යුද්ධයක් හා ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂ මහතා සාර්ථක ව ඉටු කළේ ය. එහි ප්‍රතිඵල දෙකෝටියක් වූ ජනතාව අද නිදහසේ භුක්ති විඳිති. මේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා රණවිරුවෝ දහස් ගණනක් සිය ජීවිත පූජා කළහ. තවත් දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත් වූහ. ඔවුන් ගේ කැපවීම හා සාර්ථක නායකත්වය නො වන්නට ශ්‍රී ලංකාව තවත් සුඩානයක් බවට පත් වන්නට ඉඩ තිබිණි. එහෙත් අද නිදහස භුක්ති විඳින බොහෝ දෙනාට ඉතිහාසය අමතක බව පෙනෙන්නට තිබේ. එබඳු අය කොටි හිතවාදී කල්ලිවලට නියමින් හා අනියමින් සහාය පළ කරන්නට පුළුවන.

චැනල් “ෆෝ” නාලිකාව ඔවුන් ගේ “කිලිං ෆීල්ඩ්ස්” නම් චිත්‍රපටයේ දෙවන කොටස ද මුදා හැර තිබේ. ඒ පසුගිය විසිහත් වන දා ය. දෙවන කොටසින් උත්සාහ කරනුයේ මෙරට ආරක්ෂක අංශවල ප්‍රධානීන් මිනී මරු මානසිකත්වයකින් කටයුතු කළ පිරිසක ලෙස හඳුන්වා දීමට ය. ආරක්ෂක ;ල්කම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා හමුදා ප්‍රධානීන් වෙත චෝදනා එල්ල කිරීමට උත්සාහ දරා තිබේ. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ප්‍රධාන ඉලක්කයක් වී තිබේ. ශ්‍රී ලංකාවේ හමුදාවෙන් පැන ගිය දෙදෙනකු යොදාගෙන එම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇතැ’යි ව්‍යාජ හඳුන්වාදීමක්ද ඔව්හු කරති.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා චැනල් “ෆෝ” ආයතනයටත් ඉහත චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්‍ෂ යනා දී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ටත් කට උත්තර නැති වෙන්නට පිළිතුරු ලබා දී වැඩි කාලයක් ගෙවී ගියේ නැත.

ශවේන්ද්‍ර සිල්වා මහතා විවාදයක් පවත්වමු යැයි අභියෝගයක් ද කළේ ය. දැන් චැනල් ෆෝ ආයතනය වෙනත් ආකාරයකින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට මඩ ගසන්නට පටන්ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් වුව මිය ගිය ත්‍රස්තයන්ගේ අවතාර තව ම බටහිර රටවල දී දැකිය හැකි ය. චැනල් “ෆෝ” නිෂ්පාදනවලින් පෙනී යන සත්‍යය එය යි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා චැනල් “ෆෝ” නිෂ්පාදන ප්‍රතික්ෂේප කරමින් එහි ව්‍යාජය පැහැදිලි කර දී තිබේ. මේ අතර මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගේ රාජකාරී කටයුතුවලට පවා බාධා වන අයුරින් චැනල් “ෆෝ” නිෂ්පාදක කණ්ඩායමක් ප්‍රශ්න කිරීම්වලට යොමු වූහ. ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්න ද තමන්ගේ අරමුණට අවශ්‍ය කොටස පමණක් උපුටා දක්වමින් සම්මුඛ සාකච්ඡාව විකාශය කර තිබේ. කොටි සංවිධානයේ අරමුණු වලට පක්ෂපාතී ලෙසත් ශ්‍රී ලංකාවේ නිදහසට හා ස්වෛරීත්වයට බාධා වන ලෙසත් චැනල් “ෆෝ” නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර ඇත. මේ කුමන මාධ්‍ය සදාචාරයක් දැ’යි ප්‍රශ්න කළ යුතු ව තිබේ.

දැනට හෙළි වී ඇති සාක්ෂ්‍ය වලට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය විදේශීය ශ්‍රමිකයන්ගෙන් හා විවිධ ආයතන වෙතින් එකතු කර ගත් විශාල ධනයක් දෙමළ ඩයස්පෝරාව සතු ව පවතී. මේ මුදල් චැනල් “ෆෝ” වැනි ආයතනවලට ලබා දෙන බව ඕනෑම මෝඩයකුට තේරුම් ගත හැකි ය. එම ආයතනවලට පමණක් නොව ඔවුනට සහාය දක්වන ශ්‍රී ලංකාවේ මිනිසුනට ද දෙමළ ඩයස්පෝරාව වෙතින් නොයෙක් සහන හා වරප්‍රසාද ලැබෙනු ඇත. එය තේරුම් ගැනීමට ද අමුතු ප්‍රඥාවක් අවශ්‍ය නැත. ප්‍රභාකරන් ජීවත් ව සිටි කාලයේ තම කාඩරයනට කියා සිටියේ දකුණේ නිලධාරීන් හමුවීමට යන විට මුදල් හා ස්ත්‍රීන් රැගෙන යන්න කියා ය. ඔවුන් ගේ මිම්ම ඉතා නිවැරැදි ය.

ඉහත සිදුවීම්වලින් පැහැදිලි වනුයේ මේ සමාජයේ යටි තලය ක්‍රියාත්මක වන ආකාරය යි. රට පාවාදීමට, ජාතිය පාවාදීමට අප අතර ම මිනිස්සු සිටිති. මොවුන් කොතරම් සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වේද යත්; ළඟින් ගියහොත් අපේ ඇසක් අහිමි වන්නට ද ඉඩ තිබේ.