ත්‍රස්‌තවාදයේ අඳුරු අහසින් නැඟුණු
සන්ධ්‍යා තාරකාවිය
කෑලි කැපිය හැකි ඝන අඳුර මුළු පළාතම ගිලගෙන තිබිණි. ඒ අඳුර සමග පොර බදා හෙම්බත් වූ කලෙක මෙන් අතරින් පතර පිහිටි නිවෙස්‌වල පහන් මළානික එළියක් විහිදුවාලූයේය. දහවල් කාලයේ වට ගිනි අව් රශ්මියෙන් රත් වූ පොළව සිය දාහය පිට කරමින් සිටියේ හිත් පිත් නැති විලසිනි. සුළං පොදකුදු නොහමා අවට වූ රූස්‌ස ගස්‌වැල් සහ අඳුර සමග නිසසලව තිබිණි.
මේ පොළොන්නරුව බොරවැව ගම්මානයේ මීට වසර විසිදෙකකට පමණ පෙර එක් රාත්‍රියකි.
ගොවිතැන් බතින් හෝ කුලියක් මලියක් කරමින් හෝ මෙගම් වැසියන් ගත කළේ ඉතාමක් කේඬෑරි, අල්පේච්ඡ ජීවිතයකි. ඇතැම් දරුවන් පාසල් කරා පිය මැන්නේ නිරුවත් පා සමගිනි. සෙරෙප්පු කබලක් හෝ ඔවුන්ට නොවීය. ඒ රාත්‍රියේ මළානික පහන් එළියේ පිහිටෙන් පසුදා පාසල් යැම සඳහා දරුවෝ පොත්පත් සූදානම් කරමින් සිටියහ. දහවල් කාලයේ දහදිය හෙලූ තෙහෙට්‌ටුවෙන් සිරුර නිදහස් කරවීම පිණිස ගෙබිම එළා ඇති පැදුරු කඩමාල්ලේ හිඳ කටුමැටි බිත්තියට පිටදී හුන් පියවරු පොත් පත් සකසන සිය දරුවන් දෙස බලා සිටියහ. අම්මාවරු සිඟිත්තන් උකුලේ හොවා කිරි දෙමින් උන්හ. දරුවන්ගේ හිස් කුස් තම්බාගත් අලගෙඩියෙන් හෝ බත් ඩිංගකින් පිරෙමින් තිබිණි. ගම්මානයේ නිවෙස්‌වල දරුවන්ගේ උකුළු මුකුළු කෙළි කවට කතා හැරෙන්නට රූස්‌ස ගස් මුදුන්හි අතුපතරවල සිටි රැහැයියන්ගේ කීරි ගැහෙන නාද ගම්මානය පුරා පැතිරෙමින් තිබිණි.
බොරවැව ගම්මානය නිදි සුව ලබන්නට සූදානමින් සිටියේය.
දිනය – 1989 වසරේ පෙබරවාරි මස 27 වැනිදා
වේලාව රාත්‍රි 8.30 ට පමණ.
උනුන් කතා කරමින් සිනහ සෙමින් සිටියදී ඇතැම් දරුවෝ සිනහ මුසු මුහුණින්ම නිදි දෙව්දුව වැළඳගෙන සිටියහ. ඝන අඳුර සමග නිසසලව නැගී හිඳිනා රූස්‌ස ගස් අතරින් අවි අමෝරා ගත් ලේ පිපාසිත රාක්‍ෂයන්ගේ සෙවණැලි බොරවැව ගම්මානය වටකරමින් සිටින බවක් ගම්මු කිසිවෙක් නොදත්ත හ. මායිම් ගම්මානවලට කඩා වැදී වෙඩි තබා, කපා කොටා, ගම්වැසියන් ඝාතනය කිරීමේ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියාදාමයන් බොරවැව ගම්වාසීන් අත්දැක නොතිබුණ ද ඔවුන් නිරන්තරයෙන් ඒ අහස පොළොව නුහුලන අපරාධ පිළිබඳ සිද්ධි සියෑසින් දැක තිබිණි. එනමුත් තමන් එවැනි ම්ලේච්ඡ සංහාරයකට ලක්‌වනු ඇතැයි ඔවුහු සිහිනෙකිනුදු නොසිතූහ. එහෙත් සිහිනෙකිනුදු නොසිතූ, නොපැතූ මාරයාගේ හෝරාවට ක්‍රමයෙන් බොරවැව ගම්මානය ළංවෙමින් තිබිණි. ඒ මූසල රාත්‍රියේ ලේ පිපාසිත අධමයන් ගම්මානය වට කරනු ගම්මුන්ට දැක ගැනීම ඝන අන්ධකාරය විසින් වළකාලනු ලැබීය. රූස්‌ස ගස් පාමුල රාක්‍ෂ නෙත් යොමා සිටි ත්‍රස්‌තවාදීහු එක්‌වරම වෙඩි වරුසාවක් අහසට එල්ල කළහ. රැහැයි නාදය නතර කරමින් රූස්‌ස ගස් අතරින් අහසට නැගුණු වෙඩි උණ්‌ඩයේ හඬ පළාත පුරා දෝංකාරය දුන්නේ මාරයාගේ හෝරාවේ ආරම්භය සනිටුහන් කරමිනි. වෙඩි හඬින් ගම්වාසීහු තැති ගත්හ. මව්වරු තුරුලේ හොවා සිටි සිය දරුවන් බදා ගත්හ. පසුදින පාසල් යැමේ අභිලාෂයෙන් පොත් බෑග් සරි කරමින් සිටි දරුවන්ගේ දැත් වෙඩි හඬින් වෙව්ලා ගියේය. ඒ ක්‍ෂණයෙන් කොටි ත්‍රස්‌තවාදීහු මුවහත් තියුණු ආයුධ අමෝරා ගනිමින් නිවෙස් අසලට පැමිණියහ. පළාතම දෝංකාර දුන් වෙඩි හඬින් තැති ගෙන භය භ්‍රාන්තවූ ගැමියෝ නිවෙස්‌වලින් පිටතට පැන හිස් ලූ ලූ අත දිවගොස් ගම්මානය අවට වූ කැලෑවේ සැඟවී ජීවිතය ගලවා ගන්නට ගත් උත්සාහය ඒ මුවහත් ආයුධ හමුවේ නතර විණි. සිය ලේ කැටි දරුවන් ද බදාගනිමින් ඝන අඳුරේ දිවයන ගම්වැසියන් ත්‍රස්‌තවාදීන්ගේ තියුණු ආයුධ පහරින් ගස් කපා හෙලූ කලෙක මෙන් මහ පොළව සිපගත්තේය. ඒ සිරුරුවලින් ගලා යමින් තිබූ උණුසුම් ලේ ඒ කර්කශ පොළව තෙමාලූයේය. ඇතැමුන්ගේ අත්පා පමණක් නොව හිස ද කඳින් වෙන් කෙරිණි. සිය දරුවන්ගේ හෝ ජීවිත ආරක්‍ෂා කර ගන්නට ඔවුන් දෑතින් ඔසවා ගෙන කැලෑවදින්නට කිසිදු මවකට පියකුට ම්ලේච්ඡ කොටියා ඉඩ හසර නුදුන්නේය. කැලෑවැදී දිවි රැක ගන්නට හැකි උපරිම ජවයෙන් පුංචි පැටවුන් දිව ගියේ සියුමැලි පයට පෑගෙන කටු පඳුරු ගැන හෝ නොසිතා වන්නට ඇත. එහෙත් ඒ අහිංසකයන් කිසිවකුටත් අධමයන්ගේ මුවහත් කඩු පහර හෝ තියුණු පිහි පහර හෝ පරයන්නට දෛවය ඉඩ නුදුන්නේය.
කොටින් ගම්මානය වට කරමින් සිටින විට එක් නිවසක මවක් සිය තුන්හැවිරිදි මොළ කැටියාට කිරි දෙමින් පැදුරු කඩමාල්ලක හුන් තම අටහැවිරිදි පුතාටත් සිව් හැවිරිදි දියණිටත් බත් කවමින් උන්නාය. වෙඩි හඬ ඇසුණු කෙණෙහි ඒ අසල වැතිර සිටි පියා පිටුපස දොරින් වහා එළියට පැන්නේ කොටින්ගේ පැමිණීම පොලිසියට කියන්නටය. මන්දාලෝකයෙන් ගෙතුළ එළිය කළ පහන නිවූ මව දරුවන් තිදෙනා සමග රැඳී සිටියේ ම්ලේච්ඡයන් නිවසට ඇතුළු නොවනු ඇතැයි යන සිතුවිල්ලෙන් විය යුතුය. අසල්වාසීන්ගේ මර ළතෝනිය විනාඩි කිහිපයක් ඇතුළත අවසන් විය. ඒ…. සියලු දෙනාගේ සිරුරු කොටින්ගේ තියුණු ආයුධ විසින් විනිවිදිනු ලැබීම නිසාය. ගම්මුන්ගේ සිරුරු තැන තැන විසිරී පොළව සිපගෙන තිබිණි. දරුවන් තිදෙනා සමග හුදකලා වූ ඒ අම්මාගේ නිවස අසලට ද කොටි ත්‍රස්‌තවාදීන් පැමිණ සිටින බව ඇය තේරුම් ගත්තාය. නොදරුවන් තිදෙනකු සමග තනිවූ ඒ අම්මාගේ හෘද ස්‌පන්දනය වේගවත් වුවත් ඉහින්කනින් දහදිය ගලා ගියත් කිසිත් නොදත් තෙමස් බිළි¹ මවගේ තනේ එල්ලී කිරි උරා බොමින් තම කුස පුරවා ගනිමින් සිටියේය. අනතුරක සේයාව දැනගත් ඕ තම දරුවන් දෙදෙනා එතැන වූ ඇඳ යටට කළාය. තම්බාගත් අල ගෙඩියක් සමග බත් කමින් සිටි දරුවෝ වචනයකුදු නොදොඩා ඇඳ යටට වන්හ. අඩවන් කර තිබූ නිවසේ ලෑලි දොර පා පහරකින් බිම වැටිණි. බිළි¹ කිරි උරාබීම නතර නොකළේය. මව ඒ දරුවා දෝතින් බදා ගත්තා නොව වසා ගත්තාය. සිඟිති දරුවන් දෙදෙනා ඇඳ යටට වී බියෙන් වෙව්ලමින් ගුලි ගැසී සිටියහ. ත්‍රස්‌තවාදීන්ගේ අත්රැඳි විදුලිපන්දම ගෙතුළ අඳුර විනිවිදිමින් තවත් ජීවිත කිහිපයක ලේ වැකුණු අවසානයක් සනිටුහන් කළේය. මවගේ දෙතනේ කිරි උරා බොමින් සිටි බිළි¹ දෙකකුලෙන් අල්ලා බිත්තියේ ගසා මරා දැමූ උන් මවගේ විලාපය අවසන් කළේ මුවහත් කඩු පහරකිනි. තමන් වැදූ අම්මාගේ මර ළතෝනිය නිසා ඇඳ යට වෙව්ලමින් සිටි අයියාත් නංගීත් කිසිදු අවබෝධයකින් තොරව ම බඩගාමින් එළියට එනු කොටියා දුටුවේය. උන්ගේ තියුණු පිහි පහර ඒ සිඟිත්තන්ගේ සිරුරුද විනිවිද ගියේ ගෙබිම රක්‌ත වර්ණයන්ගෙන් නහවමිනි.
විනාඩි කිහිපයක් ඇතුළත බොරවැව ගම්මානය එකම මළ ගමක් බවට පත් කළ කොටි ත්‍රස්‌තවාදීහු අඳුරේම නිරුපද්‍රිතවම පළා ගියහ. පොලිසිය පැමිණෙන විට සියල්ල සිදුවී හමාරය. අවට වැසියෝ පැමිණ ප්‍රහාරයට ලක් වූවන් අතර සිටි තුවාලකරුවන් සිවු දෙනකු පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට යුහුසලු වූහ. හුස්‌ම බිඳක් ඉතිරි වූ දැරියක ද ඒ අතර සිටියාය. ඒ මූසල රාත්‍රියේ බොරවැව ගම්වාසීන් තිස් අට දෙනෙක් දරුණු කැපීම් තුවාල සහිතව ජීවිතයට සමුදී තිබිණි. අහිංසක දරුවෝ ද ඒ අතර වූහ. පසුදා හිරු එළිය වැටෙනවිට බොරවැව ගම්මානයම කඳුළින්a තෙත්ව තිබිණි. අහිංසක ගම්වැසියන්ගේ ලේ දහරින් ඒ ශුෂ්ක පොළව රක්‌ත වර්ණ ගැන්වී තිබිණි.
ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට හැකිවූ එහෙත් බරපතළ කැපුම් තුවාල ලැබූ සිව් දෙනා අතර සිටි දැරිය සිවු හැවිරිදිය. ඇයගේ කොන්ද උල් ආයුධවලින් පසාරු කර තිබිණි. උල්පිහි පහරක් දකුණු ඇසට කි¹ බැස තිබිණි. පසුදා පෙර පාසලට ගොස් යහළුවන් සමග රිසිසේ කෙලිසෙල්ලම් කරන්නට බලා සිටි ඒ දැරියට ඒ රාත්‍රියේ ඉතිරි කර තිබුණේ පියා පමණි. අම්මා, මල්ලී අයියා ජීවිතය හැර ගොස් සිටියහ. ඇයට පියා ඉතිරි වූයේ කෙසේද? ත්‍රස්‌තවාදීන් ගම්මානය ම එකම ලේ විලක් කරන විට මේ දැරියන්ගේ පියාට පමණක් ජීවිතය රැක ගැනීමට ඉඩ හසර ලැබුයේ කෙසේද? කොටි ත්‍රස්‌තවාදීන් ගම්මානයට කඩා වැදී සිටින බව පොලිසියට දැනුම් දෙන්නට නිවසේ පිටුපස දොරින් එළියට පැන්නේ ඔහුය. ඒ තාත්තාගේ දිවි ගැලවුණේ ඒ නිසාය.
විශ්වාස කරන්න ඔබ මේ ඡාරූපයේ දකින්නේ මීට වසර විසි දෙකකුත් මාස පහකට පමණ පෙර ම්ලේච්ඡ කොටි සංහාරයෙන් ජීවිතය සුරැකුණු එවකට සිව් හැවිරිදි වියේ පසු වූ දැරියයි. මවගේ සුරතින් ගුලි වූ බත් කමින් සිටි අයියාත් සමග ඇඳ යටට රිංගූ සිහිත්තියයි. ත්‍රස්‌තයාගේ පා පහරින් ලෑලි දොර බිම වැටෙන විට අයියා සමග ඇඳ යට එකට ගුලි වෙව්ලමින් සිටි නොදරුවායි.
මවගේ මර ළතෝනියෙන් අයියා සමග බඩගාමින් ඇඳ යටින් එළියට එමින් සිටියදී
කොටියාගේ තියුණු පිහි පහර සිරුර පුරා විනිවිද ගිය දියණියයි. එදින රැයේ අවට ගම්වැසියන් විසින් රෝහල් ගත කරනු ලැබූ දැරියයි.
මේ ඇයගේ කතාවයි.
සිව් හැවිරිදි වියේදී ජීවිතයේ අතිශය ඛෙදජනක ඉරණමකට මුහුණ දුන් ඇය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණා ය. අවසානයේ මරණය පරාජය කර ජීවිතය ජයගන්නට ඇයට වාසනාව ලැබිණි. ඇය නමින් සන්ධ්‍යා කාන්තිය. සන්ධ්‍යා අද විසිහය හැවිරිදිය. ඇයගේ ජීවිතය උදුරා ගන්නට ත්‍රස්‌තවාදීන්ට නොහැකි වුවත් එදා දකුණු ඇසට එල්ල කරන ලද පිහි පහරින් අද ඇයට හිමිකර දී ඇත්තේ වම් ඇස පමණි. එදා කොන්ද පසාරු වී ගිය තියුණු පිහි තුඩ දෙකකුල් සම්බන්ධ කරන නහර කපා දමා තිබිණි. එහෙයින් අදටත් ඇයගේ දකුණු පාදය මුළුමණින්ම පණ නැත. අක්‍රීයව තිබූ වම් පාදය වසර ගණනක ප්‍රතිකාරවලින් පසුව මේ වනවිට ක්‍රියාකාරී මට්‌ටමට පැමිණ තිබේ. ඇය දැන් සිටින්නේ දංකොටුව මොහොට්‌ටිමුල්ල “සහන පියසේය.” එය සෙමෙන් මනස වැඩෙන දරුවන් රැක බලා ගන්නා මධ්‍යස්‌ථානයකි. එය පාලනය කෙරෙන්නේ වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙනි.
අපි සන්ධ්‍යා හමු වීමු. අහිංසක සිනහවකින් මුව සරසා ගත් ඇය ඇඳක හිඳගෙන හුන්නාය. තමන් මුහුණ දුන් ඒ බිහිසුණු සිද්ධිය ඇයගේ සිත්හි තවමත් රැව්දෙයි. සියල්ල ඇගේ මතකයෙහි ඇත.
“අම්ම මහ හයියෙන් කෑ මොර දෙද්දි ඇඳ යට ගුලිවෙලා හිටපු අයිය බඩගාගෙන එළියට ආවා. අයියට පිටුපසින් මමත් බඩගාගෙන එළියට ආවා. උන් අයියට කෙටුවා. ඇඳ යටින් බඩගාගෙන එද්දි මගෙත් පිටට කෙටුවා. මට මතක එච්චරයි.”
සන්ධ්‍යාගේ ඇස්‌වලින් වට කඳුළු කැට දෙකම්මුල් දිගේ රූරා ගියේය. ඉන් එහා කිසිවක් ඇයගේ මතකයේ නැත්තේ ත්‍රස්‌තවාදියාගේ පිහි පහරින් සිහිසුන් වූ හෙයිනි. ඇයට යළි සිහිය ලැබී ඇත්තේ රෝහලේදීය. එදා දැඩි කම්පනයට පත්ව සිටි සන්ධ්‍යාට රෝහලේදී සිහිය ලැබීමෙන් පසුව ඇය මුහුණ පෑ සිද්ධිය ආවර්ජනය කළ නොහැකි වී තිබේ.
“මාස පහක් විතර යනකම් මට කිසි දෙයක් මතක් කර ගන්න බැරි වුණා. ඒ තරම් කම්පනයක් මට එදා දැනෙන්න ඇති.”
පොළොන්නරුව රෝහලින් මහනුවර රෝහලට මාරු කරනු ලැබූ ඇය එහිද මාස තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා තිබිණි. දෙපා අප්‍රාණික තත්ත්වයේ පසු වූ සිව් හැවිරිදි තම දියණිය රැක ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවූ හෙයින් මාවනැල්ලේ සන්ධ්‍යාගේ ලොකු අම්මාගේ නිවසේ දියණිය නතර කරන්නට පියා කටයුතු කළේය. ප්‍රහාරයෙන් පසුව බිරිඳත් දරුවන් දෙදෙනකුත් අහිමි වූ ඒ තාත්තාට ඉතිරි වී සිටියේ දෙපා අප්‍රාණික මේ දියණිය පමණි. ඉන් එහා තවත් අහිමි වීමට දෙයක් ඔහුට නොවීය. එස්. එම්. එස්. පෑලිස් නම් වූ පියා බොරවැව ගමටම යළි ගොස් ගොවිතැන් බත් කරමින් හා සුළු වෙළෙදාමකින් ඉපයූ මුදල් මාවනැල්ලේ ලොකු අම්මාගේ නිවසේ නතරව සිටින සිය එකම දියණිය වෙනුවෙන් වැය කළේය.
“දුවේ මම ජීවත් වෙන්නෙ උඹ හින්දයි. උඹත් නැත්නම් මම මෙලහකටත් අම්ම ගිය ලෝකෙට ගිහිල්ල. ඇඳේ වැතිර සිටින දියණියගේ හිස අතගාමින් කී වාර අනන්තයි.
තාත්තා හරිම කම්පනයකින් හිටියේ. සමහර වෙලාවට අම්ම, මල්ලි, අයියා මතක් කරමින් දිගටම කියවනවා.
තාත්තාගේ ජීවිතය වූණේ මං.” කම්මුල් දිගේ රූරා ගලන කඳුළු පිස දමමින් සන්ධ්‍යා කීවාය.
කාලය ක්‍රමයෙන් ගෙවී ගියේය. වසරක්, දෙකක්, තුනක්, හතරක් ගතවිය. සිව් හැවිරිදි වියේ සිටි ඇය අට හැවිරිදි වූවාය. තවමත් ඇයට ඇවිද ගැනීමට හැකියාවක් නැත. දියණිය ලොකු අම්මාගේ නිවසේ සිටීම ඔවුන්ට අපහසුතාවක් බව තේරුම් ගත් පියා ඇය නතර කරන්නට ස්‌ථානයක් සොයා බැලීය. නාත්තන්ඩිය දුංකන්නාව ප්‍රදේශයේ පිහිටි ස්‌වර්ණදාම පදනම මගින් පවත්වාගෙන යන ළමා නිවාසය අට හැවිරිදි සන්ධ්‍යාගේ නව නිවහන බවට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. පියා වරින් වර පැමිණ දියණියගේ දුකසැප විමසා අවශ්‍ය විය හියදම් ලබා දුන්නේය. ඒ අතරවාරයේ සන්ධ්‍යා එම ළමා නිවාසයෙන් බොහෝ දේ ඉගෙන ගත්තාය. මැහුම් ගෙතුම්, පබළු නිර්මාණ රෙදි පින්තාරු වැනි දක්‍ෂතා ඇය ප්‍රගුණ කළාය. එපමණක් නොව වයලීනය සර්පිනාව වැනි සංගීත භාණ්‌ඩ වාදනයෙහිද සන්ධ්‍යා දක්‍ෂතා දක්‌වන්නීය. ඇය ලියන්න කියවන්න ඉගෙන ගත්තාය. කෙතරම් දුක් කරදර හමුවේ වුවද ඇය නොසැලී හුන්නාය. ආපස්‌සට එක අඩියක් හෝ තබන්නට ඇය කැමති නොවූවාය.
“මම ආබාධිත ක්‍රීඩා තරගවලින් රන් පදක්‌කම් පහක් ලැබුවා. රිදී පදක්‌කම් හතරක් ලෝකඩ පදක්‌කම් පහක් ලබා තියෙනවා.”
විශ්වාස කිරීම අපහසු වුවත් එය සත්‍යයක්. රෝද පුටු තරග, රෝද පුටුවේ හිඳිමින් යගුලිය දැමීම, රෝද පුටුවේ හිඳිමින් කවපෙත්ත විසි කිරීම වැනි ක්‍රීඩා තරගවලින් සන්ධ්‍යා දක්‍ෂතා දක්‌වමින් රන්, රිදී, ලෝකඩ ජයග්‍රහණ ලබා ඇත. සියලු දුක්‌ඛ දෝමනස්‌සයන් ජීවිතයේ ජයග්‍රහණයට හරවා ගත් මේ දිරිය දියණියගේ නෙතට යළි කඳුළක් එක් වූයේ 2005 වසරේ අප්‍රේල් මාසයේදීය. එකම දියණිය ජීවිතයේ ජයග්‍රහණ ලබමින් සිටියද දැඩි කම්පනයෙන් කල්ගත කළ පියා සිත් තැවුලෙන්ම වස බී බොරවැව ගම්මානයේදීම අවසන් සුසුම් හෙළීම ඊට හේතුවයි. වරින්වර ළමා නිවාසයට පැමිණ හිස අත ගාමින් සන්ධ්‍යා ලද පීතෘ ස්‌නේහය එතකින් අහිමි විය. ඇය මේ සියල්ල විඳ දරා ගත්තාය. බාධක හමුවේ නොසැලුණාය.
“තාත්තා එතරම් කල් ජීවත් වූයේත් මං නිසයි. මමත් නොහිටියා නම් තාත්තා ජීවිතය නැති කරගන්නේ මීට කලින්.” සන්ධ්‍යා පැවසුවාය.
මොහොට්‌ටිමුල්ලේ සුබසාධක මධ්‍යස්‌ථානය ආරම්භ කිරීම පිළිබඳ සමාජ සේවා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර තිබුණේ මේ අතරය. එම නව මධ්‍යස්‌ථානයේ උපස්‌ථාන කටයුතු සඳහා බඳවා ගෙන සිටි උපස්‌ථායිකාවන්ට දුංකන්නාව ස්‌වර්ණදාම පදනම් ළමා නිවාසයේදී පුහුණුවක් සංවිධානය කර තිබිණි. එම පුහුණුවට පැමිණි එම්. එච්. දීපා ගෝතමී උපස්‌ථායිකාව සන්ධ්‍යා දියණිය දැක හද උපන් අනුකම්පාවෙන් ඇයගේ උපස්‌ථාන කටයුතු තමන්ට කළ හැකි බව පවසා මොහොට්‌ටිමුල්ල සුබසාධන මධ්‍යස්‌ථානයට ඇය මාරු කර දෙන ලෙස එවකට වයඹ පළාත් සමාජ සේවා අධ්‍යක්‍ෂිකාව ලෙස සිටි ඩේසි ධර්මවර්ධන මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ දිරිය දියණිය මොහොට්‌ටිමුල්ල මධ්‍යස්‌ථානයට පැමිණෙන්නේ ඒ අනුවය. 2006 වසරේදී ආරම්භ කළ මෙම මධ්‍යස්‌ථානයේ ආරම්භක සාමාජිකාවක ලෙස සන්ධ්‍යා පැමිණි අතර වර්තමානය වන විට දීපා ගෝතමී එහි ප්‍රධාන උපස්‌ථායිකාව වශයෙන් කටයුතු ද කරන්නීය.
සන්ධ්‍යාගේ දකුණු පාදය සුව කර ගැනීම සඳහා වෙදකම් කරමින් සිටින්නේ පොල්ගහවෙල ඉඹුල්ගස් දෙණියේ ඩබ්ලිව්. ඒ පියදාස වෙද මහතා ගෙනි. දෙවසරකට ආසන්න කාලයක් තිස්‌සේ ඇයගේ පාදය සුව කිරීම සඳහා පියදාස වෙද මහතා මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන මුත් ඒ වෙනුවෙන් සත පහක මුදල් අය කර නැත.
”මේ වගේ දෙවිවරුන් නිසා මගේ ජීවිතයේ දුක් කරදර ගැන මට දැනෙන්නෙවත් නැහැ” යෑයි සන්ධ්‍යා ප්‍රකාශ කළේ හද පත්ලෙන් නැගුණු වචනවලිනි. ඒ වෙදැදුරාණන්ගේ කරුණාව වචනයට පෙරළිය නොහැකිය. එමෙන්ම ප්‍රතිකාර කටයුතුවලදී ප්‍රධාන උපස්‌ථායිකාවගේ කැපවීම අගය කළ යුතුය. පාදයට තෙල් බෙහෙත් ගැල්වීමේ සිට අවශ්‍ය ඖෂධ සෙවීමේ කටයුතු ද ඇය ගේ සුරතින් සිදු කෙරෙන්නේ ප්‍රසාදයකිනි.
”තෙල් ගෑවාම ඉර එළිය අගුණයි. ඒ නිසා මම බොහෝ වේලාවට ඉන්නෙ ඇඳටම වෙලා. මම නිර්මාණ කරන්නේ ඇඳේ සිටින විටයි. මේ මධ්‍යස්‌ථානයට දානමය කටයුතු සඳහා පැමිණෙන අයට මගේ නිර්මාණ අලෙවි කරනවා. ඒ ලැබෙන මුදලින් මට අවශ්‍ය දේවල් ගෙන්වා ගන්නවා” යෑයි ඇය කීවාය. සන්ධ්‍යාගේ නිර්මාණ දෙස බලන විට ඇය කෙතරම් සහජ දක්‍ෂතා උරුම තැනැත්තියක් දැයි මනාව පැහැදිළිවේ.
ඇයගේ ඇඳ අසල රූපවාහිනියක් වෙයි. රටේ තොටේ සියලු තොරතුරු දැන ගන්නේ රූපවාහිනිය නැරඹීමෙනි. ප්‍රභාකරන් මිය ගිය පුවත ද සන්ධ්‍යාගේ නෙතට හසුවන්නේ රූපවාහිනියෙනි. ප්‍රභාකරන් නමැති අධමයාගේ මරණය ඇසූ කල්හි සතුටු වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා අතර සන්ධ්‍යාද වූවාය. ඔබටත් අපටත් අන් කා හටත් වඩා ඒ අධමයාගේ මරණයෙන් සතුටු වන්නට ඇයට අයිතියක් තිබේ.
”මගේ අම්ම, මල්ලිලා විතරක් නෙමෙයි දහස් සංඛ්‍යාත පිරිසක් මරා දැමූ ප්‍රභාකරන්ගේ මරණය මට සතුටක්. ප්‍රභාකරන් මිය ගියදා සිට මගේ අරමුණ යළි බොරවැව ගම්මානයටම යැමයි.” අධිෂ්ඨානශීලිව ඇය කීවාය.
බොරවැව මහවැලි ගම්මානයකි. ප්‍රධාන උපස්‌ථායිකාව සමග වැලිකන්ද මහවැලි කාර්යාලයට ගොස් ඇති සන්ධ්‍යා තමන්ගේ උරුම හිමිකම් පිළිබඳ දැනුම් දී ඇත. “ඒ කාර්යාලයේ මහත්තුරු අපිට හුඟක් උදව් කළා. වැලිකන්ද පොලිසියෙන් අපිට දුන් සහය වචනයෙන් කියන්න බැහැ” යෑයි ඇය පැවසුවාය. මේ වන විට සන්ධ්‍යාට අයත් කුඹුරු හිමිකම් ඇය වෙත ලබාදීමට මහවැලි කාර්යාලය කටයුතු කර ඇත.
“මට දැන් අවශ්‍ය අපේ ගම්මානය පැත්තෙන්ම ඉඩමක්. ගෙයක් දොරක් තිබෙනවා නම් මට ගමට යන්න පුළුවන්. මගේ නැන්දා මා බාර ගන්න කැමතියි. මගේ නිර්මාණ තවත් දියුණු කරමින් මගේ උත්සාහයෙන් නැගී සිටින්න මට පුළුවන්. ජනාධිපතිතුමා මැදිහත් වෙලා මට ඉන්න තැනක් හදල දෙන්න පුළුවන්නම් පිංසිද්ධ වෙනවා. මට ඉන්න තැනක් හදල දෙන්න කියලා ජනාධිපතිතුමන්ට ආයාචනා කරනවා.” ඇය දෙඅත් ළංකරමින් ප්‍රකාශ කළේ කඳුළු කඩා හැළෙන දෙනෙතින් යුතුවය.
දරුස්‌මාන් වාර්තා, චැනල් 4 නාලිකා හරහා කොටි ත්‍රස්‌තවාදයට සුදු හුණු ගාමින් සිටින මෙවන් අවධියක ත්‍රස්‌තවාදයේ ම්ලේච්ඡත්වය ලොවට කියා පෑමට සන්ධ්‍යා කාන්තිලාගේ ජීවිත යථාර්ථය රටට ශක්‌තියකි.
ජීවිතය පුරාවට වූ අතොරක් නැති දුක් ගැහැට හමුවේ නොසැලී හුන් මේ දිරිය දියණියගේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය වන්නේ ඔබගේ අනුකම්පාව නොව ඔබගේ ධෛර්යය ම පමණි.
ජිවිතය යනු සතුට හා කඳුළ මුසුවූවකැයි අසා ඇත්තෙමි. එහෙත් එය එසේමද? බොහෝ විට අපට හමු වන්නේ කඳුළ ම ය.
නිලන්ත මදුරාවල
ඡායාරූපය – කොස්‌වත්ත ඡේ. පී. ඩී. ආරියරත්න