Spread the News

ත්‍රස්‌තවාදී උපදේශකයකු එක්‌සත් ජාතීන්ගේ
ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානියා ලෙස පත් කිරීම

එමානුවෙල් පියනම හිටපු බ්‍රිතාන්‍යය විදේශ ඇමැති මිලිබෑන්ඩ් වෙත කරුණු දක්‌වමින් ශ්‍රී ලංකාවට එරෙහිව කොටි හඬ නඟන ලී ස්‌කොට්‌ මන්ත්‍රීවරයා

* තමිල්නාඩුවේ කොටි ස්‌මාරකය
වෙනුවෙන් ස්‌විස්‌ අරමුදල්

* ඉන්දීය ඔපරේෂන් බ්ලූස්‌ටාර් මෙහෙයුමින්
යුද අපරාධ සිදු නොවුණේද?

* ඡේ.ඩී.එස්‌. හෙවත් ජර්නලිස්‌ට්‌ 4 ඩිස්‌ට්‍රක්‌ෂන්
ඉන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ තවත් සහචරයෙක්‌
ජිනීවා නුවරට සම්ප්‍රාප්ත වේ

* රටින් පිටිත ඊළාම් ආණ්‌ඩු කණ්‌ඩායමකට
අයර්ලන්ත රජය ඇරයුම් කළේද?

* චැනල් 4 වීඩියෝ පටයට සහාය වන අලුත්ම
නළුවන් දෙදෙනා ඩොනල්ඩ් ඥණකෝන් සහ
ජුඩ්ලාල් ප්‍රනාන්දු

* ව්‍යාජ යුද මහාචාර්යගෙන් ඩොලර් 100,000 ක්‌
ඉල්ලා කොටි නඩු දමති

* ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගියත් නොමිලේ ගුවන් ප්‍රවේශපත්

ඇන්ගෝලාවේ යුනිටා ත්‍රස්‌තවාදී සංවිධානයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ජොනැස්‌ සිවාම්බිගේ උපදේශක වූ ක්‍රිස්‌ ඩු ටොයිට්‌ එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානියා ලෙස පත් කරලා
– ඕස්‌ටේ්‍රලියානු ස්‌පර් සංවිධානය

(Former Terrorist adviser as the U.N.
Security Chief in Sri Lanka – Spur)

එක්‌සත් ජාතීන්ගේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස්‌ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියා ලෙස ක්‍රියා කළේ ක්‍රිස්‌ ඩු ටොයිට්‌ය. ඔහුගේ හැඳුනුම්පත් අංකය RSA ID 5511075093089 වේ. පසුව ඔහු සුඩානය සඳහා එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක ප්‍රධානියා විය. 2010 සැප්තැම්බර් මස මුලදී ක්‍රිස්‌ ඩු ටොයිට්‌ කැනඩාව, ප්‍රංශය, ඇමරිකාව, නෝර්වේ, යුරෝපා සංගමයට අයත් ආරක්‍ෂක නිලධාරීන් අට දෙනකු සුඩානයට කැඳවා ඔවුන්ව ප්‍රදේශ කීපයකට යවනු ලැබීය. එම මෙහෙයුම වූයේ චරපුරුෂ සේවාවයි. පසුගිය සෙනසුරාදා සුඩානය දෙකඩවී රටවල් දෙකක්‌ බවට පත්විය. දැන් ක්‍රිස්‌ ඩු ටොයිට්‌ එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ආරක්‍ෂක නිලධාරියා ලෙස ක්‍රියා කරයි.

ඇන්ගෝලාවේ යුනිටා ත්‍රස්‌ත සංවිධානයේ නායක ජොනාස්‌ සිවාම්බිගේ උපදේශක ලෙස ද කටයුතු කළ “ක්‍රිස්‌ව” ශ්‍රී ලංකාවට පත් කර ඇත්තේ කුමක්‌ පිණිස දැයි සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුට තේරුම් ගැනීමට හැකිවනු ඇත.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් සිය දෙවැනි වාරය ආරම්භ කිරීමටත් පෙර ක්‍රිස්‌ ඩු ටොයිට්‌ව ශ්‍රී ලංකාවට පත් කිරීමෙන් සිය දෙවැනි අබිරහස්‌ මෙහෙයුම දියත් කර ඇතැයි සනාථ වේ.

ඒ බව සනාථ වූයේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික න්‍යායපත්‍රයට ඇතුළත් වී ඇති බවත් ද්‍රවිඩ ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක්‌ දිය යුතු යෑයි බෑන් කී මූන් පැවසුවේ යෑයි කොටි වෙබ් අඩවියක්‌ විසින් පැවසීමයි.

මේ නිසා ශ්‍රී ලකාවට එල්ලවී ඇති බටහිර බලවේගවල බරපතළ තර්ජනය මෙරට දේශප්‍රේමී පාර්ශ්වයන් අවබෝධ කරගෙන සිටින්නේද?

පසුගිය අඟහරුවාදා ලන්ඩනයේදී කොටි හිතවාදී ගෝලීය ද්‍රවිඩ සංසදය තමන්ට පක්‍ෂපාතී මන්ත්‍රීවරු හතළිහක්‌, ද්‍රවිඩ සිංහල හා ඉන්දීය මාධ්‍ය පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කැඳවා සාදයක්‌ පවත්වනු ලැබීය.

මේ සාදයේදී ප්‍රකාශයක්‌ කළ කොන්සර්වටිව් මන්ත්‍රී ලී ස්‌කොට්‌ “ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට සැඟවී සිටින්නට තැනක්‌ නැහැ. යුද අපරාධවලට ගොදුරුවූවන්ට යුක්‌තිය හිමි වනතුරු අපි සටන නතර කරන්නේ නැයෑ”යෑයි කියා සිටියේය. (There will be no hiding place
for the senior people in the Govt of Sri
Lanka we will not stop untill Justice for the
victims of war crimes is served)

කොටි සංවිධානය බේරාගැනීමට උත්සාහ කළ හිටපු විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියකු ද මේ සාදයට එක්‌වී තිබේ.

මේ පසුබිම මැද චැනල් 4 රූපවාහිනි කොන්ත්‍රාත්තුව ගෝලීය ද්‍රවිඩ සංසදය විසින් ඉන්දියාවේ හෙඩ්ලයින්ස්‌ ටුඩේ විකාශනය දක්‌වා ව්‍යාප්ත කරනු ලැබීය.

මෙහිදී චැනල් 4 වීඩියෝ පටය සම්බන්ධව හෙඩ්ලයින්ස්‌ ටුඩේ විකාශනයට ප්‍රතිචාර දැක්‌වීම විදේශ ලේකම් නිරූපමා රාඕ විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ වැඩසටහන විකාශනය වීමට පැය විසිහතරකට පෙර අපරාධ පරීක්‍ෂණ නිලධාරීහු මහනුවර නිවසක සිටි ජෙගදීස්‌වරම් කන්දනම් නමැත්තාව අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ නිවසේ තිබී ඩී.වී.ඩී. පට 71 ක්‌ද සොයාගෙන ඇත.

චැනල් 4 රූපවාහිනි සේවාවට සහායවීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගත් බවද වාර්තා විය. රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග දක්‌වන අන්දමට බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ කන්දනම් විටින් විට ශ්‍රී ලංකාවට පැමිණෙන බවද අනාවරණය වී ඇත.

කන්දනම් නමැත්තා අත්අඩංගුවට ගත් රහස්‌ පොලිසිය චැනල් 4 රූපවාහිනියට වීඩියෝ පට ලබාදුන්නේ තමන් යෑයි ප්‍රසිද්ධියේම පුරසාරම් දොඩන ඡේ.ඩී.එස්‌. හෙවත් ශ්‍රී ලංකාව විනාශ කරන මාධ්‍ය කණ්‌ඩායම සම්බන්ධව (Journalists for destruction of Sri Lanka) පියවරක්‌ නොගන්නේ මන්ද යන්න විමසිය යුතුව ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි කිලිං ෆීල්ඩ් චිත්‍රපටය පිළිබඳ හෙඩ්ලයින්ස්‌ ටුඩේ විකාශනය අදහස්‌ විමසනු ලැබුවේ බ්‍රිතාන්‍ය හිටපු විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ්, ඇමරිකානු ප්‍රකාශක මාර්කෝ ටෝනර්, ඉන්දීය හමුදා බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානි කර්නල් හරිහරන් ඇතුළු කීපදෙනකුගෙනි.

මොවුන්ගේ සමහරු පැවසුවේ යුද අපරාධ ගැන පරීක්‍ෂණ කිරීමට ජාත්‍යන්තර නිරීක්‍ෂණ කණ්‌ඩායමකට ඉඩදිය යුතු බවයි.

හිටපු ඉන්දීය විදේශ ඇමැති යස්‌වන්ත් සිං ප්‍රකාශයක්‌ කරමින් ඉන්දීය රජය වැට උඩ නොසිටිය යුතු බව දක්‌වා ඇත. ශ්‍රී ලංකාව යුද අපරාධ ගැන සෙවිය යුතු යෑයි පවසන ඉන්දියාවේ ඇතැම් පාර්ශ්වයන් 1964 ජුනි 6 වැනිදා අම්රික්‌සාර්හි රන්දෙවොල මුදා ගැනීමට දියත් වූ බ්ලූස්‌ටාර් මෙහෙයුමේදී සිදුවූ යුද අපරාධ ගැන හඬ නොනඟන්නේ මන්ද?

මේ මෙහෙයුමට අදාළ මාධ්‍ය වාරණය දැඩි ලෙස ක්‍රියාත්මක විය. (Operation Blue Star –
Media Black out)

එකී බ්ලූස්‌ටාර් මෙහෙයුම සම්බන්ධව අසෝසිඒටඩ් ප්‍රෙස්‌ ආයතනයේ බුන්ට චෙලනි, නිව්යෝර්ක්‌ ටයිsම්ස්‌ පුවත්පතට යෑවූ වාර්තාවේ මෙලෙස දක්‌වා තිබිණි. දෑත් බැඳ තිබූ සික්‌ සටන්කාමීන් රැසකට වෙඩි තබා ඇත. ඉන්දීය හමුදාව විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා යොදාගත් වෛද්‍යවරයා පවා පැවසුවේ තමා කිසි දිනෙක පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා නැති බවයි. (Chellaney also reported that sevaral suspected sikh
Militants had been
shot with their hands
up by the Army and
forced to conduct
postmortems despite
the fact he had never
done any
postmortem) සී.කේ.සී. රෙඩ්ඩි නමැති ඉන්දීය මාධ්‍යවේදියා පැවසුවේ බ්ලූස්‌ටාර් මෙහෙයුමේදී මියගිය අයගේ සිරුරු හඳුනා ගැනීමට හෝ ඥතීන්ට නොදී චාරිත්‍රවලින් තොරව විනාශ කළ බවයි. (The
bodies of the victims
of Military op in
Punjab were unceramoniously destroyed
without any attempt to identify them and
hand them Over to their relatives)

මෙයට අමතරව තවත් වාර්තාවකින් දක්‌වා තිබුණේ රන්දෙවොලේ සිටි ළමුන් හා කාන්තාවන් ද මරා දැමීමට නියෝග දී තිබූ බවයි. (Women and children were ordered to be Killed)

එහෙත් ඉන්දීය බලධාරීහු මේ චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත.

එහෙත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දීය රාජ්‍ය හා හමුදා නායකත්වය යුද අපරාධකරුවන් කිරීමට හෝ චැනල් 4 රූපවාහිනිය ඉන්දීය හමුදාවේ යුද අපරාධ යෑයි දක්‌වමින් චිත්‍රපට නිර්මාණය කළේ නැත.

මේ තත්ත්වය මැද සන්නද්ධ අරගලවලට සම්බන්ධව ළමා ළපටින් ගැන ක්‍රියා කරන එක්‌සත් ජාතීන්ගේ ලේකම්වරියක්‌ වූ රාධිකා කුමාරස්‌වාමි ද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන බව සනාථ වී ඇත.

ඇගේ කාර්යාලය විසින් චැනල් 4 වීඩියෝ පටය සම්බන්ධව නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කර තිබේ. ඇගේ කාර්යාලයේ සිටින මැලේසියානු ද්‍රවිඩයන් විසින් එය නිකුත් කර ඇතැයි අනාවරණය වේ.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ඇයට නොදැනී එවන් නිවේදනයක්‌ ප්‍රකාශයට පත් වූයේ කෙසේද යන්නයි.

මෙයට වසර ගණනකට පෙර එනම් 1995 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා හමුදාව යාපන අර්ධද්වීපය අල්ලා ගැනීමට දියත් කළ මෙහෙයුමින් නල්ලූර් කෝවිලට හානි සිදුවනු ඇතැයි පැවසුවේ ද ඇයයි.

මේ අතර තමිල්නාඩුවේ ඉදිවන කොටි ත්‍රස්‌තයන් සැමරීමේ ස්‌මාරකය වෙනුවෙන් අරමුදල් සපයන්නේ ස්‌විට්‌සර්ලන්තයේ සුරීච්, බාසල්, බර්ග්, ලොසොන්, ෂොප් හොසන් ප්‍රදේශවල කොටි හිතවාදීන් යෑයි අනාවරණ වී ඇත.

ස්‌විස්‌ ප්‍රෑන්ක්‌ 10 සිට 1000 දක්‌වා වූ මුදල් තමිල්නාඩුවේ බැංකු ගිණුමකට බැර වන බවට තවදුරටත් හෙළිවී තිබේ.

එහෙත් ස්‌විස්‌ බලධාරීන් මේ ගැන ක්‍රියා කරන්නේද? එසේ වුවත් බර්න් නගරයේ කොටි හිතවාදියා ගී්‍රන් පක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලවා ස්‌විස්‌ පාර්ලිමේන්තුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනාවක්‌ ගෙනඒමට උත්සාහ කරන බව අනාවරණය වී ඇත.

මෙවන් පසුබිමක්‌ යටතේ පසුගිය සතියේ දිනෙක ජිනීවා ගුවන්තොටුපළ වෙත මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා කොට කලිසමක්‌ ඇඳ පැමිණ ගුවන් මඟියකු බලපොරොත්තුවෙන් සිටි බව අනාවරණය විය.

කටාර් ගුවන් සේවා යානාවකින් ජිනීවා වෙතට පැමිණි මේ මඟියා රටින් පැනගත් මාධ්‍ය පාර්ශ්වයක්‌ යෑයි ගුවන්තොටුපළේ සිටි ශ්‍රී ලාංකිකයන් කීප දෙනකුට දැකගත හැකි විය.

මේ අතර චැනල් 4 වීඩියෝ පටය සම්බන්ධයෙන් කිලිනොච්චියේ ද්‍රවිඩ සිවිල් වැසියන් දැක්‌වූ විරෝධතාව යුද හමුදාව විසින් ජනතාවට මුලා කරමින් දියත් වූවත් බවත් ඊට සම්බන්ධ වැසියන්ව හමුදා වාහනවලින් ප්‍රවාහනය කළ බවටත් දැක්‌වෙන වාර්තාවක්‌ ලන්ඩනයේ කොටි රූකඩය වූ බී.බී.සී. සංදේශය විසින් විකාශනය කෙරිණි.

මේ වාර්තාව යවා ඇත්තේ වවුනියාවේ සිට බව පැහැදිලිය. ඊට සම්බන්ද වී ඇත්තේ පසුගිය කාලය මුළුල්ලේ කොටි පදේට නැටූ ඒජන්තවරයෙකි. මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ පිරිසක්‌ උතුරු අයර්ලන්තයට ගොස්‌ මාටින් මැක්‌ගිනස්‌ නමැති දේශපාලකයා හමුවී සාකච්ඡා පැවැත්වීමේ සිද්ධියක්‌ අනාවරණය විය.

වන්නි මෙහෙයුම ආරම්භවීමට පෙර මෙරට රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් මැක්‌ගිනස්‌ව මෙරටට කැඳවා තිබිණි.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් අයර්ලන්තයේ සිටින ශ්‍රී ලංකා නියෝජිතයා කුමක්‌ කරන්නේද යන්නයි. ඩබ්ලින් නුවර ත්‍රිත්ව විදුහලේ ශ්‍රී ලංකාවේ සාමය නමැති ව්‍යාජ සංවිධානයක්‌ පිහිටුවාගෙන සිටින ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැත්තා මහජන විනිශ්චය සභාව නමින් හොර සමුළුවක්‌ පවත්වා ශ්‍රී ලංකාව යුද අපරාධවලට වරදකරු යෑයි තීරණය කළේය.

දැන් මොහු තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු කීප දෙනෙක්‌ සමග එක්‌වී තවදුරටත් ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාදාමයක යෙදී සිටී. මේ අතර මහත් පුදුමාකාර තොරතුරක්‌ කැනඩාවේ ටොරෙන්ටෝ නගරයෙන් වාර්තා විය. ඒ සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයා කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයට අවමාන කළ බව දක්‌වමින් ඩොලර් 100,000 ක වන්දියක්‌ ඉල්ලා කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය විසින් නඩුවක්‌ ගොනු කිරීමයි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කළ කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් පූපාලපිල්ලේ නමැත්තා යුද මහාචාර්යවරයා අපට ප්‍රහාර එල්ල කරන බවත් කිසිවෙක්‌ ඔහුට අභියෝග කර නැති බවත් දක්‌වා ඇත.

මේ ඩේවිඩ් පූපාලපිල්ලේ වෙනින් කවුරුවත් නොව ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙය වූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකීගේ මස්‌සිනායි. කොටි පැරදවිය නොහැකි යෑයි පැවසුවේ මේ ව්‍යාජ යුද මහාචාර්යවරයායි. දැන් කොටි ඔහුට නඩු දමා ඇත. ලොකුම විහිළුව එයයි.

මුලතිව්හි සිටි කොටි හිතවාදීන් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් 87 ක්‌ රැගත් එම්.වී. ඇලිස්‌ නමැති කොටි නැව පසුගියදා ඉන්දුනීසියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තැන්ජුප් පිනාන් වරාය වෙත ගෙනඒමේ සිද්ධියක්‌ ද වාර්තා විය.

සෑම කොටි නැවකටම ප්‍රකාශකයකු සිටි අතර ඇලිස්‌ නැවේ ප්‍රකාශකයා සෙල්වකුමාර් නමැත්තෙකි.

ඔහු සිය චන්ද්‍රිකා දුරකථනය මගින් ලන්ඩනයේ බී.බී.සී. සේවය අමතමින් කොටින්ගේ පවුල්වල අය ද නැවේ සිටින බව පවසා ඇත.

තමන් නවසීලන්තයේ දේශපාලන රැකවරණ පතන බවත්, ඔහු පවසනු ලැබූවත් ඇලිස්‌ නැව කැනඩාව වෙත පැමිණීමට නියමිත වූ බව වාර්තා විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විශ්‍රාම ගියත් තවමත් ඔහුට මහජන මුදල් වැය කරමින් සිය බිරිය සමග විදේශ සංචාරයක නිරතවීමට ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගැනීමට හැකිවී තිබේ.

ගුවන් හමුදාපතිවරයාට පවා නොදන්වා මේ විශ්‍රාමික නිලධාරියාට හා බිරියට ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදී තිබුණේ බෝන් එගේන්ස්‌ කණ්‌ඩායමට අයත් තවත් නිලධාරියෙකි.

එහෙත් ඉහළ බලධාරීන් වෙත යොමු කරමින් එකී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා තම විදේශ සංචාරයේ ගුවන් ප්‍රවේශපත්‍ර දෙක අනුමත කරවාගෙන ඇතැයි පසුව වාර්තා විය.

ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා නැඟීම සඳහා මේ සතියේ තවත් කොටි ක්‍රියාකාරියෙක්‌ ඉදිරිපත් විය. ඔහු ඩොලන්ඩ් ඥාණකෝන්ය.

මෙවන් තොරතුරු හෙළිවෙද්දී චැනල් 4 වීඩියෝ පටයේ ද්‍රවිඩ පිටපත තමා 2009 අගෝස්‌තු මස රජයේ සහ හමුදා බලධාරීන් වෙත යොමු කළ බව පරිගණක වෙබ් අඩවි ප්‍රධානියකු වූ විකී වික්‍රමරත්න කියා සිටියේය.

තමා යොමු කළ එම කරුණු ගැන බලධාරීන් අවධානය යොමු කළේ නැතැයි හෙතෙම චෝදනා නැඟීය.

මේ සාවද්‍ය වීඩියෝ පටය යළිත් වරක්‌ ඇමරිකාවේ කොන්ග්‍රස්‌ ශ්‍රවණාගාරයේදී පසුගිය සිකුරාදා විකාශනය විය. ටොම් ලැන්ටන් මානව හිමිකම් කොමිසමේ උප සභාපති කොන්ග්‍රස්‌ මන්ත්‍රී ජිම් මැක්‌ගවන්ගේ ප්‍රධානත්වයෙන් එය තිරගතවීමෙන් පසු සාකච්ඡාවට සහභාගි වූ කීප දෙනෙක්‌ ශ්‍රී ලංකා රජයට යුද අපරාධ සම්බන්ධව දඬුවම් කළ යුතු බව කියා සිටියහ.

එහෙත් මේ චිත්‍රපටය තිරගත කිරීමට දායක වූ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය හිටපු ජනාධිපති බුෂ් ඇතුළු පිරිසට යුද අපරාධ චෝදනා ගෙන ආයුතු බවට කළ ප්‍රකාශය ගැන කිසිවකු වචනයක්‌වත් පැවසුවේ. නැත.

මේ අතර හිටපු හමුදාපතිවරයකු වූ ජෙරී ද සිල්වා දෙවැනි ඊළාම් යුද්ධය ඇතුළු කරුණු ගැන ග්‍රන්ථයක්‌ සම්පාදනය කරමින් යුද හමුදාව කෙරේ විශ්වාසය තැබීමට රාජපක්‍ෂ ආණ්‌ඩුව ක්‍රියා කිරීම අගය කළ යුතු බවද දක්‌වා ඇත.

එහෙත් අපට අතීතය අමතක නැත. 2008 මැයි 21 වැනිදා කැනඩාවේ ටොරොන්ටෝ ස්‌ටාර් පුවත්පතට එම ජෙරී ද සිල්වාම මෙලෙස පවසා තිබිණි. “කොටි සංවිධානයේ සටන්කාමීත්වය ගැන ඔවුන් නිසි ලෙස අගයා නැහැ. කරුණාගේ සහායෙන් නැගෙනහිර මුදා ගැනීමත් සමගම වන්නිය අල්ලා ගැනීම පහසු යෑයි ඔවුන් සිතනවා. නමුත් තමන් පසුබසින්නේ නැතැයි කොටි පෙන්නුම් කර තිබෙනවා. නැගෙනහිරදී මාස 18 ක්‌ තිස්‌සේ පැවැති දිගු හමුදා මෙහෙයුම නිසා කොටින්ට වන්නිය ශක්‌තිමත් කරගැනීමට කාලය ලැබුණා. ඔවුන් (කොටි) නිසි ලෙස සූදානමින් සිටිනවා.” (After
the euphoria of capturing the east with
assistance of Karuna faction. They thought
the Wanni would also be easy meat. But
Tigers have proved they are no pushover.
They are well prepared – RT Army
Commander Gerry de Silva)

එසේම කොටි රටේ අනිකුත් ප්‍රදේශවලට ද කලබලකාරී ක්‍රියාදාමයක්‌ පතුරුවන බව ද පවසා ඇති මේ හිටපු හමුදාපතිවරයා කොටින්ගේ සටන්කාමීත්වය ගැන ද දන්වා ඇත.

මෙවන් ප්‍රකාශයක්‌ තුළින් ඔහු එදා පැවසුවේ හමුදාව කොටින්ගේ හැකියාව අවතක්‌සේරු කළ බව නොවේද? එහෙත් ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතන කණ්‌ඩායමේ හැකියාව 2009 මැයි 17 වන විට සනාථ නොවූයේද?

ප්‍රාඩෝ වාහන භාවිත කරමින් සාවද්‍ය චිත්‍රපට නිපදවූ කොටින්ට චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය කළ නොහැකි යෑයි සිතිය හැකිද?

කීර්ති වර්ණකුලසූරිය

 

බලවේග ප්‍රශ්නය : සමහර ඩොනල්ඩ් ලා ජුඩලා හැමදාම එහේමයි …