ත්‍රස්‌ත මර්දන පනත අහෝසි නොකරන්න
ජාතික ආරක්‍ෂාව සමග ක්‍රීඩා කිරීමට ඉඩ නොදිය යුතුයි
-ස්‌විට්‌සර්ලන්තයේ සෙන්ටුග් පුවත්පත
ඇප මත නිදහස් වූ හිටපු කොටි ක්‍රියාකාරියකු වූ සුලක්‍ෂන් යාපනයේදී මාධ්‍ය අමතමින්.
129 ක් මරුමුවට පත් කරමින් ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය නිසා දැඩි ත්‍රස්‌ත මර්දන නීතිරීති ගෙන ඒම කෙරේ ප්‍රංශ රජයේ අවධානය යොමු වී ඇත.
මේ පසුබිම මැද මෙරට ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. ද්‍රවිඩ සන්ධානයද රාජ්‍ය නොවන සංවිධානද රටේ යුද්ධයක් නැතැයි කියමින් එකී පනත අහෝසි කළ යුතු බව කියා සිටී. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් විය නොහැකි නමුත් ඔවුන්ද පවසන්නේ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවයි.
ප්‍රංශයේ යුද්ධයක් තිබුණේ නැත. එසේ නම් ත්‍රස්‌තවාදීන් ප්‍රංශයේ පැරිස් නුවරට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කළේ ඇයි?
මේ තත්ත්වය මත ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු යෑයි පවසන පාර්ශ්ව රැඳවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තයන් මුදාහැරිය යුතු බවත් ඔවුන්ට පොදු සමාවක් දිය යුතු බවත් ප්‍රකාශ කර ඇත.
ද්‍රවිඩ සන්ධානය මෑතකදී පැවසුවේ අත්අඩංගුවේ සිටින කොටි නිදහස් නොකරන්නේ නම් රජයට සහය නොදෙන බවයි. එහෙත් මේ අත්අඩංගුවේ සිටින්නේ කවුද? පුපුරන ද්‍රව්‍ය භාවිතය ගැන මෙන්ම බෝම්බ කබා නිපදවිය හැකි හා අවි ආයුධ පුහුණුව ලත් ත්‍රස්‌තයන් පිරිසකි.
එසේම උතුරේ යුද්ධය අවසන් වූවත් උතුරේ ස්‌ථාන රැසක සැඟවුණු අවි නොතිබේ යෑයි සහතික විය හැකිද? නිදහස් කිරීමට නියමිත ත්‍රස්‌තයන් ඒකරාශි වී ත්‍රස්‌ත ප්‍රහාරයක් සැලසුම් නොකරනු ඇතැයි විශ්වාස කළ හැකිද? තමන්ට පුනරුත්ථාපනයක් පවා අවශ්‍ය නැතැයි අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තයන් පවසා තිබේ. එසේ නම් ඔවුන්ගේ ඊළඟ අරමුණ කුමක්‌ද?
මොවුන්ගෙන් පිරිසක් අධිකරණය වෙත ගෙන ආ අවස්‌ථාවේ බන්ධනාගාර රියෙන් එළියට පැමිණීමෙන් පසු පැවසූවේ ඊළම් අරගලය අන්හරින්නේ නැති බවයි.
එසේම සීක් ත්‍රස්‌තවාදීන් ඉන්දියාවේ රන්දෙවොල මෙහෙයුම දියත් කළ ජනරාල් අරුන් වෛද්‍යා ඝාතනය කළේ වසර 10 කට පසුවය. අද උතුරේ සිට දකුණට මාර්ග විවෘත වී ඇත. මාර්ග බාධක හෝ පරීක්‍ෂා කිරීම් නොමැත.
උතුරු පළාත් සභාව හා දේශපාලකයෝ දෙමළ ජාති ඝාතනයක් සිදු වූ බව කියමින් ගිනි ඇවිලවීමේ යෙදී සිටියි. එය අයහපත් තත්ත්වයකි. ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කර ගැනීමට හා හිටපු කොටි ත්‍රස්‌තයන් මුදාගැනීමට උත්සාහ කිරීමේ සැබෑ අරමුණ බලධාරීන් තේරුම් ගත යුතුයි.
උතුරේ දේශපාලකයන් තුළ ඇත්තේ සංහිදියාව නොවන බව ඔවුන් කරන දේශනවලින් සනාථ වේ.
වන්නි මෙහෙයුමින් පසු උතුරෙන් සියයට සියයක් අවි ආයුධ සොහාගත් බවට හමුදාවට සහතික කර නැත. අවි සඟවා ඇති තැන් දන්නේ කොටි ත්‍රස්‌තයන්ය.
මෙවන් පසුබිමක් මැද ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට ඇමරිකාවේ මෙන් දේශප්‍රේමී පනතක් ගෙන ඒමට රජයේ අදහස වී ඇතැයි වාර්තා වේ. එසේ වූවත් ඊළම් සංවිධාන 20 කට අධික සංඛ්‍යාවක් ලොව පුරා ක්‍රියාත්මක වේ. මේ සංවිධාන සතු ධනස්‌කන්ධය කොහෙන්දැයි මෙතෙක් හෙළි වී නැත. එකී සංවිධානවල අන්තවාදීන්ද සිටින බව හෙළි වී ඇත.
මේ තත්ත්වය මත ත්‍රස්‌තමර්දන පනත අහෝසි කළ යුතු යෑයි ශ්‍රී ලංකාවේ ජනතාව රජයෙන් ඉල්ලා නැත. එකී පනත අහෝසි කර හිටපු කොටි ත්‍රස්‌තයන් මුදා ගැනීම ද්‍රවිඩ සන්ධානයේ ඉලක්‌කය වී තිබේ.
ඒ සඳහා දියත් කළ හර්තාලය තුළින් පාසල් වෙළෙඳ සල් බැංකු, අවන්හල් සියල්ල වසා දමනු ලැබීය. යාපනය හා නෙල්ලි අඩි ප්‍රදේශවල කඩ සාප්පු විවෘත කර තිබූ වෙළෙඳසල් හිමියන්ට එක්‌තරා පිරිසක් තර්ජනය කර එම කඩ සාප්පු වසා ඇත.
ද්‍රවිඩ සන්ධානය හා ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණ විසින් දියත් කළ මෙම හර්තාල් ව්‍යාපාරයෙන් රජයට කියා සිටියේ අභියෝග කරන බවයි. ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස ඉල්ලන්නේ කුමක් සඳහා දැඩි රජයේ යාන්ත්‍රණය අවබෝධ කර ගත යුතුය. ඊට හොඳම නිදසුන රජයේ අමාත්‍යවරයකු වූ පලනි දිගම්බරම් නැමැත්තා කර ඇති ප්‍රකාශයයි. රට පුරා අරගල කිරීම තුළින් දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කර ගත හැකි නම් තමා ඇතුළු පිරිස ඊට සූදානම් බවත් ඔහු පවසා තිබේ.
මේ අතර තමන් ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ද ප්‍රහාර එල්ල කරන බව අයිසිස් ත්‍රස්‌තයන් තර්ජනය කර තිබේ.
මින් සනාථ වන්නේ ත්‍රස්‌තවාදය අවසන් වී නැති බවයි. මෙවන් අහයපත් වාතාවරණයක් මැද ද්‍රවිඩ සන්ධානයේ හා රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලීම මත ත්‍රස්‌තවාදී පනත අහෝසි කළ යුතුද?
ත්‍රස්‌තවාදීන් බලා සිටින්නේ අවස්‌ථාව එන තුරුයි. එම අවස්‌ථාවට අපි කිසිසේත් ඉඩ කඩ නොතැබිය යුතුයි.
ද්‍රවිඩ සන්ධානයේ හා රාජ්‍ය නොවන සංවිධානවල ඉල්ලීමට රජය එකඟ වූවොත් සිදු වන්නේ ඉදිරියේදී යම් ප්‍රශ්නයක් ඇති වූවොත් ඊට මුහුණදීම සඳහා අසීරු තත්ත්වයක් මතු වීමයි.
පුනරුත්ථාපනය කර නිදහස් කළ කොටි 12000 ක් අවි පුහුණුව ලැබූවන් බව අමතක නොකළ යුතුයි.
කීර්ති වර්ණකුලසූරිය