ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් යෑයි කියමින් කුමාර මහත්තයා හා දිමුතු ආටිගල පැහැරගැනීම ගැන පුළුල් පරීක්‍ෂණ

Spread the News

ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් යෑයි කියමින්
කුමාර මහත්තයා හා දිමුතු ආටිගල
පැහැරගැනීම ගැන පුළුල් පරීක්‍ෂණ

කුමාර් ගුණරත්නම් සිටි කුලී නිවසේ
හිමිකරුගෙන් ද ප්‍රශ්න කෙරේ
කටකතාවලින් කරන චෝදනා
ප්‍රතික්‍ෂේප කරනවා – පොලිස්‌පති

source:

සමන් ගමගේ, නෝමන් පලිහවඩන සහ සචිත්‍ර ඇල්වලගේ

ජනතා විමුක්‌ති පෙරමුණේ කැරලිකාර කණ්‌ඩායම හෙවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා (කුමාර මහත්තයා) හා එහි ජාත්‍යන්තර සබඳතා ලේකම් දිමුතු ආටිගල මෙනවිය පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් යෑයි පවසා පැහැරගෙන යැම සම්බන්ධයෙන් පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

පොලිසියේ කණ්‌ඩායමක්‌ මගින් මොවුන් දෙදෙනා පැහැරගත් බවට විවිධ පාර්ශ්ව වෙතින් කියෑවෙමින් තිබුණද එකී චෝදනා සියල්ල තරයේ ප්‍රතික්‍ෂේප කරන බව මේ පිළිබඳ කළ විමසීමකදී පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා “දිවයින” ට පැවසීය.

කුමාර් ගුණරත්නම් මහතා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී සන්නද්ධ කණ්‌ඩායමක්‌ මගින් පෙරේදා (7 දා) අලුයම පැහැරගෙන ගොස්‌ තිබෙන අතර දිමුතු ආටිගල මෙනවිය ඉකුත් 6 වැනිදා (සිකුරාදා) රාත්‍රි කොට්‌ටාව ප්‍රදේශයේ පැවැති පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවකට සහභාගි වී යළි නිවස බලා යමින් සිටියදී පැහැරගැනීමට ලක්‌ව ඇතැයි මේ සම්බන්ධව දැනට පොලිසියට ලැබී තිබෙන පැමිණිලිවල සඳහන්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව මේ වන විට පොලිස්‌ මූලස්‌ථානයට හා අතුරුගිරිය පොලිසිය වෙත පැමිණිලි දෙකක්‌ ඉදිරිපත්ව ඇත. පොලිස්‌ මූලස්‌ථානයට කළ පැමිණිල්ල පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන නියෝජිතයකු සහ අතුරුගිරිය පොලිසියට ඉදිරිපත් වූ පැමිණිල්ල දිමුතු ආටිගල මෙනවියගේ බාප්පා කෙනකු විසිනුත් ඉදිරිපත් කර ඇති බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය ඊයේ (8 දා) සවස්‌ වන විට පුද්ගලයන් කිහිපදෙනකුගෙන්ම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පියවර ගෙන තිබිණි.

ඒ අතර ප්‍රේමකුමාර ගුණරත්නම් මහතාට කිරිබත්ගොඩ කුලී නිවස රැගෙන දුන් බියගම ප්‍රදේශයේ ජනතා විමුක්‌ති පෙරමුණ ක්‍රියාකාරිකයෙක්‌, ගුණරත්නම් මහතා භාවිත කළ මෝටර් රථය ලබාදුන් කුලියට වාහන ලබාදෙන ආයතනයක හිමිකරු සහ කුලී නිවසේ හිමිකරු ද වෙති.

මෙම ප්‍රශ්න කිරීම්වලදී තමන් කුමාර් ගුණරත්නම් මහතාට කුලී පදනම මත නිවස ලබාදුන්නේ ඔහු හඳුනා නොගෙන බව ගුණරත්නම් මහතා ජීවත් වූ කුලී නිවසේ හිමිකරු පොලිසියට පවසා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මංගල මහ සභා රැස්‌වීම අද (09 දා) කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇති අතර කුමාර් ගුණරත්නම් මහතා ප්‍රථම වරට එහිදී ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට ද නියමිතව තිබිණි.

කුමාර් ගුණරත්නම් මහතා පැහැරගෙන යැම සඳහා පැමිණි සන්නද්ධ පුද්ගලයන් පෙරේදා (7 දා) අලුයම තමන්ගේ නිවසට පැමිණ විදුලි පහන් නිවා දමන ලෙසට පවසා නිවසේ රැඳී සිට අලුයම 5.00 ට පමණ නිවසින් පිටත්ව ගිය බවට අසල්වැසි කාන්තාවක්‌ මේවන විට පොලිසියට ප්‍රකාශයක්‌ ද දී ඇත.