Spread the News

දරුස්‌මාන් කණ්‌ඩායම ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය source:

එක්‌සත් ජාතීන්ගේ නීති රීති බිඳ දමමින් දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයන් ආරම්භ කරන්නැයි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.

ඇමරිකාව විසින් කෙටුම්පත් කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් විසින් නිරීක්‍ෂණය කරන බව දක්‌වන දරුස්‌මාන් කණ්‌ඩායම එකී යෝජනාව ප්‍රමාණවත් නොවන බවත් යුද අපරාධවලට සම්බන්ධ වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා ස්‌වාධීන විමර්ශනයක්‌ ස්‌ථාපිත කිරීමට මානව හිමිකම් කවුන්සිලය ක්‍රියා කළයුතු බවත් සංදේශයක්‌ යොමු කරමින් දන්වා තිබේ.

මානව හිමිකම් කවුන්සිලය වෙත දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම යෑවූ සංදේශය නොර්වේ කොටි ජාලය වෙතද ලැබී තිබේ.

මර්සුනි දරුස්‌මාන්, ස්‌ටීවන් රැප්නර් සහ යස්‌මින් සුනා විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත යවා ඇති සංදේශයෙන් රෝහල්වලට දැවැන්ත ගුවන් ප්‍රහාර හා බෝම්බ දමා ඇති බවටත් සිවිල් වැසියන්ට කිසිදු වග විභාගයක්‌ නැතිව ප්‍රහාර එල්ල කර ඇති බවටත් සාවද්‍ය තොරතුරු දක්‌වා ඇත.

ශ්‍රී ලංකාව සිය වගකීම් ඉටුකරන්නේද යන්න ගැන විමර්ශනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවගේ කාර්යභාරය බවද දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම තවදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරුස්‌මාන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මානව හිමිකම් සමුළුව වෙත යළිත් වරක්‌ නිර්දේශ ඉදිරිපත් කිරීමට දරුස්‌මාන් කණ්‌ඩායම ක්‍රියා කිරීම එක්‌සත් ජාතීන්ගේ නීති රීති උල්ලංඝනය කිරීමක්‌ යෑයි ජිනීවා ආරංචි මාර්ග පවසයි.