Spread the News

තොරතුරු සාවද්‍යයි… පරස්පරයි…

ප්‍රබල රටවල්වලින් දැඩි විවේචන:

source link:

දරුස්මාන් කල්ලිය තනිවෙලා

සුනිල් දයා අල්විස් /අරුණි මුතුමලී

මතභේදාත්මක දරුස්මාන් වාර්තාව පිළිබඳව ලොව ප්‍රබල රටවල් සහ සංවිධාන විසින් දැඩි විවේචන පළකිරීමත්, එකී වාර්තාවේ ඇති පරස්පර විරෝධී හා සාවද්‍ය තොරතුරු අනාවරණය වීමත්, මෙකී වාර්තාව සත්‍ය කරුණු මත පදනම් වී සකස් කළ එකක් බවට තහවුරු කර නැති බව එකී වාර්තාවෙන්ම පිළිගෙන ඇති තත්ත්වයක් මත දරුස්මාන් වාර්තාව පසුබිමෙහි සිටි පුද්ගලයන් හා සංවිධාන දැඩි අසීරුවට ලක්ව ඇති බැව් දැනගන්නට ඇත.

මේ වාර්තාව සම්බන්ධයෙන් අලුතෙන්ම අදහස් පළ කළ ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා ඉකුත්දා පැවසූයේ එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල ලේඛනයක් නොවන බවයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හා ප්‍රභාකරන් විනාශ කැර දැමීමට ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක හමුදා ගත් සියලු ක්‍රියාමාර්ග අනුමත කරන බවත් හෙතෙම පැවැසීය. මේ තත්ත්වය මත දරුස්මාන් වාර්තාව සම්පාදනය කිරීමට මූලික වූවන් හා එයට තොරතුරු සැපයූවන් දැඩි අසීරුවට ලක්ව සිටින බවත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි වාර්තා සඳහන් කරයි.

අන්තර්ජාතික යුද අධිකරණයේ පැමිණිලි මෙහෙයවන්නා වූ ලුවිස් මොරෙනෝ ඔකැම්පෝ කියා සිටියේ දරුස්මාන් වාර්තාව කියවා බැලීමටවත් උත්සාහ නොගන්නා බවයි.

චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක හොං ලී මහතා මේ වාර්තාව පිළිබඳ අදහස් දක්වා තිබුණේ ශ්‍රී ලංකා රජය හා ජනතාව මානුෂික මෙහෙයුමේ සුදුසු පරිදි ක්‍රියාකර ඇති අතර වෙනත් පිරිස් දැනට පවතින තත්ත්වය සංකීර්ණ කිරීමට කටයුතු කළ යුතු නොවන බවය.

දරුස්මාන් වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව චීන රජයේ අවධානය යොමු වූ බව ද පැවසූ ලී මහතා එහි ඕනෑම කරුණකට තනිවම මෙන්ම සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවද ප්‍රකාශ කෙළේය.

ශ්‍රීී ලංකා රජයට එරෙහිව කරුණු ඉදිරිපත් කළ දරුස්මාන් වාර්තාව සැකසූවන් තම සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ව්ලැදිමීර් පී. මිකායෙල්ව් ප්‍රකාශ කළ අතර රුසියානු රජයේ පූර්ණ විරෝධය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද එල්ල කෙරිණි.

මේ තත්ත්වය යටතේ දරුස්මාන් වාර්තාව සැකසූවන් හා එයට පක්ෂපාතී සියලුදෙනා තමන් විසින් කරන ලද කටයුත්ත පිළිබඳව පසුගාමී බවට හා අසීරුවට පත්ව ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති