Spread the News

දැන් රට අපරාධ පුරයක්‌…
– හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

* බැඳුම්කර වංචාවෙන් කෝටි 7200 කට වඩා පාඩු කරපු අය අපට මඩ ගහනවා…
* ඩොලර් එකක්‌ හරි මා ගාව තියනවා කියලා ඔප්පු කළොත් මගේ අතින් මම ම බෙල්ල කපා ගන්නවා
** උතුරු නැගෙනහිර නැති රටක්‌ හදන්නයි මේ ලැහැස්‌ති වෙන්නේ…

නිල වශයෙන් ඔහුට හිමිවිය යුතු නිවස තවමත් ලබා නොදීම නිසා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කොළඹදී නැවතී සිටින්නේ සිය ඤාතිවරයෙකුට හිමි, මිරිහාන ප්‍රදේශයේ නිවසකය. අප එහි යන විටත් මැතිවරණ කාර්යයයන් උදෙසා ඔහු වෙහෙසෙමින් සිටියේය. සිය කාර්ය බහුල දෛනික රාජකාරි අතරේ සැහැල්ලුවෙන් අප සමග මහින්ද රාජපක්‌ෂ මහතා සිදු කරන ලද කතා බහයි, මේ.

ප්‍රශ්නය – පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතිපාර්ශ්වයේ චෝදනා රාශියකට ඔබ ගොදුරු වුණා. විශේෂයෙන්ම හොරා… හොරා… කියමින් විශාල චෝදනාවක්‌ ඔබට එල්ල කළා. තවත් සමහරු ඔබගේ ගිණුම්වල ඩොලර් බිලියන 18 ක්‌ තිබෙන බවට චෝදනා කළා. මේ චෝදනා ගැන ඔබ මොකද කියන්නේ…?

පිළිතුර – හොරා… හොරා… කියලා විතරක්‌ නෙමෙයි, දැන් මට මිනීමරුවා කියලත් චෝදනා එල්ල කරනවනේ. අපි මිනීමරු පවුලක්‌ලු. මේ චෝදනා ඔක්‌කොම මට මුලින්ම එල්ල කළේ, එල්ටීටීඊ ය සහ එහි හිතවාදීන්. ඊට පස්‌සේ තමයි එජාපය ඔය චෝදනා එල්ල කරන්න පටන් ගත්තේ. රනිල්ම කිව්වනේ මාව පරද්දන්න එයා ඇමරිකාවේ ගිහිල්ලා මාස හයක්‌ ඉගෙන ගත්තා කියලා. (සිනහසෙමින්…) ඔය බොරු ගොතන හැටි වෙන්න ඇති, එයාට එහෙදි කියල දෙන්න ඇත්තේ. හැම එකටම හොරා… හොරා… කියලා, දැන් මොන හොරකමද මේ ගොල්ලො ඔප්පු කළේ. මේ පිට්‌පොකට්‌කාරයාගේ න්‍යායනේ. පිට්‌පොකට්‌කාරයා දුවන්නේ, අනිත් එකාට හොරා කිය කියානේ… අද වෙන කොට මහ බැංකු බැඳුම්කරයෙන් මේ ගොල්ලෝ කරලා තියන හොරකමෙන් වෙලා තියෙන පාඩුව රුපියල් කොටි 7200 කට වැඩියිනේ… බෙහෙත්වලින් පවා සල්ලි ගහගත්ත යහපාලනයක්‌නෙ මේක. මෙහෙම දවසින් දවස පාඩු වෙන වංචාවල් කරපු අයනේ අපිට හොරා කියන්නේ. මම පැහැදිලිව කියනවා, ඩොලර් කෝටි දහඅටක්‌ නෙමෙයි, එකම එක ඩොලරයක්‌ මා ගාව තියෙනවා කියලා ඔප්පු කළොත් මම පිහියක්‌ අරගෙන මගේ අතින් බෙල්ල කපා ගන්නවා, කියලා. අද මේ අය අපිට චෝදනා කරන්නේ ඒ ගොල්ලෝ මේ ටිකට කරපු ආසියාවේ ලොකුම හොරකම් ටික වහ ගන්නයි. මඩ ගැහිල්ල දිගටම කරගෙන යනවා. ඕනම පත්තරයක්‌, චැනල් එකක්‌ බැලුවොත් රනිල් කියන්නේ මොකක්‌ද, හොරා… හොරා… කියලා. අර හුරතලේට හදන රතු අලි පැටියා කියන්නේත් ඒකයි. සෝමවංශ අමරසිංහ මහත්තයා කියනවා අනුර කුමාර දිසානායක කියන රතු අලි පැටියා ජනතා විමුක්‌ති පෙරමුණේ සීනුව, අලියගේ වල්ගේ එල්ලලා කියලා.Êරට පාලනය කරන්නේ කොහොමද? රට සංවර්ධනය කරන්නේ කොහොමද? අනාගතයට යන්නේ, රට හසුරුවන්නේ, කළමනාකරණය කරන්නේ කොහොමද? මේ එක වචනයක්‌ කතා කරන්නේ නෑ. මේ දින සීයම කළේ මඩ ගහන එක විතරමයිනේ.

දින 100 වෙනුවට මාස 60 කට අලුත් පොරොන්දු පත්‍රයක්‌ දැන් හදලා. දින 100 කට ඉටු කරන්න බැරි පොරොන්දුද මේ මාස 60 කට කරන්න හදන්නේ. ඒක කරන්නත් බෑ. 2014 අවුරුද්දේ රටේ සංවර්ධනයට අපි ගත්ත ණයට වඩා වැඩි ප්‍රමාණයක්‌ මාස හයට මේ අය අරගෙන. නමුත් එක බෝක්‌කුවක්‌ හදලා නෑ. ලංකාවේ ඇවිදලා කියන්න එහෙම එකක්‌වත් හදලා තියෙනවද කියලා. මේකයි ඇත්ත. මේ අයට වැඩ බැරි බව රටම දැන් දන්නවා. එතකොට කරන්නේ ඒ නොහැකියාව වහගන්න අපිට තව තව මඩ ගහනවා. එදා කළෙත් ඕකමනේ…අපි මේ රට සංවර්ධනය කරලා, ලෝකයේ හොඳම රටවල ලැයිස්‌තුවට ඇතුල් කරන කොට ඒවාට මඩ ගහලා, ඒක කඩා කප්පල් කළා. අද ඒ සංවර්ධන කටයුතු සියල්ල නැවතිලා…

අපි බලයට පත්වෙලා සුමානයක්‌ ඇතුළත මේ නවත්තපු සංවර්ධන කටයුතු සියල්ල නැවත ආරම්භ කරනවා. රැකියා අහිමි කළ 15 ලක්‌ෂයට නැවත රැකියා ලබාදෙනවා. අපි බලයට පැමිණ නැවතත් මේ රට වැඩබිමක්‌ බවට පත්වීමත් සමග අහිමි වූ රැකියා නැවත ලැබෙනවා.

ප්‍රශ්නය – සංවර්ධන කටයුතු නතර වෙලා කියලා ඔබ පැවසුවත්, පසුගියදා මධ්‍යම අධිවේගී මාර්ගයට මුල් ගල තියලා එහි වැඩ කටයුතු ආරම්භ කරන්න රජය කටයුතු කරලා තියෙනවා….

පිළිතුර – මොකක්‌ද මේ බොරුව… අපි ඉදිකරගෙන ගිය, අධිවේගී මාර්ගයට ආයෙත් ගිහිල්ලා මුල් ගලක්‌ තියනවා. මේ අය තව ටික කාලයකින් කලා වැවට මුල්ගලක්‌ තියලා කියයි, ඒක හැදුවේ ඒ ගොල්ලෝ කියලා . බලයට ආපු ගමන්ම කළේ නුවර – කොළඹ අධිවේගී මාර්ගය හදන එක නතර කරපු එක. ජනතාව ඒකට විරෝධය දක්‌වන කොට හිමිට ගිහිල්ලා මුල් ගලක්‌ තියලා කියනවා, අපි මධ්‍යම අධිවේගය ආරම්භ කරා කියලා. අපි මේ මාර්ගය සැලසුම් කළේ, ගංවතුර උවදුර ඇති නොවෙන්න, කණු මත කරන ඉදිකිරීමක්‌ විදිහට. මේ අය ඒක සැලසුම් කරලා තියෙන්නේ, බිම ගොඩ කරලා ඉදිකරන්නයි . මෙහෙම හැදුවොත් වෙන්නේ, ගම්පහ ඇතුළු දිස්‌ත්‍රික්‌ක ගණනාවක ජනතාවට තමන්ගේ ගෙවල් අත්හැරලා යන්න. මම දැක්‌ක ඩිලාන් පෙරේරා අභියෝග කරලා තියෙනවා, විවාදයකට එන්න කියලා, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තුවෙනුත් විශාල මුදලක්‌ වංචා කරලා තියෙනවා, ඒක ඔප්පු කරනවා කියලා. අද සංවර්ධනය කියන්නේ, අපි කරපු වැඩවලට ඒ ගොල්ලන්ගේ නම දාලා බෝඩ් ගහන එකටනේ. එහෙම නැත්නම් අපි කරපුවා නවත්වලා අසාර්ථක සැලසුම් වලට යන එකටනේ. අපේ කාළේ මේ වැඩ කටයුතු කළේ විනිවිදභාවයෙන් යුක්‌තව. මොන තරම් චෝදනා කළත් ඒ එකක්‌වත් ඔප්පු කරන්න බැරි වුණේ ඒකයි.

ප්‍රශ්නය – ඔබට ගිය වාරයේදී තරුණ ඡන්ද ආකර්ෂණය කර ගන්න නොහැකි වු බවට කතාවක්‌ පැතිරුණා. මෙවර එහි වෙනසක්‌ තිබෙනවද…?Ê

පිළිතුර – ඒ කතාව සම්පුර්ණයෙන්ම මම පිළිගන්නේ නැහැ. මොකද, මේ රටට ආදරය කරන විශාල තරුණ පිරිසක්‌ මාත් එක්‌ක හැමදාම හිටියා. මට ආයිත් දේශපාලනයට එන්න කියලා වැඩිම ඉල්ලීම් ප්‍රමාණයක්‌ කළේ ජාතික බලවේගයේ පිරිස සහ තරුණ තරුණියෝ. දකින්න ඇතිනේ, ජනවාරි නම වෙනිදායින් පස්‌සෙ ෙµaස්‌ බුක්‌ එකේ වෙනස. ජනවාරි නම වෙනිදායින් පස්‌සේ ඇත්තටම වෙනසක්‌ වුණේ ෙµaස්‌ බුක්‌ එක. එදා සමහර තරුණ පිරිස්‌ හිතුවා යම් වෙනසක්‌ කරලා බලන්න ඕනේ කියලා . ඒක තරුණ ගතිය. අපෙත් තරුණ කාලයක්‌ තිබ්බා. මගේ ගෙදරත් තරුණ Êදරුවෝ තුන් දෙනෙක්‌ ඉන්නවා. තරුණකම ගැන ජීවිතේ හැම කාලේදීම මට අත්දැකීම් තියෙනවා. අද තරුණයන්ට තේරිලා තියෙනවා, රට යන්නේ ආපස්‌සට කියලා.Ê

එක්‌සත් ජාතික පක්‌ෂ පාලන කාලයේ 87-89 පැවැති භීෂණ යුගයේ මේ රටේ තරුණයෝ මරාදාල ටයර් සෑයවල්වල පිළිස්‌සුව හැටි, ලයිට්‌ කණුවල එල්ලා තිබූ හැටි, බටලන්ද වැනි වධකාගාරවල හිර කරගෙන වද දිදී මරපු හැටි, සමහරු ඒවා බල බල සතුට වින්ද හැටි, අද සිටින තරුණයන්ට අවබෝධයක්‌ තිබුණේ නැහැ. දැනුයි ඒ අය ඒවා දන්නේ. අපිට අපේ කාලෙදී ඒ ගැන රටට මතක්‌ කරල දෙන්න බැරි වුණා. මොකද අපි කවදාවත් පස්‌ස බල බල, ගමනක්‌ ගියේ නැහැ. අපි රට අරගෙන ගියේ ඉස්‌සරහටයි. තරුණයෝ කැමැති ඒකට. අද රට යන්නේ පස්‌සට කියලා, තරුණ පරපුරට හොඳට තේරිලා තියෙනවා. මේ පාර තරුණ ඡන්ද බහුතරයක්‌ අපිට ලැබෙයි කියල මට විශ්වාසයක්‌ තියෙනවා.Ê

දරුවන්ගෙ අනාගතය ආරක්‌ෂා කිරීම අපේ වගකීමක්‌. රටේ දරු සම්පත තමයි අපේ අනාගතය බවට පත්වන්නෙ. පාසල් අධ්‍යාපනයෙන් පස්‌සෙ විශ්වවිද්‍යාලයට යන්න බැරිනම් ඒ සියලු දෙනාට අපි අවස්‌ථාව දෙනව වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනයක්‌ ලබාගන්න. ඒ අයට අපි රු. 50000/- ක්‌ දෙන්න පියවර ගන්නවා. එතනින් එහාට පිටරටකට ගිහින් වැඩිදුර ඉගෙන ගන්න ඕනැ නම් අඩු පොලී පහසුකම් යටතේ රු. ලක්‌ෂ 10 ක ණය මුදලක්‌ ලබාදීමටත් කටයුතු කරන්න අපි සූදානම්

ප්‍රශ්නය – පසුගිය ජනාධිපතිවරණයේදී දින සියයේ වැඩ පිළිවෙළ ජනතාවගේ සිත් ගත්ත බව ඔබම ප්‍රකාශ කර තිබුණා. මාස හැටකින් අලුත් රටක්‌ හදන වැඩපිළිවෙළක්‌ මෙවර එජාපය විසින් ඉදිරිපත් කර තිබෙනවා. මේ වැඩපිළිවෙළටත් ජනතා ආකර්ෂණයක්‌ හිමිවෙයි කියලා ඔබ හිතන්නේ නැද්ද…?

පිළිතුර – දින සීයේ බොරුව ජනතාවට තේරුම් යැම නිසා තමයි අපිට රැල්ලක්‌ නිර්මාණය වුණේ. මේ අය දවස්‌ 182 ක්‌ රට පාලනය කළානේ.බහුතරය තිබුණු අගමැතිවරයා ඉඳිද්දී හොර පාරෙන් අගමැතිවරයකු දිවුරුම් දීලා කැබිනට්‌ මණ්‌ඩලයක්‌ හදලා තමයි, දින 182 ක්‌ රට පාලනය කළේ. මේ කාලය ඇතුළේ Êදුන් එක පොරොන්දුවක්‌වත් ඉෂ්ට කළේ නැහැ. ජීවන වියදම අඩු කරනවා කිව්වා. රුපියල් අනූවට පරිප්පු කන්න දෙනවා කිව්වා. දැන් කොහොමද? තේවලට රු. 80 ක මිලක්‌ දෙනවා කිව්වා. දැන් තේ වලට හම්බුවෙන්නේ රු. 45 යි. රබර්වලට රු. 350 ක මිලක්‌ දෙනව කිව්වා. මිල කොහොම වෙතත් දැන් රබර් කපන්නෙත් නෑ. කපන එකටත් ණයයි. වීවලට රු. 50 ක සහතික මිලක්‌ දෙනවා කිව්වා. දැන් රු.22, 18 ට ගන්නේ.

සමෘද්ධිය සියයට 200 කින් වැඩිකරනවා කිව්වා. මම රු. 3000 කරපු සමෘද්ධිය දෙපාරක්‌ වැඩි කළානම් රු. 9000 යි. දැන් 9000 ක්‌ ලැබෙනවද? මම දුන් දේ විතරමයි. ඊට පස්‌සේ රු. 500 සොච්චමක්‌ දීලා රු. 3500 කළා. මහජන ආධාරයත් නවත්තලා. අපිට කනගාටු, ආර්ථිකය කඩාහැලෙන්න දීලා කටයුතු කිරීම ගැනයි. දුන්න පොරොන්දු කිසි එකක්‌ ඉටුකළේ නැහැ.

ලබන 19 වැනිදායින් පස්‌සේ, වී වලට රු.50 ක්‌, තේවලට රු. 90 ක්‌, රබර්වලට රු. 380 ක්‌ ලබාදෙන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.

අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල අඩුකරලා, සමෘද්ධිලාභීන් සඳහා අවශ්‍ය වන සහනාධාරය ලබාදීමට අපි පියවර ගන්නවා. සංවර්ධනය ඇනහිටලා. වෙන එකක්‌ තියා, අපි හදපු පන්සල්වල වැඩත් නවත්තලා. වහළය විතරයි ඉදිකරන්න තියෙන්නේ. ඒකත් නොකර වැඩ නවත්තලා. ඒ විතරක්‌ නෙමෙයි, හිටපු අපේ සංස්‌කෘතික ඇමැතිවරයා ගෙන්වලා අස්‌ගිරිය විහාරය, මල්වත්ත විහාරයේ වැඩවලට මුදල් දුන්නේ ඇයි කියලා අහනවා. මේවා ගැන ප්‍රශ්න කළේ මොන පදනමක්‌ යටතේද…? පන්සල් හදපු එක, සිල් රෙදි දුන්න එක ගැනත් ප්‍රශ්න කරනවා. පන්සල් හදන්නත් බෑ අටපිරිකර දෙන්නත් බෑ. පුදුම ආණ්‌ඩුවක්‌නේ මේක.

Êප්‍රශ්නය – ඔබගේ ආණ්‌ඩුව යටතේ පාතාලය ක්‍රියාත්මක වුන බවට, ඒ ආණ්‌ඩුවේ කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, කැසිනෝ කාරයෝ හිටිය බවට චෝදනා එල්ල වුණා . ඒ වැරැද්ද ඔබ යළි බලයට පත්වුනොත් වෙන්නේ නැහැ කියන්න දෙන්න පුළුවන් සහතිකේ මොකක්‌ද…?

පිළිතුර – (සිනහසෙමින්) දැන් මේ රටේ කැසිනෝ නැද්ද…? තිබ්බ ටික වැහුවද …? අපේ කාලයේ එක කැසිනෝ ලයිසන් එකක්‌ දුන්නේ නැහැ. එහෙම තියෙද්දී තමයි, අපිට චෝදනා කළේ. කෝ දැන් කැසිනෝ තහනම් කළාද…? සෝමවංශ මහත්තයම කිව්වනේ, ජවිපෙ දේශපාලන මණ්‌ඩලය ඇතුලේ කැසිනෝ සල්ලි කැරකෙනවයි කියලා. ඒකෙ දැන් ඉන්න නායකයාගේ කටේ පිට්‌ටු නෙමෙයි, සල්ලි කුට්‌ටි කියලා .මම අහන්නේ ඒ කාගේ සල්ලි කුට්‌ටිද…?

දැන් බලන්න, අපේ ආණ්‌ඩුව ලොකු මෙහෙයුමක්‌ කරලා ගෙන්නලා දුන්න වෙලේ සුදාට මොකද වුණේ…? වෙලේ සුදා කාගේ නම් ද කිව්වේ…? වෙලේ සුදාගේ සාක්‌ෂි පොත අතුරුදන් වුණේ කොහොමද…? අපිට එතනෝල් ගෙන්නනවයි කියලා චෝදනා කරපු අය, අපේ ආණ්‌ඩුව කාලේ අවුරුද්දකට ගෙන්නපු එතනෝල් ප්‍රමාණය මාස තුනට ගෙන්නුවා. එතනෝල් බලපත්‍ර විසි ගණනක්‌ අලුතෙන් දුන්නා.

රණවිරුවන් දිවිහිමියෙන් රැකදුන් මාතෘභූමිය තුළ බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට තිබූ නිදහස යළිත් වතාවක්‌ තජනයට ලක්‌වෙලා තියෙනවා. අද වන විට උතුරු නැගෙනහිර පළාත තුළ පමණක්‌ නෙමෙයි, කොළඹ හා අවට ප්‍රදේශවල මහදවල් මිනී මරණ තත්ත්වයකට රට පත්ව වෙලා තියෙනවා. අපි ඉවරයක්‌ම කරලා දාපු පාතාලය, දැන් මහ දවාලේ වෙඩි තියා ගන්නවා. අද මිනී මරලා බෑග්වල දාගෙන යන රටක්‌ බවට මේක පත්වෙලා. මෙහෙම ඒවා අපි චිත්‍රපටියකින් වත් දැක්‌කද…? පාතාලයෝ තමන් ගාව ඉඳලා වෙඩි තියාගත්තම ඒකටත් පලි, රාජපක්‌ෂලා. ඒ තරමට දැන් මේ අය බංකොලොත් වෙලා. ඒ අයම කියනවා, මේක ඒගොල්ලන්ගේ අය ළඟ තියාගෙන ඉන්න පාතාලයේ අයගේ වැඩක්‌ කියලා .

මම පැහැදිලිවම සහතික වෙනවා, රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරටම අපි එක නීතියක්‌ එදා ක්‍රියාත්මක කළා වගේම ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා කියලා.

ප්‍රශ්නය – රණ විරුවන් දිනා දුන් දේශය යළි අනතුරේ බවට ඔබ විසින් නිතරම ප්‍රකාශ කරනවා. එජාපයට හැමදාම මේ චෝදනාවෙන් දමා ගැසීම සන්ධානයේ පුරුද්දක්‌ වෙලා තියෙනවා. මෙවරත් ඔබ මතුරන්නේ ඒ මන්තරයමයි ….

පිළිතුර – ජනාධිපතිවරණයේදී අපි කිව්වා, දෙමළ සන්ධානය එක්‌ක මේ අයගේ රහසිගත ගිවිසුමක්‌ තියෙනවා කියලා. දින්නට පස්‌සේ දෙමළ සන්ධානයේ අයම ඒ ගැන කිව්වේ නැද්ද…? අද ආයෙත් ඒ තර්ජනයම තියෙනවා. දෙමළ සන්ධානය විසින් ඊළමේ පළමු පියවර ලෙස ඉදිරිපත් කර තියෙන ෆෙඩරල් රාජ්‍යයක්‌ හා ඉන් ඔබ්බට ගිය රාජ්‍යයක්‌ බිහි කිරීමේ ප්‍රතිපත්තියට එකඟවී මේ අය මොන ආකාරයේ පොරොන්දුවලට අත්සන් කරලද කියලා කියන්න මම දන්නේ නෑ.

ජාතියට අහිමිවෙලා තිබූ උතුරු නැගෙනහිර වෙරළින් 2/3 ක්‌ නිදහස්‌ කරගෙන රටේම සාමය ගොඩනඟලා බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදී අපට මේ රට භාරදෙන්න පුළුවන්වීම ගැන මම සතුටු වෙනවා.ඒ වගේම ආර්ථික වශයෙන් රට ගොඩනඟලා ඩොලර් බිලියන 25 ක්‌ තිබූ ජාතික ආදායම තුන් ගුණයක්‌ එනම් ඩොලර් බිලියන 75 ක්‌ දක්‌වා වැඩි කළා. විදුලිය සියයට 98 කට දීලා දුරකථන පහසුකම් සියයට 120 කින් වැඩි කරලා පරිගණක සාක්‌ෂරතාවය සියයට 3 සිට සියයට 45 දක්‌වා නංවා ජනතාවට සැපවත් ජීවිතයක්‌ ගත කළ හැකි සාමකාමී රටක්‌ අපි එදා භාරදුන්නා.

උතුරේද, නැගෙනහිරද, දකුණේද, බටහිරද, කන්ද උඩරටද කියලා වෙනසක්‌ තිබුණේ නෑ. අපි සියලුම ජාතීන් වෙනුවෙන් පළාත් වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකළා. එවැනි රටක්‌ තමයි මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. මේ රට අපිට නැතිවෙයිද, නැවත වාරයක්‌ ආපස්‌සට යයිද කියලා, ජනතාවට දැන් බයක්‌ ඇතිවෙලා තියෙනවා.. එක්‌සත් ජාතික පක්‌ෂයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පොරොන්දු පත්‍රිකාවෙන් බොහෝ පැහැදිලිවම කියා තිබෙනවා ශ්‍රී ලංකාව අලුත් රටක්‌ කරනව කියලා. ඔව්… ඒක නම් පැහැදිලිවම පේනවා. උතුරු නැගෙනහිර පළාත්වලට මේ අය ෆෙඩරල් දුන්නට පසු සිතියම වෙනස්‌ වෙයි. ඒ සිතියම වෙනස්‌ වෙන කොට අපිට ඉතුරුවන්නේ උතුරු නැගෙනහිර නැති කුඩා රටක්‌. මේක තමයි රනිල්ගේ පොරොන්දුව. ඔහු ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටුකරයි.

ඒකීය රටක්‌ ලෙස සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි රටක්‌ මගින් තමන්ගේ ගරුත්වයද ආරක්‌ෂා කර ගනිමින් ඕනෑම ආගමක්‌ ඇදහීමේ අයිතිය තහවුරු කරමින් ජීවත් වීමේ අයිතිය අපි පැහැදිලිව කියලා තියෙනවා. අපිට මොන සම්පත් දුන්නත් පැහැදිලිවම මේ රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ.

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර, අනුර බාලසුරිය
ඡායා- සමන් අබේසිරිවර්ධන