Spread the News

දෙපා කපා දමනු හැකි ‘බීඩියත්’ මුවහත් අවියකි

තිස්‌හත් වසරකට පෙර අප වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස ප්‍රථම වතාවට ඇසූ දුටු රෝග තත්ත්වයක්‌ හා රෝගීන් පිළිබඳ මතකය අලුත් වන්නට හේතු කාරක වන්නේ, බීඩියෙන් එතරම් අහිතකර කාරියක්‌ නොවන බවට පළවන මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශනයකි. අලුත් වන මේ මතකය ඔස්‌සේ හිත යොමුවන්නේ මෙදා ජාතික රෝහල ලෙස හැඳින්වෙන එදා කොළඹ මහ රෝහලේ විසි හතේ වාට්‌ටුවටය.

කින්සි පාරේ වෛද්‍ය විද්‍යාලය ඉදිරිපස ගේට්‌ටුවෙන් මහ රෝහලට ඇතුළුව කොරිඩෝවේ පියවර කිහිපයක්‌ ඇවිද යන විට දකුණු පසින් ඇති තෙමහල් වාට්‌ටු සංකීර්ණයේ ඉහළ මාලයේ විසි හතේ වාට්‌ටුවේ කොටසක්‌ වෙන් වී තිබුණේ ශල්‍ය වෛද්‍ය ෂෙරිප්දීන් මහාචාර්යවරයාටය. ඔහු රුධිර වාහිනීමය රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වූ හෙයින් වාට්‌ටුවේ සිටි රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතය නියෝජනය වූයේ රුධිර වාහිනීමය ගැටලු සහිත රෝගීන්ගෙනි.

සායනික පුහුණුවේ යෙදෙන වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස මේ රෝගීන්ගේ රෝග ඉතිහාසය සොයා බැලීමට පමණක්‌ නොව, ලියා තබා ගෙන කණ්‌ඩායම් සාකච්ඡාවේදී වාට්‌ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැවතුණු හා අදටත් පවතින සිරිතය. එහිදී, එක්‌ විශේෂිත රෝග තත්ත්වයකට ගොදුරු වූ රෝගීන් පිළිබඳව වන කතා බහේදී නිරතුරුව ඇතුළත් වූයේ බීඩි භාවිතය සම්බන්ධයෙන් වන සඳහනකි. මේ රෝග තත්ත්වය නම් වන්නේ, පර්යන්ත ධමනි ආබාධය (Peripheral arterial disease) වශයෙනි. මෙය විශේෂිතව බල පවත්වනු ලබන්නේ, දෙපා වල ඇති ධමනි හෙවත් හෘදයේ සිට රුධිරය රැගෙන යන වාහිනී වලටය.

මේ රෝගයේ රෝග ලක්‌ෂණ පහල වන්නේ, දෙපාවලට රුධිරය සැපයෙන රුධිර වාහිනී ඇතුළත අවහිර වීමක්‌ හේතුවෙනි. ක්‍රම ක්‍රමයෙන් සිදුවන මේ අවහිරයේදී පළමුව ඇතිවන රෝග ලක්‌ෂණය වන්නේ, යම් දුරක්‌ ඇවිදීමේදී ඇතිවන වේදනාවයි. වේදනාව ඇතිවූ තැනදී ඇවිදීම නතර කළවිට වේදනාව තාවකාලිකව නැතිවීමත්a, යළිත් ටික දුරක්‌ ඇවිදීමේ දී නැවත වේදනාව ඇතිවීමත් එහි මූලික අවස්‌ථාවය. රුධිර වාහිනී අවහිරය තව තවත් වර්ධනය වීමේ දී,…

විවේකව ගත කරන මොහොතකදී පවා වේදනාව දැනීමෙන් නොනවතින මේ රෝග ස්‌වභාවය වේදනාකාරී කල්ගත තුවාලවලටද පේශි පටක මැරී යාමටද නිමිත්තක්‌ වන්නේ අවසානයේ දෙපාවල කොටස්‌ද අයිතිකරුවන්ට අහිමි කරමිනි.

දුම්පානය ප්‍රධාන හේතුකාරය ලෙස සැලකෙන මෙම රෝග තත්ත්වයේදී, දුම ලැබෙන ආකාරය අනතුර ඉහළ දැමීමේදී බලපවත්වන අන්දම පැහැදිලි වන්නේ අදාළ පර්යේෂණ වාර්තා මඟිනි. ඒ අනුව පර්යන්ත ධමනි ආබාධයට ළඟා වීමේ පහසුම ධූම මාර්ගය සැපයෙන්නේ ශ්‍රී ලංකාවේ බීඩියෙන් හා අග්නිදිග ආසියාතික රටවල ඒ හා සමානව විවිධ නාමයන්ගෙන් යුක්‌තව නිපදවෙන දුම්වැටි මඟිනි. දශක කිහිපයක්‌ තිස්‌සේ නිකුත් වී ඇති විවිධ පර්යේෂණ වාර්තා තුළ නොවෙනස්‌ව දැකිය හැක්‌කේ, බීඩිය හෝ ඒ හා සමාන තවත් නිපැයුම් ඔස්‌සේ දුම් බොන්නන්ගේ දෙපා කපා දැමෙන රෝගය සඳහා පවතින පැහැදිලි අවදානමය.

අදාළ පර්යේෂණ වාර්තා අතර දැක්‌විය හැකි 2014 දී ප්‍රකාශිත එක්‌ ඉන්දියානු පර්යේෂණ වාර්තාවකට අනුව පර්යන්ත ධමනි ආබාධයන්ට ලක්‌ වූ රෝගීන්ගේ ඉහළම ප්‍රතිශතය නියෝජනය වන්නේද බීඩියට හුරු වූ පිරිසෙනි. පර්යන්ත ධමනි ආබාධය සඳහා හේතුකාරක වන වෛද්‍ය විද්‍යාත්මක ස්‌වභාවයන් දෙකකි. ඒ ‘ඇතරොස්‌ක්‌ලෙරොසිස්‌’ Atherosclerosis හා ‘ත්‍රොම්බොඇන්ජයිටිස්‌ ඔබ්ලිටරාන්ස්‌’ Thromboangitis obliterans වශයෙනි. අදාළ පර්යේෂණයේදී එලෙස ‘ඇතරොස්‌ක්‌ලෙරොසිස්‌’ තත්ත්වයේ පසු වූ රෝගීන්ගෙන් සියයට 39 ක ප්‍රතිශතයක්‌ද ‘ත්‍රොම්බාඇන්ජයිටිස්‌ ඔබ්ලිටරාන්ස්‌’ තත්ත්වයේ පසු වූ රෝගීන්ගෙන් සියයට 86 ක ප්‍රතිශතයකටද වග කියා ඇත්තේ බීඩියය. එහිදී සිගරට්‌ භාවිතය පිළිවෙලින් මේ තත්ත්වයන් සඳහා හේතුකාරක වී ඇත්තේ සියයට 22 ක හා සියයට 14 ක ප්‍රතිශතයන් සහිතවය.

දුම්පානයේද විශේෂිතව බීඩි භාවිතයේද යෙදීමෙන් රෝග කරුමය උරුම කොට ගන්නා පිරිස බොහෝ විට රෝහලට යන්නේ, වෛද්‍යවරයකු හමුවන්නේ රෝගයේ මුල් අවස්‌ථාවලදී නොව පසු අවස්‌ථාවලදීය. ඒa දුම්පානයේ අනතුර පිළිබඳව පමණක්‌ නොව තමන්ට වැළඳී ඇති රෝගයේ රෝග ලක්‌ෂණ පිළිබඳවද පවතින නොදැනුවත් බව අනුවය. එහෙයින්ම එහිදී කළ හැකි ප්‍රතිකාරය ලෙස ඒ වන විට ඉතිරිව පවතින්නේද, ස්‌නායු පද්ධතියේ එක්‌ ස්‌නායු කොටසක ඡේදන ශල්‍යකර්මයක්‌ Lumbar
sympathectomy හෝ දණහිසට පහළින් හෝ ඉහළින් දෙපා කපා දැමීමේ ශල්‍යකර්මයක්‌ Amputation පමණි.

කවුරු කවුරුත් අද හරිහැටි වටහා ගත යුත්තේ කිනම් ආකාරයේ දුම්පානයක්‌ හරහා වුවද, සිරුරට ඇතුළුවන්නේ මාරාන්තික විෂ කාරක බවය. 4000 කට වැඩි රසායනිකයන්ද, 43 කට වැඩි පිළිකා කාරකද එකතුව නිෂ්පාදනය වන දුම්වැටිය සිගරැට්‌ටුව, සුරුට්‌ටුව හෝ බීඩිය වන්නේ හැඩය හා සැකසුමට අනුකූලව පමණි. සියල්ල තුළ එතී ඇත්තේ වසවිසමය. සිගරැට්‌ටුවේ පවතින අවදානමද සහිතව බීඩිය කිසිවකුට ළංවන්නේ දෙපා වෙන්කොට දැමීමේ අමතර බල පුළුවන්කාරකමක්‌ද සහිතවය. කවදා, කොතැනකදී නිකුත් වුවද, බීඩි බීවාට කමක්‌ නැති බවට පළවන කියුම් කමකට නැති ප්‍රකාශ ලෙස බැහැර කිරීමට සමාජය දැනුවත් විය යුත්තේ එහෙයිනි

වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි