Spread the News

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක්‌ සඳහා
සියලු දෙමළ පක්‍ෂ සමඟ සාකච්ඡාවකට අප සූදානම්

ඊ.පී.ඩී.පී. සංවිධානය source:


ඊ.පී.ඩී.පී. නායක අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා

උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ පිළිබඳ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ (ඊ.පී.ඩී.පී.) ස්‌ථාවරය පැහැදිලි කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කළ නිවේදනය මෙසේ පළ කෙරේ.

මෙරට වෙසෙන සියලු ජන කොටස්‌වලට සුසංවාදීව දිවි ගෙවීමට හැකි යාන්ත්‍රණයක්‌ පිළිබඳ සැලැස්‌මක්‌ ඉදිරිපත් කොට ක්‍රියාත්මක කිරීමට පසු ගිය කාලයේ සිටි දේශපාලන නායකත්වයන් අපොහොසත් වූ බව ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වන අපි පුන පුනා දශක දෙකකටත් අධික කාලයක්‌ ප්‍රකාශයට පත්කොට ඇත්තෙමු. එහි ප්‍රතිඵලය වී ඇත්තේ අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු ජීවිත ගුණාංග දර්ශක විදහා දක්‌වමින් ලොවට ආදර්ශයක්‌ වෙමින් සංවර්ධනය කරා පිය නගන රටක්‌ වන ශ්‍රී ලංකාව විනාශයේ හිණි පෙත්තෙන් යළිදු වරක්‌ පුබුදුවීම සඳහා කටයුතු කිරීමට සිදුවී තිබීමයි.

දෙමළ කතා කරන ජනතාවට විඳින්නට සිදුවී ඇති අසාධාරණකම් පිළිබඳ ඊ.පී.ඩී.පී. ය පසුගිය දශක දෙක තුළ දිගින් දිගටම ප්‍රකාශයට පත් කළ දේම උගත් පාඩම් හා සංහිඳියා කොමිසම විසින් 2011-12-16 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සනිටුහන් කොට ඇති නිරීක්‍ෂණයන් හා නිර්දේශයන් මගින් අවධාරණය කොට ඇත. එම වාර්තාවේ සඳහන් කොට ඇති ඊ.පී.ඩී.පී. ය මෙතෙක්‌ ඉදිරිපත් කොට ක්‍රියාත්මක කළ යුතු යෑයි ප්‍රකාශ කරන ලද ඉතා වැදගත් කරුණු කිහිපයක්‌ පෙන්වා දීමට කැමැත්තෙමි.

* පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාවේ එකිනෙකට පසුව බලයට පැමිණි රජයන් දෙමළ ජනතාවට සැබෑ ලෙසම බලපෑ අසාධාරණකම් විසඳීමට අපොහොසත්වීම ජනවාර්ගික අර්බුදයට ප්‍රධාන හේතුව බව කොමිසමේ මතයයි.

* දිගු කලක පටන් දේශපාලන එකඟතාවකට එළැඹීමට බාධාවක්‌ව පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය නිම කිරීමෙන් අනතුරුව බලය විමධ්‍යගත කිරීම පහසු කරන දේශපාලන එකඟතාවක්‌ ජාතීන් අතර සංහිඳියා ක්‍රියාවලිය සඳහා ඉතා වැදගත් වේ.

* උපරිම ලෙස ප්‍රාදේශීය සහ සමාජයේ පහළම ස්‌ථානවලට (තණකොළ මුල් මට්‌ටමට) විශේෂයෙන්ම බලය විමධ්‍යගත කිරීම මෙන්ම මධ්‍යම රජය තුළ බලය බෙදාගැනීමක්‌ද කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කොට ඇත.

* ජනතාවගේ අවශ්‍යතාවන් සපුරාලීමට උචිත බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදයන් සැකසීමට කල්පනාවට ගත යුතු අතර එම කර්තව්‍යයේදී පළාත් සභා ක්‍රමය ක්‍රියාවට නැංවීමේදී මතුවූ හා එයින් උගත් පාඩම් ප්‍රයෝජනයට ගත යුතු යෑයි කොමිසම සඳහන් කරයි.

* ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයෙන් බලය පළාත්බදව විමධ්‍යගත කිරීමේදී මතු වන විසඳිය යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් කිනම් ආකාරයට කටයුතු කළ යුතුද යන වග සඳහන් කොට ඇතත් බලය කොපමණ ප්‍රමාණයකට විමධ්‍යගත කළ යුතුද යන්න හා එය ක්‍රියාවට නංවන ආකාරය තවමත් නොවිසඳී පැවතීම ගැන වාර්තාවේ සඳහන්ව ඇත.

* අමතර යාන්ත්‍රණයක්‌ ලෙස පළාත් සභා නියෝජිතයින්ගෙන් සැදුම් ලත් දෙවැනි මන්ත්‍රී මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කිරීම සලකා බැලිය යුතු බව කොමිසම සඳහන් කොට ඇත.

* දෙමළ භාෂාව ප්‍රතිපත්ති ගැන ව්‍යවස්‌ථාමය හා නීතිමය විධිවිධාන දැනට පැවතුණද ඒවා ක්‍රියාත්මක කිරීමේදී අඩු ලුහුඬුකම්ද අසාර්ථකවීම්ද දක්‌නට ඇති බව කොමිසන් සභා වාර්තාවේ සඳහන් කොට ඇත.

* රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායි ලෙසට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද කොමිසම සඳහන් කරයි.

* එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය නිම කිරීම හා විධායක ජනාධිපතිවරයකුගේ නායකත්වය යටතේ පැවතෙන ශක්‌තිමත් පුළුල් පදනමක්‌ මත ස්‌ථාපිතවූ රජයෙන් ජනවාර්ගික ප්‍රශ්නයට ඒ අනුව පැහැදිලි විසඳුමක්‌ ලබා දීමට මහඟු අවස්‌ථාවක්‌ උදාවී ඇති බව ඇඟවෙන පැහැදිලි පණිවුඩයක්‌ ද ලබා දී ඇත. සංහිඳියාව, එකමුතු බව, සෑම ජන කොටස්‌ අතර සහයෝගය, සුළු ජන කොටස්‌වලට විඳීමට ඇති අසාධාරණකම්වලට දේශපාලන විසඳුමක්‌ ලබා දීම හා සියලු රට වැසියන්ගේ යුක්‌ති සහගත අයිතීන් සහතික කිරීම ප්‍රවර්ධනය වන ආකාරයේ සුවිශාල පරාසයක පිහිටා විසඳිය යුතු දේශපාලනමය ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සාර්ථක එකඟතාවක්‌ ඇති කරලමින් ඉදිරියට පියමං කිරීම ඒ අවස්‌ථාව බව කොමිසම සඳහන් කරයි.

* සංහිඳියාව ඇති කරලීම සහ ජාතිය ගොඩ නැඟීමේදී රජය කළ යුත්තේ සුළු ජාතීන් වෙත සුහදතාවයේ සිය දැත දිගු කරලීමය. සුළු ජාතීන්ද රජය හා රටට අදාළ තම භූමිකාව තේරුම් ගෙන නිවැරැදි ස්‌ථානයේ ස්‌ථාන ගත විය යුතු යෑයි කොමිසම පෙන්වා දෙයි.

* ඉඩම් ප්‍රතිපත්ති ස්‌ථාපිත කරලීමේදී යෝජිත ජාතික ඉඩම් කොමිසමට රජයේ ඉඩම් සාධාරණව ජනතාව අතර බෙදාහැරීමේ උපමාන අන්තර්ගත කළ යුතුය. මෙය 13 වැනි සංශෝධනයේ අවශ්‍යතාවක්‌ ලෙස සඳහන් කර තිබුණද ඒ සඳහා නීති කෙටුම්පතක්‌ සකස්‌ කර ඇතත් පැවැති රජයන් එය නීතියක්‌ ලෙස සම්මත කර නොගෙන තිබීම කනගාටුවට කාරණයක්‌ බව කොමිසම පවසයි.

* අවතැන්වූවන් පදිංචි කිරීම හා රජය දැනට අනුමත කර ඇති කාර්යයන් සඳහා ජාතික ඉඩම් කොමිසමේ නිර්දේශයන් අවශ්‍ය නොවන බවත් රජය සතු ඉඩම් අන්සතුවීම වළක්‌වාලන දැඩි පාලන නීති භාවිතාවක අවශ්‍යතාවද කොමිසම නිර්දේශ කර සිටී.

උගත් පාඩම් හා සංහිඳියා කමිටු වාර්තාවේ විශේෂයෙන්ම සුළු ජාතීන්හට විඳීමට සිදුවී ඇති අසාධාරණකම් හා සංහිඳියාව පිළිබඳ සඳහන් කර ඇති ඉහත නිර්දේශ අප අනුමත කරන අතර එම නිර්දේශයන් කල් නොයවා ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටිමු.

ඒ අතරම එම වාර්තාවේ ඊ.පී.ඩී.පී. ය සම්බන්ධයෙන් සඳහන් කර ඇති විවේචන ගැන අපි අතිශය කනගාටුවට පත් වන්නෙමු. ඊ.පී.ඩී.පී. යට එරෙහිව නඟා ඇති චෝදනා එසේම අපි තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ මහ ලේකම් හා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා මහතා කොමිසම ඉදිරියේ සිය සාක්‍ෂිය දෙන අවස්‌ථාවේදී සිය සාක්‍ෂි සාවද්‍ය ලෙස පරිවර්තනය වන බව කොමිසන් සභාවේ ගරු සාමාජික මණ්‌ඩලයට ප්‍රකාශ කොට ඇති බව දන්වන්නෙමු. එසේ සාවද්‍ය ලෙස පරිවර්තනයවීමේ ප්‍රතිඵලය වී ඇත්තේ එතුමා ප්‍රකාශ කළ කරුණු වැරැදිසහගත ලෙස වටහා ගැනීමට ඉඩ සැලසීමයි. එයට අමතරව මෙම සාවද්‍ය පරිවර්තන ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙරාතුව මාධ්‍යයට නිකුත් කිරීම හිතා මතාම සිදු කළ ක්‍රියාවක්‌ බවයි. කොමිසම ඊ.පී.ඩී.පී. යට එරෙහිව නගන චෝදනා ඩයස්‌පෝරාවේ තවමත් ඉතිරිවී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් සැලසුම්සහගතව සිය වාසියට උපයෝගී කොට ගත් මහජනතාව අතර සිටින කිහිප දෙනකු මගින් ඊ.පී.ඩී.පී. යට එරෙහිව හා අපගේ නායකත්වයට එරෙහිව චරිත ඝාතන කිරීමට යොදවා ගන්නා බව වටහා ගැනීමට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම අසමත් වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ හා ප්‍රභාකරන් අතර සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව නිරායුධ තත්ත්වයට පත් වුණු ඊ.පී.ඩී.පී. සාමාජිකයන් විවෘතවම අවි දරමින් ඔබ මොබ ගැවසුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ගොදුරු බවට පත්වුණ බව කොමිසම පිළි ගනී. එහෙත් එල්.ටී.ටී.ඊ. යේ ගොදුරු බවට පත් වුණු එම පවුල්වල ඥතීන් කොමිසම ඉදිරියට ගෙන්වා ඔවුන්ගේ සාක්‍ෂි සටහන් කර ගැනීමටත් ඔවුනට හිමි විය යුතු වන්දි ලබා දීම නිර්දේශ කිරීමටත් කොමිසම අසමත් වී ඇත.

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජනතාව ආගම්, වාර්ගික හා භාෂාමය වෙනස්‌කම් නොතකා අවංකව බලාපොරොත්තු වන්නේ සාමයයි. ඔවුන් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටින්නේ අරුත් බර දේශපාලන විසඳුමකටයි. දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ විසඳිය යුතු වාර්ගික ප්‍රශ්නවලට සාධාරණ යුක්‌තිසහගත විසඳුමකුයි.

විඩාබරව හා දුර්වලව ඇති දෙමළ ජනතාව උදක්‌ම හා නොඉවසිල්ලෙන් බලා සිටින්නේ එම දේශපාලන විසඳුම ප්‍රයෝගිකව විසඳිය හැකි ප්‍රවේශයකටයි. සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දේශපාලන ප්‍රශ්නවලට තිරසාර පිළිතුරු සපයමින් ඔවුන්ගේ අභිලාෂයන් මල්ඵල ගැන්වීමට නිසි කාලය දැන් එළැඹ ඇත. එම නිසා දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ යුක්‌ති සහගත අභිලාෂයන් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු කරන අතර අනෙකුත් ප්‍රජාවන්ගේ පූර්ණ සහයෝගය ඊට ලබා ගත හැකි විසඳුමක්‌ අපි යෝජනා කරන්නෙමු.

* ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවීමෙන් දේශපාලන විසඳුම ආරම්භ කළ යුතුයි. පොලිස්‌ බලතල පළාත් සභාවට ලබාදීමට සුදුසු වාතාවරණයක්‌ නිර්මාණය වන තෙක්‌ 13 වැනි සංශෝධනයෙන් දක්‌වා ඇති පළාත් සභාවලට දී ඇති පොලිස්‌ බලතල තාවකාලිකව අත්හිටුවීම.

* ඊළඟ අදියරයේදී පළාත් සභා වැඩි අධිකාරි බලයකින් යුත්ත ආයතන ලෙසට පත් කිරීමට 13 වැනි සංශෝධනයට වැඩි බලතල පිරිනැමිය යුතුය. බලය විමධ්‍යගත කිරීමත් සමග බෙදාගත යුතු විෂයයන් ජීවිතයේ බහුවිධ සංකල්ප බහු සංස්‌කෘතික සමාජය සමව බෙදා ගනිමින්, සියලු ප්‍රජාවන්ට සාධාරණයක්‌ හා නීතියේ ආධිපත්‍යයට බහු විවිධත්වයටá සෑම පුද්ගලයකුටම ප්‍රජාතන්ත්‍රීයව තමන්ගේ අදහස්‌ නොබියව ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළුව සමාජයේ නිදහස්‌ව කටයුතු කිරීම පදනම් කොට ගත් අවසාන නිගමනයකට එළැඹිය යුතුයි.

* මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමෙන් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ අයිතීන් හා උදාරත්වය නැවත ස්‌ථාපිත වනු ඇත. එසේම දෙමළ භාෂාව කතා කරන ජනතාව තුළ ඔවුන්ගේ දේශපාලන විසඳුම අදියරෙන් අදියර විසඳේවි යන විශ්වාසය ඇති වනු ඇත. පළාත් සභාවලට බලය විමධ්‍යගත කිරීම ක්‍රමක්‌ක්‍රමයෙන් සිදු වන විට දෙමළ හා සිංහල ජනතාව තුළ ඇති බිය පහවී ඔවුන් අතර විශ්වාසය ගොඩ නැගෙනු ඇත.

අපි අපගේ ප්‍රශ්නවලට ප්‍රායෝගිකව හා පැහැදිලි දර්ශනයකින් යුතුව එම ප්‍රශ්න විසඳීමට ප්‍රවිෂ්ට වේ නම් එම ප්‍රශ්න ඉතා සුහදව විසඳීමට හැකි වනවා පමණක්‌ නොව සෑහීමකට පත් විය හැකි සමෘද්ධිමත් අනාගතයකටද හිමිකම් ලැබෙනු ඇත. ප්‍රායෝගික දැක්‌ම හා අපගේ ජනතාවගේ සහාය දිගින් දිගටම ලැබෙනු ඇතැයි යන විශ්වාසය අපගේ ඉදිරි ගමනට අවශ්‍ය ශක්‌තිය ලබා දෙනු ඇත.

පාර්ලිමේන්තු තේරීම් කමිටුව ස්‌ථාපිත කිරීම ගැන අපි සතුටින් පිළිගන්නා අතර එය තව තවත් ප්‍රමාද නොකර පිහිටුවීමටත් මෙම තේරීම් කමිටුවෙන් කරන නිර්දේශයන් අවසන් තිරසාර විසඳුම් ලෙසට හා ක්‍රියාත්මක කිරීමේ කාල රාමුවකට අනුව සිදු කරන ලෙස ඉල්ලා සිටිමු. පාර්ලිමේන්තු තේරීම් කමිටුව ආරම්භ කොට සාකච්ඡා ඉදිරියට කෙරී ගෙන යැමේදී කමිටුවට කල් නොයවා එකඟතාවකට ඒමට උපකාරිවීම හා එම සාකච්ඡා සාර්ථකව කරගෙන යැමටත් අපගේ පක්‍ෂය තේරීම් කමිටුව සැදුම් ලත් සියලුම පක්‍ෂ සමඟ සාකච්ඡා අරඹනු ඇත. මේ සම්බන්ධයෙන් පොදු අවබෝධයකට පැමිණීම සඳහා සියලු දෙමළ පක්‍ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමටත් දෙමළ පක්‍ෂ සංසදය නැවත ක්‍රියාකාරී තත්ත්වයකට ගෙන ඒමටත් අප පක්‍ෂය අවශ්‍ය කටයුතුවල නිරත වනු ඇත.