Spread the News

දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම්
ඉල්ලන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ


මෙරට අභ්‍යන්තර ගැටලුවලට අත පෙවීමට
ඉන්දියාවට කිසිදු අයිතියක්‌ නැහැ

– අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර

අකිත පෙරේරා source:

මෙරට අභ්‍යන්තර ගැටලුවලට අත පෙවීමට ඉන්දියාවට කිසිදු අයිතියක්‌ නැතැයිද එවැනි ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ආකාරය සම්බන්ධව රජය ඉන්දියාවට ලබාදී ඇති පොරොන්දු ඉෂ්ට නොකළ යුතු යෑයි අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (31 දා) පැවසීය.

ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹ 07 සව්සිරිපායේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය. එම එකමුතුව නියෝජනය කරමින් දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ, තුන්හෙළ ජාතික ව්‍යාපාරය, මානෙල් මල් ව්‍යාපාරය, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, රකිමු ශ්‍රී ලංකා සංවිධානය යන සංවිධානයන්හි නියෝජිතයන් මේ සඳහා සහභාගි වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ එස්‌. එල්. ගුණසේකර මහතා මෙසේද කීය.

දෙමළ ජාතික සන්ධානය කියන්නේ දේශපාලන ගණිකාවන්. ඔවුන් මේ රජයෙන් විවිධ ඉල්ලීම් කරනවා. විශේෂයෙන්ම ඉඩම් සහ පොලිස්‌ බලතල ඔවුන් ඉල්ලා සිටිනවා. ඔවුන් එම බලතල ඉල්ලන්නේ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නොවෙයි. ඔවුන්ගේ බලය සහ වරප්‍රසාද පිළිබඳ සලකායි.

ඔවුන් පසුගිය කාලයේ කොටින්ට නමස්‌කාර කරමින් සිටියා. කොටි විසින් දෙමළ ජනතාව මරණ කොට මුනිවත රැක්‌කා. කොටි ඊ.පී.ඩී.පී. සංවිධානයේ සාමාජිකයන්ව මැරුවා. දෙමළ ජාතික සන්ධානය ඒ ගැන කිසිවක්‌ ප්‍රකාශ කළේ නැහැ.

ඒත් අද ඔවුන් පොලිස්‌ බලතල ගැන කතා කරනවා. ඒත් ඔවුන් එදා සිටම අපට කළේ හතුරුකම් පමණයි. අනෙක ඒ අයට පමණද මානව හිමිකම්. අපට මානව හිමිකම් නැද්ද. මේක මහ විකාරයක්‌.

අද වෙනකොට ඉන්දීය ධීවරයන් ඇවිත් උතුර නැගෙනහිර ජනතාවට ආහාර වශයෙන් ගැනීමට තිබෙන මත්ස්‍ය සම්පත හොරකම් කර ගන්නවා. ඒත් දෙමළ ජාතික සන්ධානය ඒ ගැන වචනයක්‌ කියන්නේ නැහැ.

මුස්‌ලිම් කොන්ග්‍රසය සෞදි අරාබියාවට මොකුත් නොකියනවා වගේ, දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන්ලා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රලා ඉන්දියාවට එරෙහිව කිසිවක්‌ කියන්නේ නැහැ. ඒ වගේම තමයි රනිල් ඉන්දියාව එක්‌ක තරහ වෙන්නත් කැමැති නැහැ. ඉදිරියේ දී අපට මානව හිමිකම් කොමිසම ඉදිරියේ පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරනවා කියලා ඇමරිකාව කියනවා.

ඒත් ඉන්දීය හමුදාව මේ රටට පැමිණ රටේ ජනතාව මරාදමන්න ක්‍රියා කරන කොට ඇමරිකාව මොනවාද කළේ. අපට මානව හිමිකම් නැද්ද? එල්.ටී.ටී. ය බෝම්බ ගහනකොට අපේ මිනිස්‌සු විශාල වශයෙන් මියගියා. එතකොට ඇමරිකාවට මානව හිමිකම් ගැටලු නැහැ.

මෙවැනි තත්ත්වයන් තිබෙද්දිත් ආණ්‌ඩුව කරන සමහර දේවල් හරිම මෝඩයි. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උත්සවය පවත්වන්න රුපියල් මිලියන 800 ක්‌ විතර වියදම් කර තිබෙනවා. වත්මන් ඇමැති මණ්‌ඩලය නඩත්තු කරන්න අධික මුදලක්‌ දරනවා. ඒ වගේම මෝඩ පනත් ගෙනල්ලා පස්‌සේ ඒවා ඉවත් කරගන්නවා.

කොහොම වුණත් අපේ රටට එරෙහිව එන බලවේගවලට අපි රටක්‌ වශයෙන් මුහුණ දිය යුතුයි. ඒ සඳහා විපක්‌ෂයත් සහයෝගය දැක්‌විය යුතුයි. ඒත් අපේ රටේ විපක්‌ෂය බලන්නේ හැමවිටම දේශපාලන වාසි ලබා ගන්නයි.

පළාත් සභාවලට පොලිස්‌ බලතල දුන්නොත් මහ ඇමැතිවරු හත්දෙනාටම හමුදා හතක්‌ ඇති වෙනවා. එහෙම දුන්නොත් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? අනේ දෙවියනේ අපි මහින්ද රාජපක්‌ෂගෙන් ඉල්ලා සිටින්නේ ඔය ඉඩම්, පොලිස්‌ බලතල දෙන්න එපා කියලා. ඒක බැගෑපත් ඉල්ලීමක්‌.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා –

මේ රජයට විශාල බලපෑමක්‌ තිබෙනවා 13 වෙනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කරන්න. මානව හිමිකම් රකින්න කියලා. ඒ අතරේÊදෙමළ ජනතාව තිම්පු සාකච්ඡාවලදී ඉල්ලපුවා ආයෙත් ඉල්ලනවා. මේ රජයේ ඉන්න එක්‌සත් ජාතික පක්‌ෂයෙන් පාත්වෙච්ච සමහර ඇමැතිවරුන් මේවා ගැන එක එක දේවල් කියනවා. ඒවා වහා නැවැත්විය යුතුයි.

ජනාධිපතිවරයා කියලා තිබුණා 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා පොරොන්දුවක්‌ දුන්නේ නැහැ කියලා. අපේ ගෞරවය ඒ සඳහා හිමි වෙනවා. අපි ජාතික සංවිධාන එකමුතුව විදිහට කියනවා දෙමළ ජාතික සන්ධානයට, ඇමරිකාවට, ඉන්දියාවට, බටහිර බලවතුන්ගේ අදහස්‌වලට නතුවිය යුතු නැහැ කියලා.

දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමි සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර, ආචාර්ය පණ්‌ඩුල ඇඳගම යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.