දෙමළ ජාතික සන්ධානය වෙත
ශ්‍රී ලංකාව වනා හී ලේ හලන විප්ලව තුනකට මුහුණ දුන් රාජ්‍යයෙකි. නිවැරැදි විග්‍රහයක යෙදුණහොත් මේ විප්ලව තුනට ම ශක්තිමත් පදනමක් හෝ නිවැරැදි දර්ශනයක් නො තිබිණි. 1971 කැරැල්ල, 1988 – 1989 කැරැල්ල 1983 න් උද්දීප්තිමත් වූ දෙමළ ත්‍රස්තවාදය මුල් කරගත් කැරැල්ල ලෙස එය හඳුන්වා දිය හැකි ය. මේ අර්බුදවලට රටේ ප්‍රභූන්ගේ හා දේශපාලකයන්ගේ හැසිරීම හා තීන්දු ගැනීම බලපෑ බව රහසක් නො වේ. දේශපාලකයන්ගේ ද ප්‍රභූන්ගේ ද වරදක් ඇත. එහෙත් ඊට එක ම විසැඳුම කැරලි ගැසීම නො වේ. වසර හාරසිය ගණනක් විදේශාධිපත්‍යයට සෘජු ලෙස ම යටත් ව පැවැති ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය හා නිදහස තහවුරු කරන ප්‍රධාන බලවේග දෙකක් තිබේ.
පළමුවැන්න ජාතීන් අතර සමගිය උදා කිරීම ය. දෙවැන්න රට තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීම ය. මේ දෙක ම කළ හැක්කේ සන්සුන් ව හා බුද්ධිමත් ව තීන්දු ගැනීමෙන් ය. වසර තිහක් පුරාවට පැවැති එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය නිමාවට පත් කොට නැතහොත් පරාජයට පත් කොට වසර දෙක හමාරක් ගෙවී ගොස් තිබේ. එහෙත් ජාතීන් අතර සමගිය ගොඩනැඟීම යන කාරණයේ දී තව ම අප අතර කඹ ඇදිලි පවතී. ඊට බලපාන ප්‍රධාන සාධකය බවට පත් ව ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යි. ඔවුන් දැන් අනුගමනය කරනුයේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රතිපත්ති වලට සමාන ප්‍රතිපත්ති සමූහයකි. එදා ප්‍රභාකරන් ප්‍රමුඛව එල්. ටී. ටී. ඊ. සංවිධානය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ එක ම නියෝජිතයා ලෙස ය. එදා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නො තිබිණි.
දෙමළ ජාතික සංධානය ක්‍රියාත්මක වූයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් ලෙස නො ව එල්. ටී. ටී. ඊ. සංවිධානයේ කීකරු බළල් අතක් ලෙස ය. එහෙත් කොටි සංවිධානයේ පරාජයෙන් පසු එම සංවිධානයට යම් නිදහසක් හා ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබී තිබේ. එහෙත් එම සංවිධානය එය යථාර්ථවාදී ලෙස භාවිත කරන බවක් පෙනෙන්නට නැත. ජාතීන් අතර සමගිය හා සංහිදියාව සඳහා බල පවත්වන ප්‍රධාන සාධකය දේශපාලන විසඳුම බව බොහෝ දෙනා පිළිගනිති. ඒ සඳහා අවශ්‍ය සෑම පියවරක් ම ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ආණ්ඩුව විසින් ගෙන තිබේ. එහි ප්‍රධාන පියවරක් වන්නේ දෙමළ ජාතික සංධානය සමග තවදුරටත් සාකච්ඡා කිරීම ය. ඊළඟට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විසඳුම් යෝජනාවලියක් සකස් කිරීම ය.
මේ කරුණු දෙක ම අර්බුදයට යමින් පැවැතීමට එක් හේතුවක් වී ඇත්තේ දෙමළ ජාතික සංධානය නැවත ඊළාම් රාජ්‍යයක් පතා සටන් කිරීමට පටන් ගැනීම නිසා යැයි සමහරු තර්ක කරති. එම තර්කයෙහි සාධාරණ බවක් ඇත’යි ටී. එන්. ඒ. හැසිරීමට අනුව පෙනී යනු ඇත. මේ සම්බන්ධයෙන් මතු කළ හැකි ප්‍රධාන තර්කය වන්නේ ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නය යි. ඒ ඒ පළාත් වලට පොලිස් බලතල හා ඉඩම් පිළිබඳ බලතල ලබා දිය යුතු ද? දීර්ඝ කාලයක් තිස්සේ එය සාකච්ඡා වී ඇත. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ඉලක්කය වූයේ කුමක් ද? වෙන ම රාජ්‍යයෙකි. එය ඊළාම් නමින් හැඳින්වීමට කටයුතු යොදා තිබිණි. මේ වනා හි දෙමළ නිජබිම පිළිබඳ ප්‍රශ්නය යි. නිජබිම අනුව වෙන ම රාජ්‍යයක් බිහි කිරීම යනු ස්වාධීන රාජ්‍යයන් කඩා වෙන් කරන ත්‍රස්තවාදී සංකල්පයෙකි.
එම සංකල්පය අනුව ඉදිරියට ගමන් කළ හොත්; ශ්‍රී ලංකාව කැබැලිකරණයට ලක් ව විනාශ වනු ඇත. අප ඉන්දියාව ආදර්ශයට ගත යුතු ය. ඉන්දියාවේ ජාතීහු විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. ඔව්හු විවිධ ආගම් අදහති. විවිධ භාෂා කතා කරති. එහෙත් අවසන් විග්‍රහයේ දී ඒ සියලු දෙනා ඉන්දියානුවෝ වෙති. අප ද එම තත්ත්වයට යා යුතු ය. දෙමළ ජාතික සංධානය දෙමළ ජාතිකයන්ගේ එක ම නියෝජිතයා නො වූව ද ඔවුනට ද යම් බලපෑමක් කළ හැකි බව ආණ්ඩුව තේරුම් ගෙන තිබේ. ඒ අනුව ඔවුන් සමග දීර්ඝ සංවාදයකට ආණ්ඩුව සූදානම් ය. එහෙත් දෙමළ ජාතික සංධානය ඉන් මගහැර යන්නේ මන්දැ’යි ප්‍රශ්නයෙකි. උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ඉල්ලීමක් පැමිණ ඇත.
ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතු යැයි ඉල්ලීමක් ලැබී ඇත. මේ ඉල්ලීම් සාධාරණ ද? පළමුව කළ යුත්තේ කුමක් ද? අපට ලැබී ඇත්තේ ඉතා වැදගත් අවස්ථාවෙකි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ශ්‍රී ලංකාව සහජීවනය සහිත රාජ්‍යයක් බවට පත් කිරීමේ අධිෂ්ඨානය සියලු ජාතීන් විසින් භාරගත යුතු ව තිබේ. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියා කලාපය නිසා වැඩියෙන්ම බැටකෑවේ දෙමළ ජනතාව යි. දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය නිසා වැඩියෙන් ම බැටකන සාධකය ලෙස දෙමළ ජනතාව පත් කළ යුතු ද?