Spread the News

දෙමළ සන්ධානයේ ද්‍රෝහි ක්‍රියා
පරාජය කිරීමට පියවර ගත යුතුයි

සිරිමන්ත රත්නසේකර source:

දෙමළ ජාතික සන්ධානයේ රටට ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කිරීමට රජය දැන්වත් කටයුතු කළ යුතු යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (28 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේ කිරීම ප්‍රමාද කිරීම රටට එරෙහි බලවේග තව තවත් ශක්‌තිමත් වීමක්‌ බවත් පැවසූ හෙතෙම ප්‍රශ්නය ඔඩු දිවීමට පෙර ඊට අවැසි ප්‍රතිකර්මය දීම රජයේ වගකීමක්‌ බවත් කියා සිටියේය.

උතුරු පළාත් සභාවේදී පෙරේදා (27 වැනිදා) සම්මත කර ඇති යෝජනා සියල්ලෙහි ඉලක්‌කය රට වටලෑමට සිටින අන්තර්ජාතික බලවේගයන්ට ඒ සඳහා අවශ්‍ය වටාපිටාව සැකසීම බවත් පැවසූ ඇමැතිවරයා ඇතිවී ඇති මෙම තත්ත්වය පිළිබඳව තම පක්‍ෂය උතුරු පළාත් සභාව පැවැත්වීමට පෙර සිටම ප්‍රකාශ කළ බවත් කීවේය.

තම පක්‍ෂය ඇතුළු සෑම පක්‍ෂයකටම ආණ්‌ඩුවේ කටයුතු පිළිබඳව විවේචන තිබුණද රට පාවා දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ හෙතෙම මෙම අනතුරින් රට ගලවා ගැනීම සඳහා සියලු දෙනා එක්‌විය යුතු බවත් සඳහන් කළේය.