Spread the News
දෙමළ සමාජය කාළකණ්ණි කරන සම්බන්ධන්ගේ වෑයම පරදවමු!!!
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ 14 වැනි වාර්ෂික සමුළුව පසුගිය 27 වන දා ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මඩකලපුවේ දී පැවැත්විණි. එහි දී සම්බන්ධන් ප‍්‍රකාශ කර ඇත්තේ යුද්ධය අවසන් කාලයේ සිදු වු යුධ අපරාධ ගැන අන්තර්ජාතික පරික්‍ෂණයක් අවශ්‍ය බවත් අපට අපේම කියා ආර්ථික, දේශපාලන, සාමාජීය හා සංස්කෘතික නිදහසක් තිබිය යුතු බවත් දෙමළ ඊළමක් සඳහා ගෙන ගිය සන්නද්ධ සටන පරාජයට පත්ව ඇතත් ඊළම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෙන් දිනා ගැනීමට ඉඩක් විවර වී ඇති බවත් ඒ සඳහා බලාපොරොත්තු සහගතව අදිටනින් කටයුතු කළ යුතු බවත් ප‍්‍රකාශ කර ඇත. එහි දී සම්බන්ධන් මහතා වැඩිදුරටත් කියා ඇත්තේ අපේ මේ අරමුණ අපගේ නිදහස වෙනුවෙනුත් දිවි පිදු විරුවන් වෙනුවෙනුත් ඔබ වෙනුවෙනුත් බවයි. ඒ අරමුණ වෙනුවෙන් තමිල් අරසු කච්චි පක්‍ෂය ජාත්‍යන්තර බලවේග සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන බව ද වැඩිදුරටත් පවසා ඇත.
තමිල් අරසු කච්චි පක්‍ෂ සමුළුවේදී නායක සම්බන්ධන් කළ කතාවෙන් පැහැදිලි වන්නේ ඊළාම් පිපාසය ඔවුන් අත්හැර නොමැති බවයි. දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් ඊළාම් සිහිනයේත් පියා වුයේ තමිල් අරසු තච්චි පක්‍ෂයේ නිර්මාතෘ එස්.ජේ.වී. චෙල්වනායගම්ය. චෙල්වනායගම්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් දශක 3ක් අවිහිංසාවාදී රාමුව තුළත් තවත් දශක තුනක් ලේ වගුරන සන්නද්ධ අරගල මාවතේත් දෙමළ බෙඳුම්වාදීන් දෙමළ සමාජය දක්කාගෙන ගියේය. ප‍්‍රතිඵලය ඇස්පනාපිටම රටම දැක්කේය. සම්බන්ධන් ද සියැසින් දැක්කේය. චෙල්වනායගම්ලාගේ, අමිර්තලිංගම්ලාගේ, සම්බන්ධන්ලාගේ, ප‍්‍රභාකරන්ගේ ඊළාම් වියරුවෙන් දෙමළ සමාජයට අත් වී ඇති ඉරණම පැහැදිලිය. දෙමළ සමාජය කබලෙන් ලිපට වැටි ඇත. සියවසක් පසුපසට තල්ලූ වී ඇත. කාලකණ්ණිකමට ඇඳ වැටි ඇත. දෙමළ සමාජයට අත් වු මේ ඉරණමට වගකිව යුත්තේ සම්බන්ධන්ලා ඇතුළු දෙමළ බෙඳුම්වාදී දේශපාලන නායකයින් හා න්‍යායාචාරීන්ය. සිංහලයින් සමඟ සමගියෙන් ජිවත් වෙමින් සිංහල ප‍්‍රදේශවලට පැමිණිළ ජනයා අත්කරගෙන ඇති දියුණුව, සංවර්ධනය හා නවීකරණය සම්බන්ධන්ලාට නොපෙනෙන්නේ ජාතිවාදී බෙඳුම්වාදී වියරුවෙන් ඇස් අන්ධ වී ඇති නිසාද? තව ද යුධ අපරාධ ගැන අන්තර් ජාතික පරික්‍ෂණ ඉල්ලමින් දෙමළ සමාජය වහල්භාවයෙන් නිදහස් කල රණවිරුවන්ගේ ලේ ඉල්ලා සිටිමට තරම් අකෘතක්‍ඥ වී ඇත.
එක් කලෙක ඉන්දියාව ඊළමක් දිනා දෙනු ඇතැයි සිතා ඉන්දියාවේ සහය ලබා ගෙන වෙනම රටක් හැදීමට දෙමළ බෙඳුම්වාදීන් උත්සහ කලේය. එය ව්‍යාර්ථ වු තැන දැන් ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් හරහා ඊළමක් දිනා ගැනිමට මාන බලමින් ඇත. මාවෙයි සේනාධීරාජා ද ප‍්‍රකාශ කර ඇත්තේ උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිම බවයි. මේ මිථ්‍යා නිජබිම් සංකල්පය ගොඩනඟා ගත්තේ එම දෙපළාතේ අහිංසක සිංහල හා මුස්ලිම් ජනතාව බියවද්දා ජනවාර්ගික පවිත‍්‍රකරණයකින් මිස ඉතිහාසය පුරා ආ ප‍්‍රවාහයකින් නොවේ. මාවෙයි සේනාධිරාජලා තවමත් නිජබිම් මිථ්‍යා කතා වපුරමින් සිටින්නේ ඊළාම්වාදී වියරුවෙන් මිස දෙමළ ජනතාවට එයින් ඇති සුගතියක් නිසා නම් නොවේ. දෙමළ සමාජයට සමෘද්ධිය අත් වී ඇත්තේ සිංහල ප‍්‍රදේශවල පදිංචි වී එයින් ඇතිවී ඇති සම්මීශ‍්‍රණයෙන් මිස ඊනියා නිජබිම් බහුභූත කතා වලින් නොවේ. සම්බන්ධන්ලා, මාවෙයි සේනාධීරාජලා දෙමළ සමාජය විනාශ කරන්නට සිහින දකිමින් ඇත. ඒ සිහිනය දෙමළ සමාජය තවත් දශක ගණනාවකට කාලකණ්ණිකමේ පතුලට ඇඳ දැමීමට දරන මානසික වියරුවක් මිස මහ පොළවේ කිසිදා යථාර්ථයක් වන්නක් නොවේ. දෙමළ සමාජය කාළකණ්ණිකර විනාශ කර දැමිමේ සම්බන්ධන්ලාගේ මෙම වෑයම පරාජය කිරීමට දෙමළ සමාජයට සැබෑ ලෙසම ආදරය කරන සියළු බලවේග පෙරට පැමිණිය යුතුය.නිශාන්ත ශ‍්‍රි වර්ණසිංහ

ජාතික සංවිධායක
2012.05.31