Spread the News

නැගෙනහිර ඉඩම් කොල්ලයට එරෙහිව
හිමිනම මාරාන්තික උපවාසයක

හේමන්ත රන්දුණු source:

නැගෙනහිර පළාතේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් කොල්ලකෑම ප්‍රදේශයේ වෙහෙර විහාරස්‌ථානවලට කෙරෙන කෙනෙහිලිකම් සහ ඇතැම් රජයේ නිලධාරීන් පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමට එරෙහිව මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ඊයේ (14 වැනිදා) පෙරවරු 6.08 සිට මාරාන්තික උපවාසයක්‌ ඇරඹූහ.

මඩකලපුව මංගලාරාම විහාරය ඉදිරිපිට ඉදිකරගත් විශේෂ කුටියක සිට සුමනරතන හිමියන් සිය උපවාසය ආරම්භ කළ අතර උන්වහන්සේගේ සහායට විවිධ ප්‍රදේශවලින් භික්‍ෂූන්වහන්සේලා පිරිසක්‌ ද වැඩම කර සිටියහ.

මෙම මාරාන්තික උපවාසය වහාම නතර කරන ලෙස කියමින් සුමනරතන හිමියන්ට පසුගිය දින කීපය තිස්‌සේම නාඳුනන පුද්ගලයන්ගෙන් මරණීය තර්ජන එල්ල වී තිබිණි.

එහෙත් ඒ තර්ජන ගර්ජන ගණනකට නොගත් සුමනරතන හිමියෝ නැගෙනහිර පළාතේ සිංහල ජනතාවට සහ විහාරස්‌ථානවලට එල්ල වී තිබෙන අසාධාරණකම්වලට එරෙහිව නොබියව සිය මාරාන්තික උපවාසය ආරම්භ කළහ.

උපවාසයේ යෙදී සිටින සුමනරතන හිමියන්ට එල්ල වී ඇති තර්ජන ගර්ජන නිසා මඩකලපුව නගරයේ ආරක්‍ෂාව තර කිරීමට ද පොලිසිය පියවර ගත්තේය.

මංගලාරාම විහාරස්‌ථානය අවට ප්‍රදේශයේ විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යෙදවීමට ද මඩකලපුව පොලිසිය කටයුතු කර තිබිණි.

උපවාසයේ යෙදී සිටින සුමනරතන හිsමියන් කරන ඉල්ලීම් අතර මඩකලපුව විහාරස්‌ථානයට බාධා වන අයුරින් විහාර භූමිය අල්ලාගෙන කර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, මංගලාරාම විහාර මන්දිරය ප්‍රතිසංස්‌කරණය කිරීමට 2004 වසරේ රජයෙන් වෙන් කරන ලද රුපියල් විසිපන් ලක්‍ෂයක මුදලට සිදුවූයේ කුමක්‌ද යන්න හෙළි කිරීම, නැගෙනහිර පළාතට පැමිණ අවතැන් වූ සිංහල ජනතාවට පෙර අයිතීන් ලබාදීම, මායිම් ගම්මානවල අපාදුක්‌ විඳින සිංහල පවුල්වලට මූලික අයිතීන් ලබාදීම යන කරුණු ද ඇතුළත් වෙයි.

මෙම මාරාන්තික උපවාසය පිළිබඳ සඳහන් කරමින් මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ ද යවා ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

ජනාධිපතිතුමනි, වසර අටක පමණ කාලයක්‌ පුරාවට මඩකලපුව දිස්‌ත්‍රික්‌කය තුළ විනාශ වන විහාරස්‌ථාන පිළිබඳවත්, ක්‍රියාකාරීව කටයුතු කරන ශ්‍රී මංගලාරාම විහාරස්‌ථානයේ විනාශය පිළිබඳවත් මා කොතෙක්‌ නිසි බලධාරීන්ට පෙන්වා දුන්නද ඒ සෑම අවස්‌ථාවකදීම විවිධ ජාති විරෝධී හා ආගම් විරෝධී කණ්‌ඩායම් විසින් මට හා මාගේ පිරිසිදු පරමාර්ථයට නින්දා අපහාස කළ බව නොරහසකි.

වසර තිහක ඉතා අමිහිරි අත්දැකීම් අතර දීර්ඝ කාලයක්‌ භික්‍ෂූන්වහන්සේ නමක්‌ හැටියට මම ද සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් ජාතික සමගිය හා ආගමික පුනර්ජීවනය ඇති කිරීමට මෙම පළාත තුළ කටයුතු සිදු කළේ අප ජාතියටත් මව් භූමියටත් ඇති සැබෑ ගෞරවය හා බැඳියාව නිසාවෙනි. පැවැති යුද සමයේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය යන සියලු ආරක්‍ෂක අංශ එම අපමණ වෙහෙසකාරී උත්සාහයන්ට දැක්‌වූ සියලු සහයෝගය හා ගෞරවණීය උපකාරයන් පිළිබඳ සිහිපත් කරන්නේ පුණ්‍යානුමෝදනා පූර්වක සිතිනි. එනමුත් වර්තමානය වන විට බොහෝ සෙයින් එම කුරිරු ත්‍රස්‌තවාදය ඔබතුමාට පින්සිදු වන්නට නිමා වී ඇත. කනගාටුවට කරුණ නම් ජනාධිපතිතුමනි, ඔබතුමා දැනුවත් විය යුතු ඉතා ප්‍රබල සිවිල් සමාජීය ප්‍රශ්න ඇති කරන වටපිටාවක්‌ නැගෙනහිර පළාත තුළ මඩකලපු දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කර ගනිමින් සිදුවෙමින් පැවතීමයි.

ජනාධිපතිතුමනි, අතීතය සිහිකර අනාගතය සුරක්‍ෂිත කරන වැඩපිළිවෙළක්‌ වර්තමානය තුළ ඔබතුමන් විසින් කරගෙන යන බව අප පැහැදිලිව දකිනා අතර එයින් මෙම ජනතාවටත්, අපටත්, නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන්ටත් සාධාරණයක්‌ නොවූ නිසාවෙන් ඒ පිළිබඳව ඔබතුමන්ගේ පූර්ණ මැදිහත්වීම මේ සඳහා අපේක්‍ෂා කරමි. ජනාධිපතිතුමනි, ඔබතුමාද අග්‍රාමාත්‍යතුමන්ද, ආරක්‍ෂක ලේකම්තුමන්ද මුණගැසීමට අවස්‌ථා කිහිපයකදීම අදාළ අංශවලින් ලිතව හා වාචිකව නොයෙක්‌ ලෙස අවස්‌ථාවන් ඉල්ලා සිටිය ද එම කිසිදු උත්සාහයක්‌ ජාතියේ අවාසනාවට සඵල නොවුණ නිසාම මෙසේ සටහන් කරමින් මා ජීවිත පරිත්‍යාගයෙන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කරනුයේ ඔබතුමාගෙන් ඉහත ගැටලු සඳහා සෘජු විසඳුමක්‌ ලබාගැනීමට බව මෙයින් සඳහන් කරමි.