ආරියතිලක

2025.09.19

එක්තරා පිටිසර ගමක නිර්භීත , යැයි ද අවංක යැයි ද කියා ගත් පුරුෂයෙක් විය. මේ පුරුෂයා ගැන අසන්නට ලැබුණු යමක් කමක් ඇති පවුලක වැඩි හිටියෝ මේ “අසවල් පුරුෂයා අපගේ බාල දෝනිඇන්දාට විවාහ කර දුන්නොත් යෙහෙකැ”යි කතිකා කොට මේ පුරුෂයාට කපු මහතෙකු මගින් විවාහ යෝජනා කළහ. විවාහය බින්න විවාහයකි. ඒ බව ද ඔහුට දැන්වූහ. දෙපාර්ශවය ම මේ බින්න විවාහයට එකඟ වූහ.

නිර්භිත අවංක පුරුෂයෙකුට තම දුවනිය, විවාහ කර දීමට වැඩිහිටියන් සිතුවේ, එම දුවනිය ඉතා චන්ඩ පරුෂ තැනැත්තියක බැවිනි. අනුන්ගේ අවවාද නාසන්නියකි. තම මතයට වැඩ කරන බැවින් ඇසුරු කරන සැමට මහත් කරදරකාර තැනත්තියක බැවිනි.

මේ පිළිබඳව පවුලේ සැම විසින් මේ පුරුෂයා දැනුවත් කරන ලදී.

විවාහය මහ ජයටම කෙරෙණි. මහත් වූ ජයග්‍රාහී උදාරම් ගතියෙන් නිර්භීත පුරුෂයා මනාලියගේ ගෙදර බින්න බැස්සේ ය. පවුලේ වැඩිහිටියන්ට බොහොම සතුටු ය. ඒ තම දුවනිය කීකරු කර ගත හැකි පුරුෂයකු ලැබීම නිසා ය.

ටික දවසක් ගත විය. හොඳින් වැඩ කටයුතු කෙරෙන බවකි. සති මාස ගණන් ගත වන විට එම පවුලේ වැඩුහිටියන්ට වෙනසක් තේරෙන්නට විය.

අලුත් නිර්භිත මනාලයා උදෙන් ම නැගිට දුවනියගේ උස් හඬට කීකරුව, ගෙදර මිදුල් ඇමදීම , වළං පිඟන් සේදීම, වැසිකිළි පිරිසිදු කිරීම, හරකුන්ට තණකොළ කැපීම, දිනපතා ඇයගේ රෙදි පෙරෙදි සේදීම, කෑම උයා දීම, ඇයගේ සෙරෙප්පු පාවහන් පිරිසිදු කිරීම, ඇය ගමනක් යන විට ඇයගේ අමතර දෑ පිටුපසින් උසුලාගෙන යාම, ආදී බොහෝ කටයුතු කරන්නට විය. ඇය උස් හඬින් කතා කොට බැදීමක් වුවොත් මේ පුරුෂයා ගැහැන්නට ගනී. මෙය දකින්නට ලැබුණු එම පවුලේ සැම දෙනා ම මහත් වික්ෂෝපයට පත් වූහ. මේ සිදු වී ඇති දෙයින් මහත් ලැජ්ජාවට පත් වූහ.

ඔවුන් කල්පනා කරනුයේ
“ අපි නිර්භීත යයි සිතූ හා කියූ මෙ මිනිහා මහ බිය සුල්ලෙකි. මහ නෝන්ජල් මිනිහෙකි. තම පිරිමිකමවත් ආරක්ෂා කර ගැනීමට නො දන්නා දීනයෙකි. මේවා අපෙත් වැරදි අපි හරියට දුවව හදා ගත්තේ නැහැ නොවැ! දැන් අපට පාරේ බැහැල යන්න බැරි වෙන්න කලින් මේ කසාදෙ කටු ගා දාන්න ඕන; පිරිමිකමටත් වූ මේ වස ලැජ්ජාවෙන් බේරෙන්න බලමු. කෙල්ල කනවැන්දුම් වුණත් කමක් නැහැ. කසාදෙ කටුගා දාමු කෙල්ල කැමැති කරන්”

මේ කතාවට සම්බන්ධ වී සිටි උසස් අධ්‍යාපන පාඨමාලාවක් හදාරමින් සිට නිවාඩුවට ගෙදර ඇවිත් සිටින මේ නිවසේ බාල පුතනුවන්, ඔහු මේසේ කියාගෙන ගේ ඇතුලට යන්න ගියේ ය.

“ මේ අපේ ගෙදර ආව නෝන්ජල් මිනිහයි, IMF එකේ කියන කියන පදයට ණය ගනීමට නටන, රටේ නායකයොයි මුන් දෙගොල්ලොම එක යි. කියන්නේ එකක්. කොරන්නේ තව එකක්. නිර්භීත විරයෝ වගේ ඇවිත් කරන්නේ හීන දීන නෝන්ජල් වැඩ. ආවට පස්සෙ තමයි තේරුණේ මුකුත් බැරි බොරුකාර නිකමුන් බව, අපි කවුරුත් රැවටුන බව”

එහි සිටි දුවනියගේ පියා “ අපට මේවා හොඳ පාඩම්. හොයන්නෙ බලන්නෙ නැතිව කර ගන්න දේවල්” කියා නිශ්ශබ් ද විය. කවුරුත් එය තුෂ්ණහීභූතව අනුමත කළහ.

Protected by Security by CleanTalk