නිවන් දකිනා ආත්මය තෙක් මගේම පුතාවෙලා ඉපදේවා..
සෝම හිමිගේ අම්මා කියන කතාව
පුතා හම්බවෙලා දවස් අටක් විතර යනකම් රෝහලේ ඉන්න වුණා. ඉපදෙනකොටම එයාගේ නලල මැද තිලකයක් තිබුණා. හැමෝම ඇහුqවා ඒක අපි තියපු එකක්‌ද කියලා. පස්‌සේ කාලෙදී ඒක මැකිලා ගියා. මෙයා අනිත් ළමයින් එක්‌ක ගත්තහම හරිම හුරතල් පාටයි. දොස්‌තර මහත්තුරු මිසීලා එහෙම නිතරම ඇවිත් හුරතල් කර කර යනවා. හැමෝම ආදරේ කළා.
ඇය තම පුතුගේ උපත සිදුවූ දින කිහිපය සිහි කරමින් අතීතයට යයි.
බහතෝරන වයසේදී උනත් එයා ගොඩක් හුරතල් වචන කිව්වා. ඒවා හරිම ලස්‌සන වචන. කිරි බෝතලේට පුතා කිව්වේ “බා බෝතලේ” කියලා.
පුංචි කාලේ පුතා මොනවගේ කෙනෙක්‌ද?
එයාගේ වයසේ අනිත් ළමයින් ට වඩා ටිකක් ළාමක කමක් තිබුණා. සහෝදරයින්ට එහෙම හරිම ආදරෙයි. ගමනක් බිමනක් යන වෙලාවට උනත් සහෝදරයෝ ටික ඉස්‌සර කරගෙන මෙයා පිටිපස්‌සෙන් යනවා ඒ අයව බලාගෙන.
ආගමට දහමට නැඹුරු වෙන්න යන්නේ කොයි කාලෙදීද?
ටිකක් ලොකුවෙන කොටම එයා වෙනමම බුදු කාමරයක් හදාගත්තා. ඒක එයාම හිතල කරපු වැඩක්. කාගෙවත් කීමකට කළ එකක් නෙමෙයි. හවස පහ හය වෙන කොට මමයි තාත්තයි ගෙදර හැමෝමයි ලෑස්‌තිවෙලා ඉන්න ඕන බුදුන් වඳින්න. එයා බුදුන් වඳින්න එන්නේ සුදු ඇඳලා. මේ වෙද්දී පුතාට වයස අවුරුදු දාහතරක් විතර ඇති. ඒන් වයස වෙනකොටත් “බණ” පොත් කියවීම එයාගේ ජීවිතේ කොටසක් කරගෙනයි තිබුණේ.
සෝම හිමියන්ගේ ගිහි ජීවිතයේ ද වැඩි හරියක් ගෙවී තිබුණේ ගමේ පන්සලේ ඇසුරෙනි. කුඩා සෝමරත්න නිතර නිතර ගංගොඩවිල සුභද්‍රdරාමයට යැමෙන් ලැබුවේ අපමණ සතුටකි. ඔහුට අකුරු කියෑවූයේද පන්සලේ ස්‌වාමීන් වහන්සේ විසින්. බහතෝරන වියේදී සිටම ඔහුගේ ජීවිතයටම දැනුණු දහම් ඇසුර තව තවත් ඔහුගේ ජීවිතයට බද්ධ වූවා මිස ඉන් දුරස් වූයේ නැත.
තරුණ කාලේ ගැන අම්මට මොනවද මතක?
පුතාගේ තරුණ කාලෙත් ඉතින් බණ දහමින්ම තමයි ගොඩක් වෙලාවට ගෙවුණේ. ගෙදර ඉන්න වෙලාවට ඔය විහිළු තහළු එහෙමත් කරනවා. එයාගේ සහෝදරයොත් එක්‌ක සෙල්ලම් කරනවා. ඉස්‌කෝලේදී ක්‍රීඩා කටයුතුවලටත් සහභාගී වුණා. පුතා ඉස්‌කෝලේදී “රගර්” සෙල්ලම් කළා. නිවාඩු කාලෙදී තමයි ගමේ ළමයින් එක්‌ක එහෙම වැඩිපුර සෙල්ලමට ගියේ.
මේ අතරේදී කලකෝලාහල එහෙම ඇතිවෙලා නැද්ද?
කවදාවත් කල කෝලාහලවලට ගියේ නැහැ. ඉසිපතන විද්‍යාලයට ගිය අලුත නම් පොඩි දෙයක් වෙලා තිබුණා. ඒ ඉස්‌කෝලෙට පුතා අලුත් කෙනෙක් හින්දා ළමයි කට්‌ටියක් මෙයාට හිරිහැර කරන්න ඇවිත් තියෙනවා. මෙයා ඉඳල තියෙන්නේ තනියමනේ. එතැනදී පුතා ඒ අයට කියල තියෙනවා. “මම ඉන්නේ තනියම…… මට පන්ති ගණන් ආවම ගහගන්න බැහැ. කැමැති අය ඉන්නව නම් එක එක්‌කෙනා එන්න කියලා.
එතකොට අර ළමයි යන්න ගියාලු. එදා ගෙදර ඇවිත් පුතා මට ඔය විස්‌තරේ කිව්වා.
ඉගෙනීමට දක්‍ෂකම් දැක්‌වූවාද?
එයාගේ පාසලේ පාඩම් ටික උනන්දුවෙන් කළා.
පැවිදිවීමේ අදහස ඇතිවූවේ කොහොමද?
පුතාගේ උපන් නැකතෙම තිබුණා මහණ යෝගයක්. එයා අවුරුදු දාහතරේදී විතර මහණ වෙන්න යන්න හැදුවා. අපි යන්න දුන්නේ නැහැ. ඊට පස්‌සෙත් නිතරම මහණ වෙන්න ඕන කිව්වහම මම අඬල දොඩල නවත්ත ගත්තා.
මේ වනවිට ඔහු අභිධර්මය පවා ඉගෙන ගනිමින් සිටි අතර වජිරාරාමයේ දහම් පාසල් ගුරුවරයෙක් ලෙසද කටයුතු කරමින් සිටියා. මහරගම ධර්මායතනය සමගද ඔහු ඉතා ළඟින් කටයුතු කළා. නමුත් තම පවුලට ම ආලෝකයක් බඳු පුත්‍ර රත්නයක් සසුනට වුවද පූජා කිරීමට ඒ දෙමාපියන්ගේ සිත් එකලස් කර ගැනීම ඉතා අපහසු කටයුත්තක් වූවාය. චාලට්‌නෝනා මාතාවට -තවමත් ඒ අතීතය අකුරක් නෑර මතකයේ පවතී.
පුතාගෙන් බේරෙන්න බැරිම තැන මම ආයෙත් හඳහන බලන්න කීප තැනකටම ගියා. ඒ හැම තැනින්න්ම කිව්වේ මෙයාට මහන වෙන්න යන්න නොදුන්නොත් හොරෙන් හරි යයි කියලා. නමුත් පුතාලගේ තාත්තත් කැමැති වුණේම නැහැ මේකට.
පුතා දවසක් මා ගාවට ඇවිත් කිව්වා “අම්මේ අම්මා කැමැතිද කවදහරි මම කසාද බැඳලා යක්‍ෂණියෙක් වගේ ගෑණියෙක් ලැබිලා බැණුම් අහ අහ ඉන්නවට. සමහර විට ඒ ලේලි අම්මටත් වෙනස්‌කම් කරයි” කියලා. “අම්මට ඕන මම එහෙම දුක්‌විඳිනවා බලන්නද” කියලා මගෙන් ඇහුවා. පස්‌සේ මට බණ පොත් වගයක් ගෙනත් දිලා කිව්වා මේව හොඳට කියවල බලල “මම බඳින එකද හොඳ මහණ වෙන එකද හොඳ ” කියල අම්ම ම තීරණය කරන්න කියලා. පස්‌සේ මම කිව්වා මහණ වෙන එක හොඳයි තමයි ඒත් ඔයා ගියහම පවුලේ අනිත් අයව බලාගන්නේ කවුද කියලා.
ඒ වෙලාවේදී “මහණ වෙන එක හොඳයි” කියන වචනය මගේ කටින් පිටවුණ එකට පුතා ගොඩක් සතුටුවෙලා “ගෙදර අයව බලාගන්න තාත්තා ඉන්නවනේ කියලා කෙළින්ම ගියේ පන්සලට. ඒ ගිහින් හාමුදුරුවන්ට කියල තියෙනවා ගෙදරින් මහණ වෙන්න අවසර දුන්නා කියලා.
සෝමරත්න පුතා තරුණ කාලේදීම ව්‍යාපාර කටයුතු එහෙමත් කළා නේද?
මහණ වෙන්න කලින් කඩයක් කළා. වී මෝලක් කළා. යාළුවෙක් එක්‌ක එකතුවෙලා රෙදි සාප්පුවක් දැම්මා. ඒ මොන ව්‍යාපාර කළත් හවස පහ වෙනකොට කඩේ වහල පන්සලට යනවා බුදුන් වඳින්න. ඒක කවදාවත් නැවැත්තුවේ නැහැ.
දරු සෙනෙහස තරම් උතුම් සෙනෙහසක්, දරු දුක තරම් වෙනත් දුකක්, දරුවන් කෙරෙහි ඇතිවන්නා වූ ලෝභය තරම් මහා ලෝභයක් දෙමාපියන්ට තවත් තිබිය නොහැක. නමුත් දරුවකුගේ හෝ ආත්මගත දෛවයට හරස්‌වීමට දෙමාපියන්ට වුවද නොහැකිය. වෙස්‌සන්තර ජාතකයේ එන මන්ද්‍රි දේවිය මෙන් මේ මවද වැළපෙන්නට ඇතිවාට සැක නැත. එනමුත් පෙරුම් පුරමින් රැස්‌කරගත් තම පුතුගේ පින් සිතට හරස් වීමට මේ දෙමාපියන්ට ද නොහැකි වන්නට ඇත.
පුතා මහණ වුණ දවස අම්මාට මතකද?
ඔව්, හොඳට මතකයි. එදා අපේ හාමුදුරුවන්ට කලින්ම අටපිරිකර පූජා කළේ එයත් එක්‌ක රෙදි සාප්පුව කළ “නිමල්” කියන යාළුවා. එයා ඒ ඉල්ලීම අපෙන් කළා.
ඒ දෙන්න හොඳ යාළුවෝ තාමත් ඒ පුතා මාව බලන්න එනවා.
එදා සෝම හාමුදුරුවෝ අම්මට මොකද කිව්වේ?
බලන්න මට මහණ වෙන්න අවසර දීල අම්ම කරගත්තේ කොච්චර ලොකු පිනක්‌ද? දැන් අම්මට ගොඩක් සතුටුයි නේද කියල කිව්වා.
සෝම හාමුදුරුවන්ගෙන් කලින්ම අහපු බණ මතකද?
මට මතකයි. අපේ හාමුදුරුවෝ ගෙදර ඉන්න කාලේ ඉඳන්ම බණට තමයි නිතරම කිව්වේ. “එසේ පවසමින් ඇය සිරියාවන්ත සිනහවකින් මුව සරසා ගනී”.
මහණ වුණාට පස්‌සේ පවුලේ අයත් එක්‌ක තිබුණ බැඳීම අඩුවුණාද?
එහෙම වුණේ නැහැ. දුර ගමනක් බිමනක් එහෙම යනවා නම් නිතරම තාත්තත් එක්‌ක තමයි ගියේ. අපිත් නිතරම පන්සලට ගියා.
අම්ම ගැන සොයල බැලුවද?
අනේ ඔව්.
මා ගැන විතරක් නෙමෙයි තාත්තට හොඳට සැලකුවා. තාත්තා නැති වෙන්න කලින් කාලයක් එකතැන්වෙලා හිටියා. ඒ හැම දවසකම තාත්තාගේ හැම වැඩක්‌ම කළේ අපේ හාමුදුරුවෝ. නාවන්න, පිරිසිදු කරන්න. කවන්න පොවන්න. මේ හැමදෙයක්‌ම හාමුදුරුවන්ගේ අත්දෙකෙන්මයි කළේ. ඒක උන්වහන්සේගේ යුතුකමක් විදිහටයි සැලකුවේ.
ඒ කාලේ අම්ම හාමුදුරුවන්ව බලන්න නිතර ගියාද?
මම දවසට සැරයක් පන්සලට ගියා.
හාමුදුරුවන්ගේ බණවලට විරුද්ධ පිරිසකුත් හිටිය නේද?
එහෙම ගොඩක් අය හිටියා.
ඒ ගැන අම්මට මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ අයට අපේ හාමුදුරුවෝ දේශනා කරපු බණ තේරුම් ගන්න බැරිකමයි තිබුණේ. හාමුදුරුවෝ දෙවියන්ට වුණත් බැන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ බෞද්ධයෙක් නම් දෙවියන්ව විශ්වාස නොකර බුදුදහම විශ්වාස කරන්න කියලයි. නියම බෞද්ධයෙක් වෙන්න කියලයි. අනෙක් අතට අපේ දුර්වලකම් ගැනත් පෙන්නල දුන්නා. රටට ජාතියට ආදරය කරන්න කිව්වා. මේව තමයි හාමුදුරුවෝ කිව්වේ. අද තේරෙනවානේ එදා හාමුදුරුවෝ කිව්ව දේවල් ඇත්තද නැත්තද කියලා.
හාමුදුරුවන්ට දොස් තියපු අය ගැන මොකද හිතුණේ?
ඒ අය ගැන ඉතින් මොනවා හිතන්නද? නමුත් මම අපේ හාමුදුරුවන්ට කිව්වා හාමුදුරුවනේ ගොඩක් අය ඔබ වහන්සේට දොස් කිsයනවා. ඔබ වහන්සේගේ බණත් ටිකක් සැර වැඩියි. ඒක හින්දා ටිකක් සැර බාල කරලා බණ කියන්න කියලා.
එතකොට හාමුදුරුවෝ මට කිව්වා “මම කියන්නේ බුදු බණ. බුදු බණ ඇරෙන්න මම කාටවත් වෙන දේවල් කියන්නේ නැහැ. එක එක්‌කෙනාට තරහ යනවා කියලා බුදු හාමුදුරුවන්ගේ බණ නොකියා ඉන්න මට බැහැ කියලා.”
මේ ගේ දොරකඩදීමයි ඔය කතාව හාමුදුරුවෝ මට කිව්වේ (ඇය නිවසේ උළුවස්‌ස දෙසට දෙඅත් දිගු කරමින් කඳුළු පිරි දෙනෙතින් පවසයි.) ඊට පස්‌සේ හිනාවෙවී කිව්වා මම කියන්නේ බුදුබණ අම්මට ඕනෑ නම් ගිහින් සැර බාල කරල බණ කියන්න කියලා.
දේශපාලනයට එන්න කැමැත්තක් තිබුණද?
දේශපාලනයට නිතරම කිව්වේ බඩගෝස්‌තර වාදය කියලයි. ඒ ගැන මමත් අහල තියෙනවා. එතකොට මට කිව්වේ අම්මේ දේශපාලනයේ නෙමෙයි මට ලොකු මේ චීවරේ කියලා.
තර්ජන ගර්ජන එන වෙලාවලදී මොනවද කිව්වේ?
මම නිතරම කිව්වා පරිස්‌සමින් ඉන්න කියලා. ඒත් මට කිව්වේ බය වෙන්න එපා. වෙන්න තියේ නම් ඒ දේවල් වලක්‌වන්න බැහැ කියලා.
මොනවාගේ බලාපොරොත්තු ද තිබුණේ?
බුදුදහම නගාසිටුවන්නට තමයි නිතරම කල්පනා කළේ.
රුසියාවට ගිය ගමන ගැන මතකද?
ඊට දින දෙකකට කලින් දවල් දානෙට ගෙදරට වැඩියා. දානේ වළඳලා පංගුවෙන් බාගයක් මට ඉතුරු කළා. ඊට පස්‌සේ කෙසෙල් ගෙඩියෙන් කෑල්ලකුත් මට ඉතුරු කළා. සාමාන්‍යයෙන් හාමුදුරුවෝ වෙනදට කවදාවත් එහෙම කරල නැහැ.
රුසියාවට ගියාට පස්‌සේ අපවත් වෙන්න කලින් දවසේ දවල් ගෙදරට කතා කරල කියල තියෙනවා. රෑට කතා කරනවා ගෙදර අයට ඉන්න කියලා. ඒ වගේම එදා රෑ හතහ මාරට විතර මට කෝල් කළා. ඊට පස්‌සේ අනිත් පුතාලත් එක්‌කත් කතා කරලා. මගේ අනිත් පුතාගේ බිරිඳට ෆොන්න් එක දෙන්න කිව්වා.
එයාගෙන් අහල තියෙනවා අම්මව හොඳට බලාගන්න පුළුවන් නේද කියලා. එතකොට දුව ඇහුවලු ඇයි හාමුදුරුවනේ එහෙම අහන්නේ මම මගේ අම්මා බලාගන්නව වගේ මේ අම්මවත් බලාගන්නේ කියලා. එතකොට කිව්වලු නෑ මම නිකමට කිව්වේ කියලා. පහුවදා පාන්දර හතට විතර ප්‍රවෘත්තිවලින් තමයි අපිත් දැනගත්තේ අපේ හාමුදුරුවෝ අපවත්වෙලා කියලා. (ඇය කුඩා දරුවෙක් වගේ ඉකිගසමින් බිත්තියේ පසෙක එල්ලා තිබූ සෝම හිමියන්ගේ ඡායාරූපය දෙස බලමින් හැඬුම් හංගා ගැනීමට උත්සාහ කළාය.)
ඒ අපරාධයට හවුල්වුණු අය තාමත් නිදැල්ලේ ඉන්නවා. අපේ හාමුදුරුවෝ මොන වරදක් කළාටද මෙහෙම දෙයක් කෙරුවේ.
රුසියාවට ගිය ගමන ගැන මොකද හිතෙන්නේ? (මවගේ හැඬුම නවතාලීමට අපි පොඩි උත්සාහයක යෙදුනෙමු)
ඒක අනවශ්‍ය ගමනක් කියලයි මට දැන් හිතෙන්නේ. ඒත් දෛවය වෙනස් කරන්න අපිට බැහැනේ. අපේ හාමුදුරුවෝ නැති වුණ පාඩුව මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම වුණු පාඩුවක්.
හාමුදුරුවෝ අද වැඩහිටියා නම්?
හාමුදුරුවෝ අද වැඩ හිටිය නම් මේ සමාජය මීට වඩා යහපත් තැනක තියෙනවා. තරුණ පරපුර මීට වඩා යහපත් විදියට කටයුතු කරනවා. ඒ කාලෙත් හාමුදුරුවොත් එක්‌ක විශාල තරුණ පිරිසක් හිටියා.
ඒ දවස්‌වල මම පන්සලට යනකොට කවුරු හිටියත් කෑගහගෙන ඉස්‌සරහට එනවා අන්න අපේ අම්මා එනවා කියලා. හැමෝටම කියනාව අපේ අම්මගේ කෑම රසයි කියලා. අද ඒ කිසිදෙයක් නැහැ.
අම්මගේ අවසන් ප්‍රාර්ථනය මොකක්‌ද?
උන්වහන්සේ මතු බුදුවන තෙක් නිවන් දකින තෙක්‌ම උපදින උපදින හැම ආත්මයකම මගේම පුතාවෙලා උපදින්න කියලා මා නිතරම ප්‍රාර්ථනා කරනවා.
රංග විදානේ
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන