Fri. Nov 22nd, 2024
Spread the News

නිවැරැදි සංඝ කතිකාවතක්‌  ඉතා ඉක්‌මනින්ම අවශ්‍යයි
බම්බලපිටිය සිරි වජිරාමාධිපති පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද අනුනාහිමි

source link:

වසර කිහිපයක්‌ තිස්‌සේ අප “2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු” යනුවෙන් සූදානම් වුණා. 2600 සම්බුද්ධත්ව ජයන්තියට එළැඹීමට තව දින කිහිපයයි තිබෙන්නේ. මේ වනවිට සැබෑ ලෙසම පිළිවෙත සැපිරී තිබෙනවාද? ඔබවහන්සේලා ඉදිරිපත් කළ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය කෙබඳුද?

පළමුවෙන් පැවැසිය යුත්තේ මේ වැඩපිළිවෙළ අපි කල් ඇතිව ඉදිරිපත් කළත් එය ක්‍රියාත්මක වූයේ මෑතක. මෙය කල්ඇතිවම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම වුණේ මෙම වැඩපිළිවෙළ ආමිසය මුල්කරගෙන ඉදිරිපත් කළ වැඩපිළිවෙළක්‌ නොවන නිසා. ඊට වඩා ආධ්‍යාත්මික වූ ගමන් මාර්ගයක්‌ සකස්‌ කර ගැනීමේ අවශ්‍යතාව මතයි අප මෙය ඉදිරිපත් කළේ.

අපේ දුර්වලකම් වගේම එම දුර්වලකම් ඇතිවීමට හේතුවන කාරණාවනුත් තිබෙනවා. අපේ ආධ්‍යාත්මයේ තිබෙන ඌණතාව, වගේම භෞතික සම්පත්වල තිබෙන ඌණතාව, අදහස්‌වල පරමාර්ථවල තිබෙන ඌණතාව මේ සඳහා බලපානවා. කෙසේ වෙතත් අද සමාජය යන පෙළගැස්‌ම හැටියට ටිකක්‌ කල් යයි මෙම වැඩපිළිවෙළ මුල්බැස ගැනීමට. ඒනිසා මේ ප්‍රමාණයෙන් හෝ මෙය ක්‍රියාත්මක වීම සතුටට කරුණක්‌. එනිසා මේ ඇතිවී තිබෙන ප්‍රබෝධය වෙනත් වෙසක්‌ පෝදිනවල මෙන් ආමිස පැත්තට පමණක්‌ නැඹුරු නොවී ප්‍රතිපත්තියට වැඩිතැනක්‌ දීම වැදගත්. අප ඉදිරිපත් කර තිබෙන වැඩසටහනෙහි පෙළගැසීම කියන්නේ සූදානම්වීම පමණක්‌ නොවෙයි. යම්කිසි දෙයක නිරත විමයි. සූදානම්වීම වගේම ක්‍රියාවලිය තුළ නිරතවීමත් පෙළගැසීමක්‌. එම නිසා පිළිවෙතින් සැමරීමත්, පිළිවෙතින් සැරසීමත් වැදගත්.

සම්බුද්ධත්ව ජයන්තිය උත්සවාකාරයෙන් සැමරීමට මුළු රටම සැරසෙද්දී අප ශාසනික වශයෙන් විවිධ ගැටලුවලට මුහුණදී තිබෙනවා. විශේෂයෙන් මෙරට දැනට වැඩ සිටින වියත් සඟ පරපුරෙන් පසු ඒ තැන ගැනීමට තරුණ භික්‌ෂුන් වහන්සේලාගේ අඩුවක්‌ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඇතැම් විහාරස්‌ථානවල භික්‌ෂුන් වහන්සේලා නොමැතිකමින් වැසී යන තත්ත්වයට පත්වෙලා. බොහෝ සාමණේර හිමිවරුන් ශාසනය තුළ රැඳෙන්නේ නැහැ. මේ ආකාරයට ගියොත් අප ශාසනික වශයෙන් විශාල අර්බුදයකට පත්වෙනවා. මේ සඳහා විසඳුම් දෙන වැඩපිළිවෙළක්‌ 2600 සම්බුද්ධත්ව ජයන්තිය තේමාකර ගනිමින් ඉදිරිපත් කළ නොහැකිද?

මූලික වශයෙන් අපේ රටේ තිබෙන මුල් හඳුනානොගැනීම තමයි මේ අර්බුදයට හේතුවී තිබෙන්නේ. අපේ සංස්‌කෘතික සාරධර්ම වගේම අපේ මුල් තිබෙනවා. ඒවා මතුකර ගැනීම තමයි මේ සඳහා තිබෙන හොඳම විසඳුම. ඒ මුල් ඔස්‌සේ අපේ චින්තනය, අපේ සැකැස්‌ම සියල්ල හදාගැනීමෙනුයි මේ ගමන අපට යාහැකි වන්නේ. විශේෂයෙන් අපේ රටට ප්‍රජා නායකත්වය ලබාදුන්නේ භික්‌ෂුන් වහන්සේලා. අපේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳ වූ ආදර්ශය නැතිනම් මඟපෙන්වීම කළේ භික්‌ෂුන් වහන්සේලා. අප ඒ ආස්‌ථානය නැවත ලබාගත යුතුයි. ඒ රජයට ගැතිකම් කරන ආකාරයට නොවෙයි. සියලු දේවල් ප්‍රතික්‌ෂේප කර අයින්වීමත් හෝ සියලු දේ අනිත්‍යය සංකල්පයෙන් මේවායින් වැලකීමත්a නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ සඳහා හොඳම මගපෙන්වීමක්‌, පූර්වාදර්ශයක්‌ තිබෙනවා. අපි ඒවා අරගෙන උකටලී නොවී, මමත්වයෙන් තොරව පොදු යහපත ගැන කල්පනා කර කටයුතු කළ යුතුයි. එවැනි පෙළඹීමකින් භික්‌ෂු නායකත්වය සහ භික්‌ෂුන් වහන්සේලා කටයුතු කළහොත් අපට හොඳ ගමනක්‌ යා හැකියි.

අපි අද හුඟක්‌ දේවල් කරන්නේ වෙන් වෙන් වශයෙන්. භික්‌ෂුන් වහන්සේලා ඒකාබද්ධව වැඩකටයුතු කිරීමේ අවස්‌ථාව උදාකරගෙන නැහැ. මෙලෙස ස්‌වාමින් වහන්සේලා වියුක්‌තව කටයුතු කරන නිසා සමාජයට නිසි මඟපෙන්වීම කිරීමට අපට හැකියාව ලැබී නැහැ. සිව්වනක්‌ පිරිසේ මුල ඉන්නේ භික්‌ෂු පිරිස. ඒ භික්‌ෂු පිරිසේ නිවැරැදි නායකත්වය විශේෂයෙන් ආදර්ශමත් උපදේශයනය කාලීන අවශ්‍යතාවක්‌.

වර්තමානයේ සමාජය අවදි කළ හැකි භික්‌ෂුන් වහන්සේලා බිහිනොවීමට හේතුව කුමක්‌ද?

එහෙම නැතුවාම නොවේ. ඒකට සමාජයත් වරදක්‌ කරනවා. විශේෂයෙන්ම ජනමාධ්‍ය හා ප්‍රභූ ජනතාව තමන්ගේ නිර්නායකයන් සකසාගෙන ඒවා තුළට භික්‌ෂුන් වහන්සේලා පමුණාවාගෙන ඒ තලයේ භික්‌ෂු චරිත තමයි බිහිකරන්නේ. නමුත් ශාසනය කියන්නේ ඒක නොවෙයි. ඒක නොවෙයි ශාසනික ජීවිතය, ප්‍රතිපදාව. ඉන් සිදුවන්නේ සිල්වත්, දක්‌ෂ, ශාසනික හැඟීම් තිබෙන, ප්‍රතිපත්තිගරුක ස්‌වාමීන් වහන්සේලා පසුබසිනවා. ඒ ස්‌වාමීන් වහන්සේලා ඒවා සමග හැපෙමින් ගමන් කරන්න කැමැති නැහැ. නියම විදිහට බුදුබණ දේශනා කරන භික්‌ෂුන් වහන්සේලා අප රටේ සිටිනවා. නියම ආකාරයෙන් පිළිවෙත් පුරන ස්‌වාමින් වහන්සේලා ඉන්නවා. ඒ අනුව සමාජයට වැඩ කළ හැකි ස්‌වාමින් වහන්සේලා ඉන්නවා. ඒ භික්‌ෂුන් වහන්සේලා ඉදිරියට ගැනීමක්‌ අද සිදුවන්නේ නැහැ.

අද විද්යුත් මාධ්‍ය තුළින් බණ, පිරිත්, ධර්ම දේශනා ප්‍රචාරය කරන්නේ තරගයකට වගේ. ඇතැම් භික්‌ෂුන් වහන්සේලා පවා නම් කරන ලද නාලිකාවක යන පිරිත්, බණ, ධර්ම දේශනා අසන ලෙස ජනතාවට පවසනවා. සැබැවින්ම මේ සැමදෙයකම යටින් ගලාගෙන යන්නේ වාණිජකරණය. මින් අපට හැඟෙන්නේ බුදුබණත් මුදලට විකිණෙන තත්ත්වයට පත්වී ඇති බවද? භික්‌ෂුන් වහන්සේලාට මේ සඳහා නියමාකාරවූ ප්‍රතිපත්තියක්‌ සැකසීමට නොහැකිද?

ඒ සඳහා ඉතා නිවැරැදිවූ ශාසනික කතිකාවතක්‌ අවශ්‍යයි. සාමූහිකත්වයකට යා හැකි සංඝ සම්මුතියෙන් ලැබුණු සංඝකථිකාවතක්‌a අපට නැහැ. එකිනෙකාගේ කතිකාවත්, විවිධ වී එකිනෙකාට අනන්‍යවී තිබෙන්නේ ඒ නිසා. ශාසනික කතිකාවත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට, අනුශාසනාවට අනුකූලවූ එකම කතිකාවතක්‌ විය යුතුයි. ඒ සඳහා දැනට රජයේත් කැමැත්තක්‌ තිබෙනවා. අපේ සංඝ නායකත්වය ඒ සඳහා ඉදිරිපත් වී කටයුතු කරනවා නම් මෙවැනි හානිකර දේවල් සිදුවන්නේ නැහැ.

නොයෙකුත් නාලිකාවල තරගයට මේවා ප්‍රචාරය වුණත් ඒවා අහන අය එම නාලිකාවල අරමුණ තේරුම්ගෙන ශ්‍රවණය කළොත් ඒවා ඉබේම ප්‍රතික්‌ෂේප වෙනවා. ජනතාව ඒ රැල්ලට හසුනොවී කටයුතු කිරීමත් මේ සඳහා හොඳ විසඳුමක්‌.

මෙරට ජනසමාජයට හානිකරන තවත් පිළලයක්‌ තමයි අන්‍යාගම්කරණය. මෙම ක්‍රිස්‌තියානී මූලධර්මවාදය විවිධ වේෂයන්ගෙන් අද වනවිට ඉතා සූක්‌ෂම ලෙස ක්‍රියාත්මක වෙනවා. කාලයක්‌ මෙය වැළැක්‌වීමට පාර්ලිමේන්තුවට අන්‍යාගම් පනතක්‌ පවා ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් විවිධ බලපෑම් හමුවේ එයත් අද වනවිට ක්‍රියාත්මක වන වගක්‌ පෙනෙන්නට නැහැ. මෙය වැළැක්‌වීමට ප්‍රායෝගික වූ වැඩපිළිවෙලක්‌ ඉදිරිපත් නොවන්නේ ඇයි?

අන්‍යාගම් පනත සාර්ථක නොවීමට රජයේ ඇති උනන්දුව අඩුකම හේතුවී තිබෙනවා. මේ අය සර්වාගමික සංකල්පයක්‌ එක්‌ක පටලවාගෙන, කලවම් කරගෙන කටයුතු කරන නිසා යම් යම් ආකාරයට මේවායේදී ගත යුතු සෘජු ප්‍රතිපත්ති, තීරණ ක්‍රියාත්මක වන්නේ නැහැ. අතීතයේ එහෙම නොවෙයි. බුදුදහම ආරක්‌ෂා කිරීම අපගේ මූලික වගකීමක්‌. මේ රටේ රාජ්‍ය පාලකයන්ගේ ජනතාවගේ මූලික වගකීමක්‌ තමයි බුදුදහම ආරක්‌ෂා කිරීම. ඒ අනුව තමයි බණ්‌ඩාරනායක මැතිණියගේ සමයේ එය ව්‍යවස්‌ථාගත වුණේ. ව්‍යවස්‌ථාගත කිරීම වගේම එතුමිය අනෙකුත් බලවේග නැවැත්වීමට දායකත්වයත් ලබාදුන්නා. නමුත් අද වී තිබෙන්නේ ජාත්‍යන්තර බලවේගවලට යටත්වීම නිසා මේ සඳහා දක්‌වන උනන්දුව ඉතා අඩුවීමයි. ඒවා ක්‍රියාත්මක කළහොත් ආගම් භේද, ජාති භේද ඇතිවෙයි කියා අනියත බියක්‌ ඇතිකරගෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මූලිකත්වය දී කටයුතු කිරීමෙන් කිසිදු ආගමකට, ජාතියකට හානියක්‌ සිදුවන්නේ නැහැ.

කණගාටුවෙන් වුණත් පැවැසිය යුතුයි බුදුදහම තුළත් අපටම හානිකර දේවල් ක්‍රියාත්මක වෙනවා. අපේ ඇතැම් ස්‌වාමින් වහන්සේලා ක්‍රියාත්මක කරන විවිධ වන්දනාවන් වගේ දේවල් නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙනවා. ඒනිසා මා මුලින් පැවසූ පරිද නිවැරැදි ශාසනික කතිකාවතක්‌ තුළින් භික්‌ෂුන් වහන්සේලා මූලික වූ ඒ ආස්‌ථානය නැවත ලබාගෙන අපි එකතුවුවහොත් එතැනයි මේ ගමන නිවැරැදි කර ගැනීමේ මූලික උපාය මාර්ගය තිබෙන්නේ. රජයට වුවත් ඕනෑම බලපෑමක්‌ කළ හැක්‌කේ එවිටයි.

භික්‌ෂුන් වහන්සේලා දේශපාලනීකරණය වීම නිසා මෙවැනි දේවල් සඳහා රජයට බලපෑමක්‌ කිරීමට නොහැකිවී තිබෙනවාද?

භික්‌ෂුන් වහන්සේලා පක්‌ෂ දේශපාලනය කිරීම තමයි ඊට ප්‍රධානතම හේතුව. නැතිනම් භික්‌ෂුන් වහන්සේලාටත් එක්‌තරා ආකාරය දේශපාලනයක්‌ තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළත් දේශපාලනයක්‌ තිබෙනවා. අද පක්‌ෂ දේශපාලනයත් එක්‌ක භික්‌ෂුන් වහන්සේලා මෙය පටලවාගෙන තිබෙන්නේ. එනිසා විවිධ දේශපාලන පක්‌ෂවලට වන්දිභට්‌ටකම් කරගෙන භික්‌ෂු පෞරුෂය නැතිකර ගැනීම නිසා තමයි මේ සෑම ව්‍යසනයක්‌ම සිදුවී තිබෙන්නේ.

ඔබවහන්සේ පවසන පරිදි සංඝ කතිකාවතක්‌ ඇතිකිරීම බොහෝ අර්බුදවලට ඇති ප්‍රධාන විසඳුමක්‌. ඒත් එවැනි කථිකාවතක්‌ ඇතිවීම කවදා සිදුවේද?

සංඝ සමාජයේ මූලස්‌ථානවල නායකත්වය දරන ස්‌වාමින් වහන්සේලා, මහනායක ස්‌වාමීන් වහන්සේලා ඒ සඳහා මූලික විය යුතුයි. නැතිව මෙය සාර්ථක කර ගත නොහැකියි.

තව දින කිහිපයකින් එළැඹෙන වෙසක්‌ පොහෝදායින් පසු පිළිවෙතින් පෙළගැසීම අවසන්ද? නැතිනම් අප එය තවත් ඉදිරියට ගෙන යැමට කළ යුත්තේ කිනම් කාර්යභාරයක්‌ද?

නැහැ. අප ඉදිරිපත් කළ විසිවැදෑරුම් වැඩපිළිවෙළ වෙසක්‌ පෝදායින් පසු අවසන්වන්නේ නැහැ. එම වැඩපිළිවෙළ මුල්කරගනිමින් විශාල දෙයක්‌ කළ හැකියි. විශේෂයෙන්ම සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයක්‌ නම් කර තිබීම වැදගත්. සම්බුද්ධත්ව ජයන්තිය කියන එක විශාල සමාජ පරිවර්තනක්‌ සඳහා දුර ගමනක්‌ යැමට භාවිත කළ හැකි නිමිත්තක්‌. ආයෙත් මේ කාලයේ ජීවත්වන කිසිදු අයකුට මෙවැනි අවස්‌ථාවක්‌ උදාවන්නේ නැහැ. එනිසා ශාසනයට ආදරය කරන සියලුදෙනා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යැමට කල්පනා කළ යුතුයි. අපේ ආර්ථිකය, අපේම අධ්‍යාපනය, සෞඛ්‍ය, සදාචාරය මේ සිව් ආකාරවූ දේ සංවර්ධනය කරගතහොත් අප ජාතියක්‌ වශයෙන්, රටක්‌ වශයෙන් ඉතා දියුණු තත්ත්වයට පත්විය හැකියි. එනිසා සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ සදාචාරාත්මක පැත්ත පමණක්‌ නොවෙයි.

ඔබවහන්සේ දකින ආකාරයට වර්තමාන බෞද්ධයා මුහුණදී තිබෙන මූලික අභියෝගයන් ජය ගැනීමට කළ යුත්තේ කුමක්‌ද?

මූලික වශයෙන්ම බෞද්ධයා තමන්ගේ පැත්තෙන් තමා ඇතිකරගත යුතු අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණදීමට සැදීපැහැදී සිටී වැදගත්. විශේෂයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික තත්ත්වය වැඩිදියුණු කරගත යුතුයි. රටේ ලෝකයේ සිදුවන සියලු දේවලට හසුනොවී, ඒවාට ගැතිනොවී යටත් නොවී අපේ තිබෙන අක්‌මුල් මැනවින් හඳුනාගෙන, අපගේ සංස්‌කෘතික හර පද්ධතිය හඳුනාගෙන ඒ තුළ සමපෝෂණයක්‌ ලබාගැනීම වැදගත්. අනාගත පරම්පරාවට ඒ ආදර්ශය ලබාදීම ඉතාම වැදගත්. පැරැණි මිනිස්‌සු ශ්‍රද්ධාවෙන් පෝෂණය ලැබුවා, ශීලයෙන් පෝෂණය ලබාසිටියා, පරිත්‍යාගයෙන් සහ ප්‍රඥවෙන් පෝෂණය වී තිබුණා. මේ ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥ කියන ධර්ම නිසා ඒ ඇත්තෝ ඕනෑම බලවේගයක්‌ හමුවේ නොසැලී සිටියා. අතීතයේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ අපේ මුතුත්මිත්තන් තමන්ගේ අතේ ඉන්න දරුවා උදුරාගෙන තම ආගමට එන ලෙස තර්ජනය කළත්, ඒ අම්මලා තමන්ගේ ස්‌නේහේවන්ත එකම දරුවා මැරුවත් ආගම අත්හැරියේ නැහැ. ඒ අය මහාලොකු විදර්ශනා භාවනා කළ අය නොවේ. නමුත් ඒ අය හොඳින් තිසරණ සරණගිහින්, ශ්‍රද්ධා,සීල, ත්‍යාග, ප්‍රඥ කියන ධර්මවලින් පෞරුෂය ලබාගත්තා. ඒ නිසා මූලික ප්‍රශ්නය තිබෙන්නේ අප තුළමයි. ඒ මේ සෑම අභියෝගයකටම පිළිතුරු තිබෙන්නෙත් අප තුළමයි.

සංවාද සටහන – ලක්‌මාල් බෝගහවත්ත
ඡායාරූපය- කමල් බෝගොඩ


Protected by Security by CleanTalk