Spread the News

p1 11 1පාස්කු ප‍්‍රහාර මාලාවට සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවී ඇති අපරාධකරුවන්ට පමණක් නොව එකී ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්‍ෂක අංශ නිලධාරීන් හා සෙසු වගකිවයුත්තන්ට නීතියෙන් ගැලවී යෑමට ඉඩ නොතබා ඔවුන් සියලූදෙනාට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට තමන් සියලූ ප‍්‍රයත්න දරන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාට පොරොන්දුවක් ලබා දී තිබේ.

පසුගිය 8 වැනිදා කොළඹ අගරදගුරු මැඳුරේදී අගරදගුරුතුමන් බැහැදැක උන්වහන්සේට එකී විමර්ශන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරදුන් නීතිපතිවරයා එකී පොරොන්දුව ලබා දී තිබේ. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිර්දේශ ඇතුළත් වාර්තාව මගින් එකී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවට සම්බන්ධ මහ මොළකරු හෝ එකී අපරාධ සිදු කිරීමට කුමන්ත‍්‍රණය කළ අපරාධකරුවන් සම්බන්ධයෙන් හෝ එකී ප‍්‍රහාරවලට සෘජුව හා වක‍්‍රව සම්බන්ධ කිසිදු අපරාධකරුවකු සම්බන්ධයෙන් නිශ්චිතව අනාවරණය නොවන නිසා එකී අපරාධකරුවන් නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ද නීතිපතිවරයා එහිදී අගරදගුරුතුමන් වෙත කරුණු පැහැදිලි කර දී තිබේ.

එකී ප‍්‍රහාර මාලාවට කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වී ඇති, ඒ සඳහා විවිධ ආකාරයෙන් කුමන්ත‍්‍රණ සිදුකර ඇති හා රාජකාරීන් පැහැර හැරීමෙන් ඒ සඳහා වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන අවසන් කිරීමේ අවශ්‍යතාවය සහ ජනාධිපති කොමිෂන් සභාව හමුවේදී ඉදිරිපත් වූ සාක්‍ෂි සටහන් ලේඛන සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකළ යුතුව ඇතැයි ද එහිදී අගරදගුරුතුමන්ට දන්වා ඇති නීතිපතිවරයා ඒ සඳහා සිය දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති බව ද දන්වා තිබේ.

ජනාධිපති කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිර්දේශ සම්බන්ධයෙන් ද එහිදී අගරදගුරු හිමිපාණන්ට කරුණු පහදා ඇති නීතිපතිවරයා කොමිෂන් සභා නිර්දේශවල 17 වන පරිච්ෙඡ්දය යටතේ පෙන්වා දී ඇති එක් බෝම්බකරුවකුගේ බිරිඳ වන ජස්මින් සාරා හා ඉබ‍්‍රාහිම් අහමඞ් අබ්දුල්ලා හෙවත් අවු අබ්දුල්ලා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි ද පවසා ඇතැයි ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය ඊයේ (10දා) ‘‘දිවයින’’ට ප‍්‍රකාශ කළාය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා සමඟ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා හා රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය එම හමුවට එක් වූ අතර අගරදගුරුතුමන් සමග සහායක රදගුරුතුමන් ඇතුළු නියෝජිත පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

ඒ. ජේ. ඒ. අබේනායක