Spread the News

නීතිය අතට ගත් නරුමයන්ට බිලි වූ
සාමය රකින්න ගිය පොලිස්‌ සැරයන්
ගැබිනි බිරිඳ සිහිසුන්ව වැටෙයි

 

source:

මගේ පුතාට කළ අපරාධය ගැන කාට කියන්නද
මව වේදනාවෙන් කියයි

පොලිස්‌ ප්‍රධානීන්ගෙන් අවසන් ගෞරව

ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරුණු පිරිසගේ පහරදීමෙන් මියගිය පොලිස්‌ නිලධාරි නවරත්න බණ්‌ඩාර මහතාගේ දේහයට, පුත්තලම පොලිස්‌ ස්‌ථානයේ තබා ගෞරවය දැක්‌වීමේ අවස්‌ථාවට වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පුජිත් ජයසුන්දර, පුත්තලම දිස්‌ත්‍රික්‌ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන යන මහත්වරුන් සහභාගි වී ගෞරව ආචාරය පුද කළ අයුරු.

මියගිය පොලිස්‌ කොස්‌තාපල් නවරත්න බණ්‌ඩාර (61006) මහතාගේ උපන්ගම් ප්‍රදේශය වන නොච්චියාගම ප්‍රදේශයට දේහය රැගෙන යැමට පෙර ඔහු සේවය කළ පුත්තලම පොලිස්‌ ස්‌ථානයේ පැය දෙකකට ආසන්න කාලයක්‌ දේහය තබා ගෞරවය දැක්‌විණි.

මෙම අවස්‌ථාවට මහජන නියෝජිතයන්, පොලිස්‌ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

පුත්තලම ප්‍රදේශයේ දී ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරුණු මිනිස්‌ වෙස්‌ගත් නොමිනිසුන් පිරිසක්‌ විසින් අමානුෂික ලෙස සහ කපා කොටා පහරදී ඝාතනය කෙරුණු පොලිස්‌ නිලධාරියාගේ වියෝව ශීලාචාරකම හා මානව සදාචාරයත්, මිනිස්‌කමක්‌ අගයන කාගේත් හදවත් කම්පාකරවන සිදුවීමක්‌ බවට අද සටහන්ව තිබේ.

පොලිස්‌ නිල ඇඳුමේ ගෞරවය සුරකිමින් නීතිගරුකව, රාජකාරිය දේවකාරිය සේ සලකා කටයුතු කළ මෙම නිලදරුවා රජරට දුෂ්කර ගම්මානයක්‌ වන නොච්චියාගම පුරවරයේදී උපත ලද පොලිස්‌ කොස්‌තාපල් නවරත්න බණ්‌ඩාර (61006) මහතාය.

ජයගම ඔහුගේ ගම ගෙදර විය. සොයුරියන් හතර දෙනකුගෙන් යුත් පවුලේ බඩපිස්‌සා ඔහුය. විවාහ වූයේ මීට වසරකට පමණ පෙරය. නරුමයන් අතින් ඔහු මියයන විට ඔහුගේ දයාබර බිරිඳ නදීශා සඳමාලි ජයන්ති තෙමස්‌ ගැබිනියකි. තම පුංචි කැදැල්ලට එකතුවන කිරිකැටියා ගැන ඔහු නිතර සිහින මැව්වේය.

නොච්චියාගම විද්‍යාදර්ශ මහ විදුහලෙන් උසස්‌පෙළ අධ්‍යාපනය ලැබූ ඩබ්. එම්. නවරත්න බණ්‌ඩාර 2000 වසරේදී පොලිස්‌ සේවයට එක්‌විය. යුද සමයේ ත්‍රිකුණාමලයේ සේවය කර පසුව පුත්තලම පොලිසියට රාජකාරි සඳහා පැමිණියේය. විවාහයෙන් පසු සිය බිරිඳගේ නිවසේ සිටි ඔහු නිරන්තරයෙන්ම මහගෙදර සිටින මවත් පියාත් ගැන සොයා බැලුවේය.

මේ සිද්ධියෙන් පසු අප එම නිවසට යන විට අමානුෂික ප්‍රහාරයෙන් මියගිය නවරත්න බණ්‌ඩාර මහතාගේ බිරිඳ සිහිසුන්ව සිටියාය. ඥතීන් ඇය අස්‌වසාලීමට දරන වෙහෙසද අපමණය. ඇතිවූ තත්ත්වයෙන් ඇය තදබල ලෙස රෝගාතුරව සිටින්නීය. මේ දසුනින් කම්පාවට පත් නොච්චියාගම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සුජීව බණ්‌ඩාර මහතා සිය වාහනයෙන් නදීශා රැගෙන රෝහලට ගොස්‌ වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඇය තම රථයෙන්ම ආපසු නිවසට රැගෙන ආවේ හද කම්පාකරවන වේදනාවකිනි. තම පුතාගේ මරණය නිසා හැත්තෑදෙහැවිරිදි කේ. ජී. අනුලාවතී මව වික්‌ෂිප්තව බලා සිටින්නීය.

මගේ පුතා ගිය සතියේ ගෙදර ඇවිත් මට සල්ලිදීලා 25 වැනිදා පඩි ගත්තාම මම එනව කිව්වා. අනේ මගෙ පුතා නිතරම අපි ගැන හොයලා බැලුවා. ගෙදර ලයිට්‌, වතුර බිල් ගෙවන්නෙ පුතාමයි. අපේ පුතාට කරපු අපරාදෙ ගැන අපි කාට කියන්නදැයි වේදනාවෙන් මුමුණන්නීය.

මුළු ජයගම පමණක්‌ නොව නොච්චියාගම ප්‍රදේශයේම ජනතාව මෙම සාහසික අපරාධය ගැන මහත් කැලඹීමට පත්ව ඇත. ඔහුගේ දේහය 22 වැනිදා රාත්‍රියේ නිවසට රැගෙන ආවේ දැඩි ආරක්‍ෂාව මැදය. කිසිදු වරදක්‌ නොකළ අසරණ පොලිස්‌ නිලධාරියා මරා දැමූ නරුමයන් තවමත් නිදැල්ලේය.

මෙම සාහසික අපරාධයෙන් කම්පාවට පත් වූ අතිමහත් ජනතාව අද මේ පොලිස්‌ නිලධාරියාගේ නිසල දේහයට ගරු බුහුමන් පුදනුයේ ඔහුගේ ගැබිනි බිරිඳ, මව්පියන් ඥතීන් ද සමඟ වේදනාව බෙදාගනිමිනි.

ග්‍රීස්‌ යකුන් ගැන කතාව අද ඇතැමුන් නීතිය අතට ගෙන තම ප්‍රචණ්‌ඩත්වය මුදා හැරීමට පලිහක්‌ කරගෙන තිබේ. බණ්‌ඩාර මහතා ද තම ගැබිනි බිරිඳ තනිකර මෙලොව හැරයන්ට සිදු වූයේ මේ නරුමයන්ගේ අමනෝඥ ක්‍රියා නිසාය. 21 දා පුත්තලම නගරයේදී සංවිධානාත්මක පිරිසක්‌ ගී්‍රස්‌ යකකු යෑයි කියමින් පුද්ගලයකු අල්ලාගෙන ඔහුට වධදීමට සූදානම් වෙද්දී නීතිය රකින පොලිස්‌ නිලධාරියකු ලෙස බණ්‌ඩාර මහතා සිදුකළේ සැකකටයුතු පුද්ගලයා පොලිසියට රැගෙන යැමට උත්සාහ කිරීමය. එය සැබැවින්ම පොලිස්‌ නිලදරුවකුගේ වගකීමකි. නමුත් නීතිය තම අතට ගත හැකියයි සිතූ පිරිස සිදු කළේ සාමය රැකීමට මැදිහත්වූ මේ නිලධාරියාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමය. එහි ප්‍රතිඵලය ඔහුගේ ගැබිනි බිරිඳ හා දෙමාපියන් තනිවීමය. රටේ නීතිය හෑල්ලු වීමය. එම නිසා මෙහි වරදකරුවන් නීතිය හමුවට ගෙන්වා නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබාදීම අද සමාජ වගකීමක්‌ව පවතී. එය බොරු ග්‍රීස්‌ යක්‌ බියක්‌ ඇතිකරන්නට උත්සාහ කරන සංවිධානාත්මක කල්ලි ඇත්නම් ඔවුන්ටද යස පාඩමක්‌ වනවා නොඅනුමානය.

ඡායාරූප එම්. එම්. පී. ජී. පෙරේරා සහ පුත්තලම – නලින් හෙන්දුරුගොඩ