Sat. Nov 16th, 2024
Spread the News

නූතන භික්ෂු අධ්‍යාපනයට ශ්‍රී සුමංගල නාහිමි චින්තනයෙන් එහා විකල්පයක් නැහැ

source:
දහනව වන ශත වර්ෂයේ ලංකාවේ පහල වූ ශ්‍රේෂ්ඨතම විද්වතා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බව දෙස් විදෙස් පඩිවරු අවිවාදයෙන් පිළිගනිති.

මිෂනාරී බලවේග හමුවේ ශීඝ්‍රයෙන් පරිහානියට පත් සංස්කෘතික පසුබිමක් යටතේ පන්නරය ලබමින් අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, වැනි ගිහි උගතුන් පමණක් නොව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි පැවිදි උතුමන්ද කරන ලද සේවය වර්තමාන පරපුරට යළි යළිත් සිහිපත් කරවා දීම කෘතවේදී ජාතියක වගකීමක් බව කිව යුතුය. ජාති මාමකත්වය නිසා නැගී සිටි මෙම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන්ට බුද්ධිමය පන්නරය ලැබුණේ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙනි. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, ‍පොල් ඩාල්කේ වැනි  විදේශීය උගතුන් උන්වහන්සේගේ පාණ්ඩිත්‍යය නිසා ලංකාවට පැමිණ ශාස්ත්‍රීය ඥානය තියුණු කර ගත් බවත් කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, වැනි බෞද්ධ විද්‍යාල බිහි වූයේත් හික්කඩුවේ නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වය නිසා බවත් අමතක නොකළ යුක්තකි. මෙම සියලු කර්තව්‍යයයන් කොළඹ මාලිගාකන්දේ විදේ‍යාදය පිරිවෙණ පසුබිම් කොට ගෙන සිදුවූ අතර එම ජාතික ආගමික මෙහෙවර සිහිකරනු වස් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණානුස්මරණ උත්සවයක් මෙම 29දා කොළඹදී පැවැත්වේ. ඒ පිළිබඳව විදේ‍යාදය පිරිවෙණෙහි ආචාර්යවරයෙකු මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයෙහි පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයෙහි මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන් සමග සාකච්ඡාවක යෙදීමට අවස්ථාව ලැබුණි. උන්වහන්සේ සමග කෙරුණු එම සංවාදය හෙටට යෙදෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණානුස්මරණ දිනය වෙනුවෙන් මෙසේ පළ කරමු.
ස්වාමීන් වහන්ස, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගැන මේ රටේ අය  විශේෂයෙන් දැන ගත යුතු දේ හැටියට ඔබ වහන්සේ සලකන්නේ මොනවද?
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ 1872 වර්ෂයේ ලංකාවේ  දකුණු පළාතේ උපන් කෙනෙක්. වැලිවිට සිරි සරණංකර සංඝරාජයන් වහන්සේ ඉතා අපහසුවෙන් ගොඩ ගත් අපටම ආවේණික වූ අධ්‍යාපනයෙන් දීර්ඝ කාලයක්  යන්නට පෙර පහල වූ අග්‍ර ඵලය තමා හික්කඩුවේ නාහිමි. උන්වහන්සේ ගැන කතා කරන විට එකල මේ රටේ පැවැති තත්ත්වය ගැන කතා නොකර බැහැ. ඒකා‍ලේ මේ රට පාලනය කළේ විදේශිකයෝ, බෞද්ධකමටත්, බෞද්ධයන්ටත් නිවට නීච ඉරණමක් අත් වෙලා තිබුණේ. අඩුම ගානේ රන්බණ්ඩා  පුංචි බණ්ඩා, පියදාස, සුමනදාස වැන නමක්වත් පාවිච්චි කරන්නට අයිතියත් තිබුණේ නැහැ. අයිතියක් විතරක් නොවේ එහෙම කරන්නට තරම් ශක්තිමත් මනෝභාවයක්වත් අපේ මිනිස්සුන්ට තිබුණෙ නැහැ. ආගමික ඇදහීම, අධ්‍යාපනය, සිරිත් විරිත් වගේ දේවල් ගැන කවර කතාද? එහෙම කාලයක තමයි ශ්‍රී සුමංගල නාහිමිපාණන් උපදින්නේ. ජාතිය ආගම වෙනුවෙන් බුද්ධිමය සටනක් ඇති කරන්නේ. උන්වහන්සේ කළ දේවල් ගැනි අපි පස්සේ කතා කරමු.
හොඳයි, උන්වහන්සේට මේ සමාජ තත්ත්වයෙන් පහර කන්නට සිද්ධ වුණාද?
උන්වහන්සේට මුහුණ දෙන්නට වූ අකරතැබ්බ ගැන අපි දන්නේ දෙකයි තුනයි. ඒවත් ‍පොත පතේ තියෙන හින්දා. හැබැයි ඒ ටිකත් ඇති කොයිතරම් අවදානම් කාලයක්ද එදා තිබුණේ කියලා තේරුම් ගන්ට. වරක් දුම්රිය දෙවන මැදිරියේ ඉඳගෙන හිටිය කියල සුද්දෙක් තර්ජනයක කළා. තවත් වරක බෞද්ධ පෙරහරක් කරන්නට ගිහිං අර්බුදයක් ඇති වුණා. ඒත් ඒවා නමෛයි ප්‍රශ්න වුණේ. උන්වහන්සේට පෙණුනා අපේ අතීත ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා, ශ්‍රේෂ්ඨ රජවරු, වීර පුරුෂයෝ ආදාරයෙන් දිවි පුදමින් ගොඩ නගමින් රැකගෙන ආ සාරධර්ම,  පුරාවස්තු ඇතුළු උරුමයන් වැළලෙනවා. ඒ වෙනුවට නිරුවත් සංස්කෘතියක් රජ වෙනවා. අම්ම තාත්තා නොහඳුනන, අනුන්ගේ දුකක් නොතේරෙන, අමනකම වෙරළ තීරයෙන් මෙහාට ගොඩ වදින හැටි දකින්නට ලැබිම තමයි උන්වහන්සේට පන්නරයක් ලබා දුන්නේ.
මේ තත්ත්වයෙන් ජාතිය ගොඩ ගන්න යෙදූ විකල්ප ක්‍රියා මාර්ග  මොනවද?
ඇත්තෙන්ම ඒක බුද්ධිමය ක්‍රියා මාර්ගයක්, බුද්ධිමය සටනක් කීවත් හරි. බුද්ධි විප්ලවයක් කීවත් ගැළපෙනවා. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේදී කළේත්  මිහිඳු හාමුදුරුවෝ ලංකාවේදී කළේත් මිනිසුන්ගේ බුද්ධියට කතා කිරීමයි. හික්කඩුවේ නාහිමියන්
කළේත් ඒ දේමයි. මේ කිසිම අවස්ථාවක ‍ලේ බින්දුවක්වත් හෙල්ලුනේ නැහැ කාගෙන්වත්. මේක තමා ගැටලු ජය ගන්නා බෞද්ධ න්‍යාය. පළමුවෙන්ම උන්වහන්සේ කොළඹ ඇවිත් මාලිගාකන්දේ විදේ‍යාදය පිරිවෙණ ඇති කළා. මෙරට ගිහි පැවිදි  දහස් ගණනකට ධර්ම ඥානය ලබා දුන්නා. ත්‍රිපිටක බුද්ධධර්මය, ඡන්දොලංකාර, තර්ක න්‍යාය, ‍ජ්‍යොතිෂය, ආයුර්වේද ආදී පෙරදිග භාෂාවන් මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද මෙහි ඉගැන්නුවා. ඇත්තෙන්ම මෙය බුද්ධි නිකේතනයක් වුණා. අද තියෙන විශ්ව විද්‍යාලයක්වත් මීට සමාන කරන්න බැහැ. මෙයින් ඇති වූ බුද්ධි ප්‍රබෝධය නිසා මෙරට ප්‍රභූ පැලැන්තියේ සියලු දෙනා උන්වහන්සේ වටා රොක් වුණා. ඕල්කට් තුමා, ‍පෝල් ඩාල්කේ, කෞසම්බි ධම්මානන්ද වැනි විදේශිකයන් ආවේත් ඒ නිසා. අපි කවුරුත් දන්න අනගාරික ධර්මපාලතුමාගේ ළඟින් හිටියේ හික්කඩුවේ නාහිමියන්. මිෂනාරීන් සමග තිබුණු පානදුරා වාදය වැනි වාදවල දී වගේම ප්‍රගතිගාමී සටනේ නියමුවෙක් වන වාදීහසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද  හිමියන් වැනි අය බුද්ධියෙන් සන්නද්ධ කළේ හික්කඩුවේ නාහිමියන්. උන්වහන්සේ ඇති කළ බුද්ධි විප්ලවය නොවන්නට මේ රටේ මහා ව්‍යසනයක ප්‍රතිඵල අද අප භුක්ති විඳිනවා නො අනුමානයි.
භික්ෂූන් වහන්සේලා තුළ පැවති මේ බුද්ධි සම්භාරය අද තියෙනවාද?
ඔව්. ඒත් විධිමත් නැහැ. ඇයි ඒ? ඒකට හේතු රාශියක් තියෙනවා. එකක් තමයි අපේ රටේ මිනිස්සු යමකින් බැට කන තුරු යමක් තේරුම් ගැනීමට උත්සාහ නොකිරීම. අනෙක තමයි ආර්ථිකය. ඊළඟ කාරණය තමයි භික්ෂූන් වහන්සේලාත් දේශපාලකයන් ඇතුළු ගිහි ප්‍රභු පන්තියත් දේශය වෙනුවෙන් තම තමන්ට පැවරෙන වගකීම් ගැන අනවබෝධයෙන් සිටීම. ගෝලීයකරණය නිසා ඇති වන විපර්යාසවලට අනුකූලව පිළියම් යෙදීමට ඇතමුන් තුළ තියෙන බිය හෝ නොහැකියාවත් මෙයට බලපානවා. අනෙක් කරුණ තමා බටහිර ක්‍රමවලට අසීමිත ලෙස ගැතිවීම. මේ කරුණු  සියල්‍ලේම ප්‍රතිඵලය  වෙලා ඵලදායක යමක් සිදු නොවීම.
ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අධ්‍යාපන පටිපාටිය අදට ගැළපෙනවාද හාමුදුරුවනේ?
භික්ෂු අධ්‍යාපනයට ශ්‍රී සුමංගල නාහිමියන් විසින් හඳුන්වා දුන් අධ්‍යාපනයට එහා ගිය අධ්‍යාපන  ක්‍රමයක් තිබිය නොහැකිය. මේකට හොඳම උදාහරණය තමා විදේ‍යාදය විද්‍යාලංකාර පිරිවෙන් දෙක. මෙම පිරිවෙන් දෙකෙන් තමයි වැලිවිට සෝරත, කළුකොඳයාවේ පඤ්ඤාසේඛර, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී, රේරුකානේ චන්දවිමල, ගනේගම සරණංකර, වල්‍පොල රාහුල, හම්මලව සද්ධාතිස්ස නාහිමි වැනි අග්‍රගණ්‍ය ප¾ඩිවරුන් බිහිවුණේ. ධර්මයට ශාසනයට රටට ජාතියට ආගමට සාහිත්‍යයට කලාවට ජාත්‍යන්තරයට මේ අයගෙන් සිදු වුණ සේවාව මදිද? මේකෙන්  මම අදහස් කරන්නේ නැහැ මෙම  අධ්‍යාපන ක්‍රමයම ඉදිරියට ගෙන යා යුතුයි කියලා. වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානයක්  අත්‍යවශ්‍යමයි. ශ්‍රී සුමංගල නාහිමියන්  අධ්‍යාපනය ක්‍රමය සකස් කළේ එදා පසුබිම තුළ ඵලදායී බව ගැන හොඳ අවබෝධයක් ඇතිව. උන්වහන්සේගේ අත් අකුරින් ඉංග්‍රීසි බසින්  ලියැවී ඇති ලිපි ‍ලේඛන මෙයට හොඳම සාක්ෂි. එහෙත් අවාසනාවට වර්තමාන භික්ෂූන් වහන්සේලා හදාරන ප්‍රාචීන විෂය මාලාවට ඉංග්‍රීසී භාෂාව අනිවාර්ය විෂයක් හැටියට ඇතුළත්  කිරීමට වගකිව යුත්තන් අකැමැතියි. ඊට හේතුව එය ප්‍රතිචීන (බටහිර) භාෂාවක් වීම. අනෙක් අතින් සාම්ප්‍රදායික දැනුමට නූතන ඥානය හා තාක්ෂණය විධිමත්ව ප්‍රවේශ වීමක්ද සිදු වී නැහැ. රාජ්‍ය මට්ටමින් මැදිහත් වීමක්ද සිදු වන ලකුණු පෙනෙන්ට නැහැ. මේකට හොඳ උදාහරණය, බලන්න ලංකාව පුරාම සියලු අංගෝපාංගවලින් යුක්ත මහා විද්‍යාල, මධය මහා විද්‍යාල හා ජාතික පාසල් ආදිය තියෙනවා. ඒත් ඔබ දැකල තියෙනවාද අධ්‍යාපනයක් ලැබිමට තරම් මානසික ප්‍රබෝධයක් ඇති කරවන සියලු අංගෝපාංගවලින් යුක්ත එක සුවිසල් පිරිවෙණක් ලංකාවේ කොහේ හෝ තියෙනවා. නැහැ විදේ‍යාදය විද්‍යාංලකාර පිරිවෙන් දෙකෙන් පමණයි දහසක් අඩුපාඩුකම් මැද හෝ ප්‍රාචීන අවසාන විභාගය දක්වා විශ්වාසනීය අධ්‍යාපනයක් ලැබෙන්නේ. ඔන්න ඕකයි තත්ත්වය. ඒ නිසා ශ්‍රී සුමංගල නාහිමියන් හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය කාලීන ප්‍රතිසංවිධානයකට යොමු කොට ඉදිරියට ගෙන යා යුතුයි කියන එක් තමා මගේ අදහස.
විදේ‍යාදය විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කිරීමෙන් ඔබ වහන්සේ කියන ඔය අරමුණු ඉෂ්ට වුණේ නැද්ද?
ඉෂ්ට වුණේ නැද්ද කියන ප්‍රශ්නයට පිළිතුරු හොයන්න මම ඒ තරම් උත්සාහ දරන්නේ නැහැ. එහි හුඟක් ප්‍රතිඵල තියෙනවා. නමුත් ශාසනික පැත්තෙන් ඊට වඩා වගකිව යුතු යමක් සිදු විය යුතුව තිබෙනවා. ඇත්තෙන්ම භික්ෂූන් වහන්සේ නමක් හදා ගන්නවා කියන එක බැරෑරුම් කාර්යයක්. ‍පොඩි හාමුදුරුවෝ නමක් දයාව කරුණාව විනය හා බුද්ධිය යන කරුණූ ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුය. විශ්ව විද්‍යාලයට යාමට පෙර පිරිවෙන් මගින් එකී භික්ෂු ආකල්ප හා ශික්ෂණය ඇති කරවිය යුතුයි.  එයට අවශ්‍ය පරිපූර්ණ මානව හා භෞතික සම්පත් පිරිවෙන් තුළ තිබිය යුතුයි. මෙකී විශ්ව විද්‍යාලවලට භික්ෂුවක් සම්බන්ධ  එම දැවැන්ත කාර්යයට උර දීමේ  හැකියාවක් නැහැ. විෂය ඥානය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයට  දායකත්වයක් දැක්විය හැකි වුණත් ශීක්ෂණය සම්බන්ධයෙන් පරිපූර්ණ  යමක් කිරීම ගැන සිතීම හිතලුවක් විතරයි. සටහන : ධර්ම ශ්‍රී තිලකවර්ධන

Protected by Security by CleanTalk