Spread the News

‘පරීක්‌ෂණයට කණ්‌ඩායම් තුනක්‌:
මුස්‌ලිම් දෙදෙනකු මියගියා’
පොලිස්‌පති මාධ්‍ය සාකච්ඡාවේදී කියයි

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ

අලුත්ගම ගැටුම පිළිබඳව රහස්‌ පොලිසිය (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව) කොළඹ අපරාධ කොට්‌ඨාශය හා කළුතර පොලිස්‌ කොට්‌ඨාශයෙන් තෝරාගත් කණ්‌ඩායමක්‌ කණ්‌ඩායම් තුනක්‌ වශයෙන් වෙන වෙනම පරීක්‍ෂණ පවත්වන බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඊයේ (16 දා) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයේදී පැවැත්වූ දාර්ගා නගරයේදී ඉකුත් 15 වැනිදා සිදුවූ ගැටුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මේ සාකච්ඡාව පැවැත්විණි.

ඉකුත් 12 වැනිදා පොසොන් පොහෝ දින ධර්ම දේශනයකට වැඩම කළ දාර්ගා නගරය කුරුඳුවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන්ට පතිරන්ගොඩ ප්‍රදේශයේදී මුස්‌ලිම් තරුණයන් තිදෙනකුගෙන් එක්‌ අයකු පහරදී ඇතැයි ද මෙම සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද ඔහු පැවසීය.

කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ හිමියන් 15 වැනිදා රෝහලින් පිටවී ආගමික උත්සවයකට සහභාගි වී පන්සලට වැඩම කරමින් සිටියදී දාර්ගා නගරය පල්ලිය අසලදී ගැටුමක්‌ ඇති වී ඇතැයි ද පසුව පොලිසිය හා විශේෂ කාර්ය බළකාය එම ගැටුම සමථයට පත් කළ බවද පොලිස්‌පතිවරයා කීය.

පසුව ප්‍රදේශයේ කලබලකාරි තත්ත්වයක්‌ ඇතිවූ බවත් මෙහිදී තුවාල ලැබූ 39 දෙනකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ අතර මෙම තුවාලකරුවන් අතර සිටි මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු මියගිය බවද පැවසීය.

මෙයට අමතරව තුවාල ලැබූ කිහිපදෙනකු අළුත්ගම දාර්ගා නගරය රෝහල්වලින් ප්‍රතිකාර ලැබ පිටවී ගොස්‌ ඇතැයි පොලිස්‌පතිවරයා කීය.

අළුත්ගම හා බේරුවල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා ඇතැයි ද ඔහු කීය

ගැටුම් උත්සන්න කිරීම සඳහා සමහර පුද්ගලයන් කටකතා පතුරවන බවද කීය.

කලබලකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් කීපදෙනකු අත්අඩංගුවට ගෙන ඇද්දැයි මාධ්‍යවේදීන් විමසූ විට 8 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් පොලිස්‌ ඇප මත මුදාහැර ඇතැයි ද කීය.

ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට පොලිස්‌ නිලධාරීන්ට අමතරව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව කැඳවා ඇතැයි ද පැවසීය.

ප්‍රදේශය ආවරණය වන අයුරින් විහාරාධිපති හිමිවරු, මුස්‌ලිම් පල්ලිවල ආගමික නායකයන් හා මැති ඇමැතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් සහභාගි වූ

රැස්‌වීමක්‌ ඊයේ උදේ කළුතර දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට ආගමික නායකයන් එකඟ වූ බව කීය.

නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ අමාත්‍යාංශය ලේකම් නන්ද මල්ලවආරච්චි, කොළඹ කොට්‌ඨාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.